රසවත් පලතුරක් ඖෂධයක් වන අන්නාසි

ජුනි 28, 2019

අප රටේ ප්‍රධාන බෝගයක් වශයෙන් වගා කරන ලද පලතුරු වර්ගයක් වන අන්නාසි සිංහල ක්‍රමයට වර්ග කීපයකට බෙදයි. ගල් අන්නාසි, මුර්ෂි අන්නාසි, රට අන්නාසි, සිංහල අන්නාසි වශයෙන් වර්ග කීපයක් ඇත. අන්නාසි වර්ග අනුව එයට බැඳුණු සමහර ගුප්ත දේවල් ද ඇත.

ගුණාත්මක භාවයද වෙනස්ව පවතී. නමුත් පොදුව ගත්විට අන්නාසි නමින් හැඳින්වීමට පුරුදු වී ඇත. තවත් විශේෂ දෙයක් තමයි විවිධ කෑම වර්ග අන්නාසි උපයෝගි කරගනිමින් සෑදීමට හැකිවීම. එවගේම පළමු දරුවා බිහිකිරීමට සිටින මව්වරුන්ට අන්නාසි ගුණදායක නැති බව ගර්භිණීභාවයට පත්වූ මව්වරුන්ට ඉතාම අගුණ පලතුරක් වශයෙන් අන්නාසි හඳුන්වාදීමට පුළුවන. ගුප්ත වැඩවලදී හොඳ නරක දෙකටම මෙම පලතුර ඉහළ ස්ථානයක ඇත. විශේෂයෙන් දේව පලතුරු පූජාවලට නැතුව බැරිදෙයක් තමයි අන්නාසි පලතුර. සමහර අයට මෙම පලතුර මගින් ශරීරය කැසීමක් පළු දැමීමක් සිදුවන අතර ඇදුම රෝගයටද අහිතකරතාවයක් ඇත. අප රටේ වගාකරන අන්නාසිවලට විදේශික අයගේ ඉල්ලුමක් ඇති අතර අප රටට පැමිණෙන සංචාරක විදේශික පිරිස ලංකාවට පැමිණිවිට ලොකුම බලාපොරොත්තුව තමයි අප රටේ අන්නාසි ආහාරයට ගැනීම.

ලංකාවේ වියළි කලාපවල වගා කළ හැකි අන්නාසි බස්නාහිර පළාත වගාව සඳහා සුදුසුම කලාපයක් වශයෙන් හඳුන්වාදීමට පුළුවන. මුහුද ආශි‍්‍රතව හැර අනිකුත් තැන්වල හොඳින් වගාවක් වශයෙන් කළ හැකි අතර වැඩි වශයෙන් වගා කිරීමට භාවිතා කරන්නේ මුර්ෂි අන්නාසියි. එය ඵලදාව සහ කෙටිකාලීනව පීදෙන නිසා ආර්ථික වාසි ඇතිවේ. අන්නාසි ගහේ විශේෂත්වයක් ඇති අතර එය ග්‍රාමීය මට්ටමින් ප්‍රසිද්ධ දෙයක් වන අතර පාරම්පරික වෙදකමේදී ප්‍රථමාධාරයක් වශයෙන් භාවිතා කරයි. එනම් අන්නාසි ගහේ බොඩය එය කොටා ඉස්ම බීමට දීම මෙය වසක් ශරීරයට ඇතුළු වුණාම හෝ වස පානය කළ අයට ඇතිවෙන හානිය අවම කරගන්න හා නිසි ප්‍රතිකාරයක් සඳහා රෝගියා රැගෙන යනතුරු ප්‍රථමාධාර ක්‍රමවේදයක් වශයෙන් සඳහන් කළ හැක. මීළඟට මෙම පලතුර උපයෝගී කරගනිමින් සාදන ලද ආහාර හා බීම වර්ග කීපයක් සඳහන් කරමි. ඒ තුළින් සැමට ප්‍රයෝජනයක් ගත හැකි වෙයි කියා සිතමි.

අන්නාසි ව්‍යංජනය

මේ සඳහා මුර්ෂි අන්නාසි හා රට අන්නාසිගත හැකිය. හොඳට පැසුණු අන්නාසි ගෙඩියකින් භාගයක් ගෙන පෙත්ත හා ඇහි හොඳට සුද්දර කර නාරටියද සුළු වශයෙන් සිටින ලෙස නාරටිය ඉවත් කරගන්න. එය පළමුව තීරු කපා නැවත කෑලිවලට වෙන්කර ගන්න. මේ කෑලි ටික ලුණු වතුර ටිකක් පොල් විනාකිරි ටිකක් සමඟ උණුජලය එක්කර එයට කපාගත් අන්නාසි කැබලි දමා විනාඩි පහක් පමණ තැම්බෙන්න තියන්න. ඉන්පසුව ජලයෙන් ඉවත් කර නිවෙන්න හැර වැඩි ඉස්ම ටික ඉවත් වෙන්න තරමක් මිරිකාගන්න. ව්‍යංජනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – රතු ලූනු ගෙඩි හයක් විතර එයින් ගෙඩි 3 විතර සිහින් වෙන්න ලියාගන්න. සේර කැබැල්ලක් එයින් හීන්වෙන්න කපාගන්න. අමුමිරිස් කරල් තුනක් විතර එක් කරලක් හීන්වෙන්න ලියාගන්න. කරපිංචා ඉති හතරක් විතර එක්ඉත්තක විතර හීන්වෙන්න ලියාගන්න. මිංචි කොළ හෝ කොත්තමල්ලි කොළ කීපයක් හීන්වෙන්න ලියාගන්න. බටර් හෝ සූරියකාන්ත තෙල් හෝ පිරිසුදු පොල් තෙල් මෙම වර්ගවලින් කැමති වර්ගයක් ගන්න. තෙල් මේස හැඳින හතරක් විතර බටර් නම් ග්‍රෑම් පනහක විතර ප්‍රමාණයක්.

ලියාගැනීමෙන් අනතුරුව ඉතිරි උන රතු ලූනු, අමුමිරිස් කරපිංචා ඉති තුනේ කොළ ටික ගන්න.මීට අමතරව ගම්මිරිස් තේ හැඳි භාගයක් සුදු ලූනු බික් තුනක් සුද්ද කර ගන්න. කුරුඳු කුඩු තේ හැඳි භාගයක් ,කරදමුංගු කරල් දෙකක්, කරාබු නැටි දෙකක්, සාදික්කා ස්වල්පයක්, තුනපහ කුඩු තේ හැඳි එකක්, මිරිස්කුඩු අවශ්‍ය පරිදි ලුණු කුඩු අවශ්‍ය පරිදි සීනි තේ හැඳි දෙකක් මේ දේවල් හොඳට අඹරගාන්න. ලියාගත් පහේටික හා පොල්කිරි ටික හැර අනිත් ඒවා ටික කලින් සාදාගත් අන්නාසි කෑලි ටික හොඳට කලවම් කර මැටි භාජනයකට බටර් හෝ තෙල් ටික දමා හොඳට රත්කර එයට කලින් ලියාගත් ලුණු මිරිස් කරපිංචා සමඟ කෑලි මිරිස් ටිකක් එක්කර ගන්න. එයට සාදාගත් අන්නාසි ටික දමා විනාඩි පහක් විතර තැම්බෙන්න හැර ආහාරයට ගන්න. සාරවත් ගුණවත් සුවඳවත් ව්‍යංජනයක් අන්නාසිවලින් සාදගත හැක. ගෙදර විශේෂ උත්සව අවස්ථාවකට කදිමට ගැළපෙන අළුත් අත්දැකීමක් ලබාගන්න පුළුවන්. මීළඟට ඉදුණු මුරිෂි අන්නාසි හා රට අන්නාසි මේ සඳහා ගත යුතුයි.

අන්නාසි තෙල් දැමීම

හොඳට ඉදුණු අන්නාසි ගෙඩියක් පොත්ත ඉවත් කර ඇහිද සුද්ද කර ගන්න. මැද නාරටිය ඉවත් කර තරමක කැබලිවලට කපා ගන්න මේ සඳහා අවශ්‍ය දේවල්, කෑලි මිරිස් කුඩු, ග්‍රෑම් පනහක් පමණ ග්‍රෑම් දෙසීයක රට ලූනු ගෙඩියක් සිහින් වෙන්න ලියාගන්න. සුදු ලූනු බික් දෙකක්, කරදමුංගු කරලක්, කරාබු නැටි දෙකක් , කොත්තමල්ලි කොළ කීපයක් (ඇත්නම් විතරයි) සාදික්කා ටිකක්, ගම්මිරිස් ඇට දහයක් විතර සේර කැබැල්ලක්, කෑලි මිරිස්, රට ලූනු හැර අනිත් ඒවා හොඳට කොටන්න. ලියාගත් රට ලූනු ටිකද දාන්න. කොටාගත් ද්‍රව්‍ය ටික අන්නාසිවලට දමා හොඳින් අනාගන්න. නැවත අමුමිරිස් කරල් දෙකක්, රතු ලූනු ගෙඩි දෙකක් ලියාගන්න. අමු මිරිස් කරල් දෙකද සිහින් වෙන්න කපා ගන්න. කරපිංචා ඉතිදෙකක කොළ සිහින් වෙන්න ලියාගන්න. සීනි ග්‍රෑම් පනහක් පමණ, තුනපහ කුඩු තේ හැඳි භාගයක්, පොල්තෙල් තරමක් මෙයටත් මැටි භාජනයක් ගන්න. තෙල් ටික රත්වෙන්න මැටි භාජනයට දමා ලිප තබන්න. හොඳට තෙල් රත් වූ පසු ලියාගත් පහේ ටික දමන්න. එය හොඳට රත්වූ පසු අන්නාසි ටික දමා කලවම් කරන්න. අවශ්‍ය පරිදි ලුණු එක්කරගන්න. විනාඩි දහයක් විතර මද ගින්නේ පිසගන්න. ඊට පසුව සීනි ටික එක්කර විනාඩි තුනක් විතර තබා දෙහි ඇඹුල් ටිකක් එක්කර නැවත කලවම් කර ලිපෙන් තබාගන්න. සුවඳවත්තෙල් ආහාරයක් සාදාගන්න.

අන්නාසිවලින් බීමක් සාදාගන්නා ක්‍රමය

හොඳට ඉදුණු අන්නාසි ගෙඩියක් අරන් හොඳට පොත්ත සුද්ද කර කැබලිවලට කපාගන්න. කපාගත් අන්නාසි කෑලි ටික බ්ලෙන්ඩරයක ආධාරයෙන් බ්ලෙන්ඩර් කරගන්න. හොඳට බ්ලෙන්ඩර් වුණාට පසුව පෙරණයකින් පෙරාගන්න.ලුණු ටික එක්කර කලවම් කරගන්න. සීනි අවශ්‍ය පමණට එක්කරන්න. රසය අනුව පැය හතරක් විතර ශීතකරණයේ තබන්න. ඉන්පසුව ප්‍රයෝජනයට ගන්න. සාරවත් ස්වභාවික බීමක් ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න.

අන්නාසි ජෑම්

මෙයටත් හොඳට ඉදුණු අන්නාසි ගෙඩියක් අරන් හොඳට පොත්ත සුද්ද කර ඇහිද සුද්ද කර හීන්වෙන්න කපාගන්න. භාජනයකට දමා හොඳට අතින් පොඩිකර ඉස්ම ඉවත්කරගන්න. (පොල් මිරිකන විදිහට මිරිකාගන්න) ඉස්ම ඉවත්කරගත් අන්නාසි ටිකට ලුණු තරමක් එක්කර හොඳට කලවම් කරගන්න. කලවම් කරගත් අන්නාසි කැබලි ටික විනාඩි 10 පමණ වසා තබන්න. සීනි ග්‍රෑම් තුන්සිය පනහක් විතර හෝ ප්‍රමාණය අනුව සීනි එකතු කර ගන්න. එක්කළ සීනි ටික හොඳට දිය වෙන්න අන්නාසි ඉස්ම සමඟ කලවම් කරන්න. දියකර නැවත සීනි ග්‍රෑම් පනහක් භාජනයක දමා ලිප තබා පත් පැණි කරගන්න. පැණිවලට අන්නාසි කැබලි ටික දමා හොඳට හැන්දකින් කලවම් කරන්න. අන්නාසිද තැම්බෙන්න හැර එයට අන්නාසි ඉස්මද එක්කර හැඳිගාමින් හිඳෙන්න හරින්න. තරමක් ඉස්ම හිඳෙන විට කරදමුංගු හා කරාබුනැටි. කුරුඳු කුඩු ටිකක් කරදමුංගු හා කරාබුනැටි තලා දාන්න. ගනකම් පදම වනවිට ලිපෙන් බාගන්න. හොඳට නිවුණාට පසුව භාජනයකට දමාගන්න. පියන වැසිය හැකි භාජනයක් ගන්න.

අන්නාසි අච්චාරුව

මේ සඳහා වඩාත් සුදුසු හොඳට පැසුණු අන්නාසි, අන්නාසි පොත්ත සුද්දර කර ඇහිද සුද්දර කරගන්න. අවශ්‍ය පරිදි කුඩාවට හතරැස් විදිහට කෑලි කපා ගන්න. අඹරාගත් අබ ටිකක් කලවම් කරගන්න. අන්නාසිවලට මීට අමතරව තම්බපු වෙරළු ගෙඩි ටිකක් ඇඹරැල්ලා ගෙඩි 3 ක් විතර සුද්දර කර කෑලි කපාගන්න. ඇඹුල් ලොවි ගෙඩි කීපයක් (සොයාගැනීමට හැකිනම්) තරමක අඹ ගෙඩියක් පොත්ත සුද්දර කර ඇටය ඉවත් කර තරමක කැබලිවලට කපාගන්න. තරමක පේර ගෙඩියක්ද කෑලි කපා ගන්න. මේ සියලු දේවල් අන්නාසි සමඟ කලවම් කරන්න. එයට ලුණු මිරිස් කුඩු, සීනි ස්වල්පයක් අන්නාසි ඇති නිසා විනාකිරි මෙයට අවශ්‍ය නොවේ. විනෝද චාරිකාවට , ස්වයං රැකියාවක් වශයෙන් කරන්නත් හොඳයි. සවස් කාලයේ ගෙදර අතුරු කෑමක් ලෙසත් සාදාගන්න හොඳයි.

අන්නාසිවලින් කෑම කීපයක් හදන විදිහ මෙයින් සඳහන් කළත් සිංහල අන්නාසි හෙවත් ගල් අන්නාසි ආහාරයට සුබවාදී නැති නිසා එම අන්නාසි පිළිබඳව මෙහි සඳහන් කර නැත. කෙසේ වෙතත් ගල් අන්නාසි මන්ත්‍ර කටයුතු වලට ප්‍රධාන තැනක් ගන්නා අතර එයද අශුභ කටයුතුවලට ගනු ඇත. අමතරව සමහර සිංහල වෙදකම්වලට ගල් අන්නාසි එක්කරගනු ලැබේ.

අන්නාසි අගුණ වන අවස්ථා විශේෂයෙන් මාස තුනක් විතර වන ගැබිනි මව්වරුන්, හෝමියෝපති බෙහෙත් පාවිච්චි කරන අයට, ලේ විෂ වෙන අයට, වකුගඩු රෝගවලින් පීඩා විඳින රෝගීන්ට, මෙම අයට හැර අනිත් අයට කෑම දිරවීමට උදරයේ රෝගාබාධයන්ට ගුණදායක ආහාරයක් වශයෙන් සැලකීමට පුළුවන.

මීට අමතරව හොඳට ඉදුණු අන්නාසි ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු ස්වල්පයක් එකට කලවම් කර අන්නාසි සමඟ කෑමට ගන්න පුළුවන්. අතුරුපසක් ලෙස සඳහන් කරන්න පුළුවන.

 

දේශීය පාරම්පරික
වෛද්‍ය දේශබන්දු
ඩී.පී.ඒ. පාලින්ද

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.