ශරීරයේ ඇතිවන දාහය

මැයි 31, 2019

අප සමාජයේ බහුතරයක් පෙළෙන අපහසුතාවයක් වශයෙන් ශරීරයේ දැවිල්ල හැඳින්විය හැකිය.අධික සූර්ය රශ්මිය පවතින ඉඩෝර කාලයේ දැනෙන දැවිලි ගතිය සහ මෙම රෝගි තත්වයක් වන දැවිල්ල වෙනස් ප්‍රභේද දෙකකි. ඉඩෝර අවධියේ පවතින උෂ්ණාධික ගතිය සඳහා බහුල වශයෙන් ජලය පානය කිරීමෙන් එය මැඩ පවත්වා ගත හැකිය.

නමුත් රෝගි තත්වයක් වශයෙන් පවතින දැවිල්ලට ප්‍රතිකාර ගත යුතුය. ආයුර්වේද වෙදකමට අනුව පිත් දෝෂය කෝපවීමෙන් ඇතිවන තත්වයක් වශයෙන් මෙය හැඳින්විය හැක. සමහර අය උපතින්ම පිත්ත ප්‍රකෘති කරයි. එවැනි අයට මෙවැනි පිත් දෝෂ ප්‍රබලවීමෙන් ඇතිවිය හැකි රෝග තත්වයකි දැවිල්ල. මෙහිදී සිදුවන්නේ කෝපවූ වාතය විසින් කෝපවූ පිත මෙහෙය වීමයි. මෙම තත්වය ඇතිවීමට ආහාරමය, විහරණමය, පරිසරාත්මක තත්වයන් බලපෑ හැක. මෙම දැවිල්ල ශරීරයේ කොටසක,මුළු ශරීරයේම ඇතිවිය හැක. හිසේ දැවිල්ල. ඇස්වල දැවිල්ල සහ අත්පාවල දැවිල්ල මෙහි රෝග ලක්ෂණයි.

ඒ හැර මුත්‍ර රෝගයෙන් තොරව ඇතිවන මුත්‍ර දැවිල්ල, හෝ ගුද මාර්ගයේ දැවිල්ලද ඇතිවිය හැක. සමේ පිපිරීම,යටිපතුල් අතේ ඇඟිලි කෙළවර , බාහිර ලිංගික අවයවවල කෙළවර සහ බාහිර ගුද විවරයේ සම පිපිරීමද සිදුවේ. මෙයින් ඇතිවන තුවාල කසන්න ගන්නත් හැකිය. මලබද්ධය අධිකව පැවතීමද මෙවැනි රෝගීන්ට ඇතිවන තත්වයකි. මෙවැනි රෝගී උෂ්ණ තීක්ෂණ ගුණ බහුල ආහාරවලට රුචියක් දැක්වීමද සිදුවේ. ඇඟ දැවිල්ලට අමතරව බඩ දැවිල්ලත් සමහර විට ඇතිවෙනවා විය හැකිය. මේ දෙකටම පිත්ත දෝෂය සම්බන්ධයි.බඩ දැවිල්ල ඇතිවන්නේ අම්ලයෙන් දූෂිත පිතේ කෝපත්වයෙන් බැවින් එය හඳුන්වන්නේ අම්ලපිත්ත යන නමිනි.

මේ තත්වය ඇතිවීමට ආහාරමය හේතුන්ට ප්‍රමුඛතාවයක් හිමිවෙයි. මිරිස්, ගම්මිරිස්, මත්පැන්, කෘත්‍රිම රසකාරක, තක්කාලි, අච්චාරු , විනාකිරි, දැල්ලෝ, ඉස්සෝ, කකුලුවෝ වැනි දේවල් අධික ලෙස පරිභෝජනය කිරීම මෙම රෝගි තත්වය ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නකි. මෙම රෝගින්ට පිපිඤ්ඤා, කැකිරි, පතෝල, වැටකොලු වැනි එළවළු වැඩිපුර ආහාරයට එකතුකර ගැනීම වඩාත් ගුණදායකයි. කොළකැඳ විශේෂයෙන් සුදුසුයි.. ඉරමුසු, බෙලිමල් වැනි පාන වර්ගත් සුදුසුයි. ජලය වැඩිපුර පානය කිරීමත් යෝග්‍යයි. ගම්මිරිස්, මිරිස් වැනි දේ නියම මාත්‍රාවට ගත්විට ගුණදායක වුණත් අධික පරිභෝජනය සුදුසු නැත.අධික තාපයට නිරාවරණය වන රැකියාවන්හි නියැළෙන අයට මෙම තත්වය ඇතිවිීමේ ප්‍රවණතාවය වැඩියි. බේකරි ආශි‍්‍රත රැකියා කරන අය මෙම තත්වයට පහසුවෙන් ගොදුරුවීමට හැකි අතර රැකියාව කරන අතරතුර දුම්පානය කිරීම මෙය තීව්‍රවීමට හේතුසාධක වේ. නමුත් එවැනි අය ඉහතින් සඳහන් කළ ආකාරයට ආහාරපාන ගන්නව නම් තත්වය පාලනය කළ හැකියි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ග්‍රන්ථය ආශ්‍රයෙනි
පී.ඒ.කපුරු බණ්ඩාර ආරච්චි
තලාතුඔය විශේෂ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.