කෑම කන්න හොඳම වේලාව ගැන දන්නවාද?

මැයි 10, 2019

නැකතට වැඩ අරඹන්න වැඩි දෙනෙක් කැමැතියි. බක් මහ උලෙළේ ආහාර අනුභවයට විශේෂ නැකැතක් තිබුණ ද ඉන් පසු ආහාර පාන ගන්නේ අපට හිතෙන හිතෙන වේලාවටය.

ආහාර ගැනීම ඉතා සරල පහසු ක්‍රියාවක් කියා සිතුණ ද එය නිසි පිළිවෙළට නොකළොත් නැති ලෙඩ ඇතිවීමට එයම හේතු වෙයි.

ආයුර්වේදයට අනුව අප උදෑසන ආහාරය ගත යුත්තේ අවදි වී මිනිත්තු 30 ක් ඇතුළතය. සුදුසුම වේලාව උදෑසන හතයි. උදේ දහය පසුවන තුරුත් උදෑසන ආහාර නොගෙන සිටීම (ප්‍රමාද කිරීම) නම් නොකළ යුතුම දෙයකි. ප්‍රෝටීන උදෑසන ආහාරයක අනිවාර්යෙන්ම අඩංගු වී තිබිය යුතුය.

දිවා ආහාරය

දිවා ආහාරයට සුදුසුම වේලාව ප. ව. 12.45 ය. උදෑසන ආහාරය සහ දිවා ආහාරය අතර පැය හතරක පරතරයක් තිබීම වැදගත් වෙයි. සවස හතර වනතුරු දිවා ආහාරය ගැනීම පමා කිරීම සුදුසු නැත.

රාත්‍රී ආහාරය

රාත්‍රී ආහාරය ප. ව. 7.00 ට පෙර ගත යුතුයි. නින්දට පැය තුනකටවත් පෙර රාත්‍රී ආහාරය ගැනීම වැදගත් වෙයි. රාත්‍රී දහයෙන් පසු රාත්‍රී ආහාරය ගැනීම සුදුසු නැත. නින්දට ආසන්නව රාත්‍රී ආහාරය ගැනීම සුවදායක නින්දට බාධාවකි.

ආහාර ගැනීමට වෙලාවල් තිබෙනවා සේම ඒ ඒ ආහාරයට ගැළපෙන වේලාවන් ද තිබේ.

කෙසෙල් ගෙඩි ක්ෂණික ශක්තිය ලබා දෙන පලතුරකි. උදෑසන ආහාරයක් ලෙස ද කදිමය. අහිතකර ආහාර ගැනීමෙන් වැළකී සිටීමට සවස හතරේ අතුරුපසක් ලෙස ද මෙය කදිමය.

ඇපල් යකඩවලින් පොහොසත් පලතුරකි. කිසිවිටකත් ඇපල් කිරි සමඟ එකට නොගත යුතුයි. ඒ ඉන් ඇපල්වල අඩංගු යකඩ උරා ගැනීම නිසියාකාරව සිදු නොවන බැවිනි. උදෑසන ආහාර වේලෙහි කිරි අඩංගු නම් ඇපල් දිවා කාලයේදී හෝ රාත්‍රී ආහාරයෙන් පසු කෑමට ගන්න.

අර්තාපල් යනු පිටි හෙවත් පිෂ්ඨය ගබඩාවකි. හොඳ ශක්ති ජනකයකි. එනිසා අර්තාපල් උදෑසන ආහාරයට හෝ දිවා ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසුය. රාත්‍රී ආහාරයට අර්තාපල් එක් කර ගැනීම නුසුදුසු එමඟින් නින්දට බාධා සිදු විය හැකි නිසාය.

දොඩම් විටමින් ‘සී’ ලබාගත හැකි හොඳම ක්‍රමයයි. දවසේ ඕනෑම වේලාවක දොඩම් කෑමට ගැනීමේ වරදක් නැතත් උදෑසන හිස්බඩ දොඩම් ආහාරයට ගැනීම නුසුදුසු එහි ආම්ලිකතාව නිසයි.

ඇට වර්ග ද දවසේ ඕනෑම වේලාවක කෑමට ගත හැකිය. එහෙත් සිරුර වඩාත් ක්‍රියාකාරී උදෑසන සහ දහවල් කාලය ඇට වර්ග අනුභවයට වඩාත් සුදුසුය. ඇට වර්ගවලින් ශක්තිය වගේම විටමින්, පෝෂක ද සිරුරට ලැබෙයි.

බත වඩාත් සුදුසු දිවා ආහාරයටය. රාත්‍රී ආහාරයට බත් වෙනුවට සරල ආහාරයක් ගැනීම වඩාත් උචිතය. එහෙත් ශ්‍රී ලාංකේය ජනතාව තුන් වේලටම බත් කෑමට ගත් අයය. ලොව අඩක්ම ජීවත් වන්නේ බතින් කුස පුරවාගෙනය. ජපානයේ ‘බත්’ යනු ‘ආහාර වේල’ට සමාන වචනයකි. බතින් කුස පුරවා ගන්නා ජපන් ජාතිකයන් පරමායුෂ වැඩිම ජාතියකි. ආයුර්වේදයේ බත් සරු බවේ, යහපත් සෞඛ්‍යයේ සංකේතයයි. ආයුර්වේදයට අනුව රතු කැකුළුවලට ද වඩා බාස්මතී ගුණදායකය. එය ජීර්ණයට පහසුවීම ආයුර්වේදයේ වැඩි තැනක් ලැබීමට හේතුවකි.

බතින් වාතය හා පිත සමනය වෙයි. ඇට වර්ග, එළවළු, පලතුරු, කිරි වැනි බොහෝ දේ සමඟ මිශ්‍ර කර බත් ආහාරයට ගැනීමට පුළුවන.

හිරු උදාවට පෙර හිස් බඩ ජලය පානය කිරීමෙන් අපේ ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙයි. එයින් අපේ සෞඛ්‍ය තත්ත්වය ද ඉහළ නැංවෙයි.

කිරි රාත්‍රියට පානය කිරීමෙන් තුන් දොස සමනය වෙයි. කිරිවලට කහ කුඩු, ගම්මිරිස්, කරදමුංගු එක් කිරීමෙන් එහි පෝෂ්‍ය ගුණය වැඩි වෙයි. කහ මඟින් තුන් දොස සමනය වන අතර රුධිරය, වසා පද්ධතිය පවිත්‍ර වී ගෙඩි, රුධිර කැටි ඇති වීම වළකී.

නිර්මාංස වීම වඩා යහපත් වුව ද මස් ආහාරයට ගන්නවා නම් දිවා ආහාරයට එක් කර ගන්න.

පලතුරු හිස් බඩ හෝ උදේ ආහාරය සහ දවල් ආහාරය අතර කෑමට ගත හැකිය. ප්‍රධාන ආහාර වේලක් ගැනීමට පැය භාගයකටවත් පෙර හෝ පසු පලතුරු කෑමට ගන්න. දියවැඩියා රෝගියකු නම් පැය දෙකක පරතරයක් පලතුරු සහ ප්‍රධාන ආහාර වේලක් අතර තිබිය යුතුය.

ප්‍රධාන ආහාරයට මිනිත්තු 15 කට පෙර සලාද කෑමට ගන්න. චීස් ආහාර ගත යුත්තේ උදෑසනය. සීනි ආහාර උදෑසනට සුදුසු ඉක්මනින් සීනිවලින් ලැබෙන ශක්තිය දහනය කළ හැකි නිසයි. රාත්‍රියට ව්‍යායාමයක් සිදු නොවන නිසා සීනි ආහාර සුදුසුම නැත.

සෙම් අධික අයට රාත්‍රියට කිරි, යෝගට් සුදුසුම නැත. දිවා කාලයේ කිරි කන විට සීනි එක් කිරීමට අවශ්‍ය නැති නමුත් රාත්‍රී කාලයේදී කෑමට ගනිද්දී සීනි හෝ ගම්මිරිස් කුඩු ටිකක් එක් කිරීමෙන් ජීර්ණය පහසු වෙයි.

ඉන්දියානු ආයුර්වේද
උපදෙස් ඇසුරිනි
චම්පිකා දීපානි රණසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.