රෝග ප්‍රතිකාර සඳහා ආයුර්වේද ඖෂධ

මැයි 24, 2019

ආයුර්වේද ප්‍රතිකාර නියම කිරීමේදී ඒ ඒ රෝගී තත්වයන් අනුව නියම කරනු ලබන අරිෂ්ට, ආසව, ඍත, කල්ක, ගුලි චූර්ණ හා තෙල් ඇතුළු බෙහෙත් සඳහා දේශීය වශයෙන් ඖෂධ යොදාගනිමින් නිසි ප්‍රමිතියකින් යුතුව සකස් කරති.

අරිෂ්ට වර්ග අතර බෙහෙවින් රෝග සුවය සඳහා දෙනු ලබන අරිෂ්ටයක් වන දශ මූලාරිෂ්ටය සඳහා ගනු ලබන්නේ අස්වැන්න පොල්පලා, එළබටු, කටුවැල්බටු, ගොකටුමිදි , බෙලි, පළොල් ,තොටිල ඇත්දෙමට ප්‍රධාන කොට තවත් ඖෂධ වර්ග හතළිහකට වැඩි ප්‍රමාණයක් යොදා ගනිති. මෙම ඖෂධ වර්ග සංයෝග කරමින් මසක පමණ කාලයක් මැටි බඳුනක දමා පොළවේ වළලා පසුව ගෙන පෙරා ප්‍රයෝජනයට ගනිති. දසමූලාරිෂ්ටය ප්‍රධාන වශයෙන් වාත රෝග, ග්‍රහණි වමන, පාණ්ඩු, අර්ශස්, ප්‍රමේහකාශ, ශ්වාස, භගන්දර, අරුචි ආදී රෝගයන් සඳහා දෙනු ලබති.

එමෙන්ම මන්දාග්නිය ධාතුක්ෂය, ශුක්‍ර වර්ධනය ද ගුණවත් වේ. වීර්ය තේජස් ඇතිවේ. ශරීරයේ කෘෂ බවද නසන ප්‍රබල අරිෂ්ටයකි. අශ්වගන්ධ අරිෂ්ටය මෙම අරිෂ්ටය වාත රෝග ,උන්මාද රෝග, අපස්මාර කාස , වෙවුළුම් අර්ශස්. මුර්ජා දුරු කරන බලය වර්ධනය කරන අරිෂ්ටයක් වන අතර කෙට්ටුව මට්ටු කරන අරිෂ්ටයක්ද වේ. අමුක්කරා අල, බින්තල් අල, වැල්මදට අරළු, වියළිකහ, දාරිහාරිද්‍ර , වැල්මී අරත්ත අල, කිරිබදු අල, කළාදුරු අල තිරස්සවාලු , සුදු ඉරමුසු, කලු ඉරමුසු, සුදුහඳුන් , රත්හඳුන් ඇතුළු තවත් ඖෂධ වර්ග දහයක් පමණ යොදා ගනිති. අසෝකාරිෂ්ටය , රත්පිතට මන්දාග්නි ප්‍රමේහා රෝග අර්ශස් අරුචිය, ආදි රෝගයන්ට විශේෂ වේ. අශෝකාරිෂ්ටයට අසෝක පොතු, ධාතකී,කළුදුරු, වියළිඉඟුරු මානෙල් අල ,අබ, සූදුරු, සුදුහඳුන්, තිපල්, දාරුහාරිද්‍රා ඇතුළු ඖෂධ එක්කර ගනී. මෙවැනි අති ගුණාත්මක අරිෂ්ට අතර අභයාරිෂ්ටය ,අමෘතාරිෂ්ටය , කනකාරිෂ්ටය ,ඛදිරාරිෂ්ටය . දාක්ෂාරිෂ්ටය , නිම්බාරිෂ්ටය ඇතුළු තවත් අරිෂ්ට රැසක්ම වේ.

ආසව අරවින්දාසවය බාලයන්ගේ රෝග සඳහා විශේෂයෙන් දෙනු ලබන මෙම අරවින්දාසවය බලය, පුෂ්ටිය හා අග්නිය වර්ධනය කරයි. ග්‍රහ දෝස නසනු ලබන අතර අරවින්දාසවයට නෙළුම් රේණු සැවැන්දරා මුල් , මහනෙල් අල, කලාඳුරු අල , නිල්මහනෙල් ඇතුළු ඖෂධ වර්ග දොළහක් පමණ එක්කර ගනී. උශිරාසවය මේ සඳහා සැවැන්දරා නෙළුම් අල ඇද්දෙමට ගෙඩි, නිල්මහනෙල් අල, වැල්මදට, දියමිත්ත, බිංකොහොඹ ඇතුළු තවත් ඖෂධ විසිතුනක් පමණ යොදා ගනී. මෙය පාණ්ඩු තුෂ්ට ප්‍රමේහ අර්ශස්, රත්පිත් ආදි රෝගයන්ට නියම කරනු ලබති. කනකාසවය ශ්වාස කාස ජීර්ණ ජ්වර, රක්තපිත්ත රෝගවලට ඉතාම ගුණවේ. අත්තන පංචාංගය, නාමල්රේණු , මුද්දරප්පලම්, කටුවැල්බටු, සිරිතේක්කු ඇතුළු ඖෂධ හතක් පමණ යොදාගනී.

 

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ
වෛද්‍ය නිළධාරි
එම්.වසන්ත පද්මකුමාර

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.