ළමා දත් නසන පැණිබීම හා පැණිරස කෑම

මැයි 24, 2019

මොනරාගල සිරිගල
ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

කුඩාකාලයේ පටන්ම යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගෙන යෑමට දරුවන්ට පුරුදු කළ යුත්තේ දෙමාපිය , වැඩිහිටියන් විසිනි. නමුත් ඔවුන් පුරුදු වී ඇත්තේ දරුවන් ඉල්ලන දේ ලබාදීමටයි. හඬන්නේ නම් දරුවා අකීකරු ලෙස හැසිරෙන්නේ නම් කුමක්ද කරන්නේ ඉල්ලන දේ ලබාදීමයි. ඉල්ලන ඉල්ලන විට බීමට පැණිබීම ලබාදෙයි.

පැණිකෑම වර්ග, අයිස් චොක්ලට් ,අයිස්ක්‍රීම් ,අයිස්පලම් මෙන්ම සීනි අධික, කඩකෑම වර්ගද ලබාදෙයි. මේ නිසා දරුවන්ගේ දත් ළමා කාලයේදීම අනතුරට ලක්වේ. අප රටේ අවුරුදු පහක් පමණ වූ දරුවන් ගෙන් සියයට හැටපහක් පමණ දත් දිරා ගොස් ඇති බවත් අවුරුදු දොළහක් වූ දරුවන්ගෙන් සියයට හතළිහක්ම දත් දිරායෑමේ රෝගයට ගොදුරුවී ඇති බවත් සෞඛ්‍ය අංශ මගින් පෙන්වා දී ඇත.

බොහෝවිට අපට දරුවන්ගේ දත් දිරා යෑම දැකගන්නට ලැබෙන්නේ ඔවුන් සිනාසෙන අවස්ථාවලදී මෙන්ම කතාකරන අවස්ථාවලදීය. යටි ඇන්දට වඩා උඩු ඇන්දේ දත්වල ඉතා පැහැදිලිව ඒ තත්ත්වය දැකගන්නට හැකිය. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ගැහැණු හෝ වේවා පිරිමි හෝ වේවා දරුවන්ගේ මුහුණේ සුන්දරත්වය පි‍්‍රයමනාපභාවය පෙන්නුම්කරන්නේ දත්වලිනි. මුතුවන් දත් දෙපලක් ඇත්නම් එය කොතරම් වාසනාවක්ද. දරුවන්ගේ දත් ආරක්ෂා කර ගැනීමට උපරිමයෙන්ම කටයුතු කළ යුතුයි. ආහාරයට දිය යුතු සීනි ප්‍රමාණය උපරිමයෙන්ම අඩු කළ යුතුය. කෘත්‍රිම ලෙස සකස්කරන ලද ආහාරදීම නවතාලිය යුතුයි.

හැමවිටම දරුවන්ට දියයුත්තේ ස්වභාවිකව සකස් කළ ආහාරයි. ටොපි, බිස්කට්, කේක්, බනිස්, පාන් ,පේ‍්‍රස්ටී වැනි ආහාර දත් මතුපිට බැඳෙන ගතියකින් යුතු වේ. මේවායින් මුඛය තුළ බැක්ටීරියා ඇතිවිය හැකිය. පැණිබීම, විශේෂ ලබාදීම නතර කළ යුතු ය. දන්ත ව්‍යසනය හෙවත් දත් පණුවන් කෑම ගන්නා ආහාරවල තිබෙන සීනි හා පිටි නිසා ඇතිවන්නක්. ඒවා දත් අතර බැඳී තිබීමෙන් ඇතිවන බැක්ටීරියා මගින් ලැක්ටික් අම්ලය නිපදවීමක් සිදුවේ. මේ අම්ලය මගින් දත්වල ඇති කැල්සියම් ඉවත් වේ. මෙසේ කැල්සියම් ඉවත්වීම නිසා දත්වල ශක්තිය අඩුවේ. මේනිසා දතේ සුදුලපයක් මෙන් හටගනී. ඉන්පසු කුහරයක් සෑදේ .දත් නරක්වීමට හේතුවන්නේ මෙයයි. දත් මදින විට විදුරු මසින් ලේ පිටවන්නේ බැක්ටීරියා ආසාදනයට ලක්වූ විටයි. මෙවැනි තත්වයකදි විදුරුමස ඉදිමීම, විදුරුමස රතුවීම, වරින්වර ලේ ගැලීම ආදි ලක්ෂණ ඇතිවේ.

දරුවන්ගේ කුඩා අවධියේ සිටම හොඳින් දත් හා මුඛය පිරිසිදු කළ යුතුය. අවම වශයෙන් උදේ හා රාත්‍රී ආහාරයෙන් පසු දිනකට දෙවරක්වත් දත් මැදීම කළ යුතුය. විදුරුමස් හා දත් අතර කොටස් හොදින් පිරිසිදු කළ යුතුය. දත් බුරුසුව මගින් දත් මදින විට එය කෙසේ කළ යුතුද යන්න දරුවන්ට කියා දිය යුතුය. දත් බුරුසු තෝරා ගැනීමේදී ඉතා මෘදු කෙඳි සහිත දත් බුරුසු තෝරා ගත යුතුය. දත් මැදීමේදී දරුවන්ට ගතවන කාලය පිළිබඳ අවබෝධයක් ලබාදීම ඉතාම වැදගත් ය. නිවැරදිව දත් මදින විට විදුරුමස දාරය, දිව ඇතුළු සියලු කොටස් විනාඩි පහකින් පමණ මැද අවසන් කළ හැකිය. වැඩි වේලාවක් දත් මැදීමට කාලය ගත කළහොත් ඉන් විදුරුමසට හානි සිදුවිය හැකිය. කුඩා දරුවන්ගේ දත් උදේට මෙන්ම රාත්‍රී නින්දට යෑමට පෙරත් මැදිය යුතුය. මුඛ සනීපාරක්ෂාව වැදගත් වන්නේ මුඛයේ නිරෝගීතාවය නිසි අයුරින් පවත්වාගෙන යෑමටය.

 

සටහන
බී.ඇල්. පේ‍්‍රමරත්න

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.