ආයුර්වේදය කොතරම් දුරට බුදුදහම හා බැඳී ඇද්ද?

මැයි 24, 2019

වෛද්‍යාචාරිනී
ගුණවතී එදිරිසිංහ
(ඩී.එස්.ඒ.සී. ගෞරව)
බෙහෙත් ශාලාව
මැදගොඩ අමිතිරිගල

ලොවෙහි වෙසෙන බෞද්ධයන්ට වැදගත් දිනය වනුයේ වෙසක් පුර පසළොස්වක පෝය දිනයයි. එනම් උන්වහන්සේ ගේ උත්පත්තිය, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමඟුල ම සිදුවු දිනය වීමයි.

මෙතෙක් පහළ වූ විශිෂ්ට මනෝවෛද්‍යවරයා ශ්‍රේෂ්ඨ මාර්ග උපදේශකයා වන්නේ උන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ විවිධ සූත්‍ර මගින් නිරෝගී සම්පන්න බවින් මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය උපදෙස් විශාල වශයෙන් දක්වා ඇත.

“ආරෝග්‍යා පරමා ලාභා” යන්නෙන් පුද්ගලයෙකුට ලොව ලැබිය හැකි උසස්ම ලාභය නිරෝගීකම බව උන්වහන්සේ පෙන්වා දී ඇත. එසේම ප්‍රධාන වශයෙන් රෝග කායික, චෛතසික වශයෙන් බුදුදහමේ කොටස් දෙකකට බෙදා ඇත.

ගිිරිමානන්ද සූත්‍රයට අනුව කායික රෝග 48 ක් සඳහන් වේ. ඇසේ රෝග , සිරස රෝග, දන්ත රෝග, කායික රෝග, පීනස් රෝග, කුෂ්ඨ රෝග . දියවැඩියාව , පිළිකා ආදී රෝග ඒ අතර වේ. මේ අතර මහා වග්ග පාලියේද තවත් රෝග ගණනාවක් සඳහන් කර ඇත. සන්ධි රෝග, පාන්ඩුව, බඩ පිපුම ඉන් සමහරකි. එසේම රෝග හා රෝගවලට හේතුද මෙහි සඳහන් වේ.

රෝග සෑදෙන ක්‍රම 8 ක් උන්වහන්සේ සංයුක්ත නිකායේ මෙසේ සඳහන් කර ඇත.

පිත කිපීමෙන් ඇතිවන රෝග

වාතය කිපීමෙන් ඇතිවන රෝග

සෙම කිපීමෙන් ඇතිවන රෝග

ඉහත සඳහන් කරුණු 3 හේතුවෙන් ඇතිවන රෝග

සීත, උෂ්ණ ,තැතිගැනීම් , කම්පන හේතුවෙන් ඇතිවන රෝග

යන්ත්‍ර සූත්‍ර මගින්, උල් කටු ඇනීමෙන් ඇතිවන්නා වූ රෝග

සතුරන්ගේ පහර වැදීම්, නානා උපන් උපක්‍රම මගින් සිදුවන්නාවූ රෝග

කර්ම විපාක දීම නිසා ඇතිවන්නා වූ රෝග

මීට අමතරව සුරාව හා කාම මිථ්‍යාචාරයෙන් වැනි වැරදි ක්‍රියා මගින් රෝග ඇතිවන බව පෙන්වා දී තිබේ. මේ සඳහා විනය පිටයකයේ බොහෝ ප්‍රතිකාර සඳහන් කර ඇත. නස්න, දුම් ඇල්ලීම්, දාහ ගැන්වීම්, බෙහෙත් ඔරු, මගින් මෙන්ම ශල්‍යකර්ම . වස්ති කර්ම, විරේචන කර්ම, යන ක්‍රමද ඇතුළත් කර ඇත. එසේම උන්වහන්සේ රෝගවලට ප්‍රතිකාර කිරීමට වඩා රෝගවලින් වැළකී නිරෝගීවත්ව ජීවත්වීම උසස් කොට සැලකූහ. නිරෝගීව ජීවත් වන ආකාරය ගැන උන්වහන්සේ දේශනා කර ඇත.කායික නිරෝගිභාවය රැකගෙන, මෛත්‍රි කරුණාව, පෙරදැරි කරගෙන, සාමයෙන්, සතුටින් ජීවත්වීම, හැර නිරෝගී වීමට අන් මගක් නැති බව උන්වහන්සේගේ දේශනාවලින් අප හට මනාව වැටහේ.

බොහෝ රෝගයන්ට මුල ආහාරය, තමාට හිත, පත්‍ය ආහාර සේම ගුණදායි ආහාරපාන ගැනීම බුදුදහමේ නිරෝගි බවට මුල්වන බව සඳහන් කර ඇත. පැරණි අපේ මුතුන්මිත්තන් භාවිත කළ ආහාර පානයන් බොහෝ දුරට රෝග වීමෙන් වැළකී සිටිය හැකි බවත් වර්තමානයේ කෘති‍්‍රම රසකාරක බහුල ආහාර ලුණුමිරිස්, තෙල්, ඇඹුල්, ආදියෙන් බහුල ආහාර ගැනීමෙන් මෙන්ම ප්‍රමිතියෙන් තොරව විවිධ කෘත්‍රිම ආහාර රසකාරක වර්ණකාරක යෙදු ආහාර ගැනීමෙන් රෝග බහුලවී ඇති බව අපට වැටහේ.

 

සටහන හා සාකච්ඡාව
යටියන්තොට සමූහ
කුමාරසිංහ ගුණදාස

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.