පොතුවිල වෙද හාමුදුරුවන් උඩරට පන්සලේ දී හදිසියේ හදාගත් අපූරු ගුලිය

ජූලි 26, 2019

අපේ රටේ ජාතික ආගමික, ශාසනික සමාජ සංස්කෘතිය ආරම්භ වූයේ ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි නම් වූ සංස්කෘතික හර පද්ධතිය මුල්කරගෙනය.

අපේ රටේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ඇරැඹුණු ශාසනික ඉතිහාසය ආරම්භ වූවාට පසු රටේ කවර පළාතක හෝ නව ගම්මානයක් හැදෙන විට ඒ සමඟම පන්සලක්ද නිර්මාණය කෙරුනේ එම ගමේ වැසියන් දායක කාරකාදීන් වශයෙන් ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් ජීවනෝපාය කරගෙන යාම සඳහා උපදෙස් දීම සඳහා ය. එම හිමි නමගේ උපදෙස් පිළිපදිමින් දැහැමින් සෙමින් ගොවිකම් හෝ තම තමන්ට ගැළපෙන ආකාරයේ කර්මාන්තවලින් අඹු දරුවන් රැකීමේ පිළිවෙත සලසා ගත් ගැමියෝ තම පවුලේ ප්‍රධාන අවශ්‍යතා ඇති වූ විට පන්සලේ නායක හිමියන්ගේ පිහිට පැතූහ.

නාහිමියෝ අධ්‍යාපනයෙන් හා පැවැතුමින්ද ගමේ අන් අයට වඩා ඉහළින් සිටියහ. එසේම වෙදකම ගැන දැනුම, උන්වහන්සේට ලැබෙන්නේ මූලික අධ්‍යාපනයලත් පිරිවෙනක මාර්ගයෙනි. එසේ වෛද්‍ය විද්‍යාව මෙන්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍ර දැනුමද එවන් හිමිනමකගෙන් හෝ පිරිවෙනකින් ගමේ පන්සලේ හාමුදුරුවන් වෙත ලැබෙන්නේ එවන් ශාස්ත්‍රද තම දායකකාරකාදීන් සමඟ කෙරෙන පයුරු පාසානම්හි යෙදීමෙන් නියත වශයෙන්ම අවශ්‍ය වන බැවිනි.

ගම්පියසේ පවුලක දරුවෙකුට අකුරු සාස්තරේ උගන්වන්ට මෙන්ම එම පවුලේ කෙනෙකුට ලෙඩ දුකක් සෑදුන විට බෙහෙතක් ලබා දෙන්නට මෙන්ම අවශ්‍ය වූවහොත් තෙල් බෙහෙත් ටිකක් මතුරන්නටද ගමේ පන්සලේ හාමුදුරුවන් සමත් වූහ. උන්වහන්සේ තෙරුවන් සරණද ඇවැසි වුවහොත් දෙවි දේවතාවුන්ගෙන්ද පිහිට ලබාගෙන සුවය සලසා දීමට නිතරම ඉදිරිපත් වූහ.

එමෙන්ම ගමේ ළදරුවාගේ පටන් වැඩිහිටියා දක්වා යම් යම් කටයුතුවලදී නැකැත් බලා සුබ නැකතට යම් යම් කටයුතු ඉෂ්ට සිද්ධ කරවා දීමටද, ඔවුන්ට ග්‍රහ අපල උපද්‍රව සිදු වුවහොත් ඒ ගැන ග්‍රහඵල පරීක්ෂා කර බලා ඒ ගැන ගුරු හරුකම් ලබාදෙන්නට ද ගමේ පන්සලේ හාමුදුරුවෝ සමත් වූහ.

ඈත යුගයේ ඒ ඒ පළාත්වල ගම්බිම්වල පැවැති පුරාණ වෙහෙර විහාරවල ක්‍රියාත්මකව පැවැති පිරිවෙන් මඟින් මෙවන් සේවාවන් ආරම්භ වුනි. මේ මෑත යුගයේ ඉංගී‍්‍රසි පාලන සමයේ ආරම්භ වූ මාලිගාකන්ද විද්‍යෝදය, පෑලියගොඩ විද්‍යාලංකාර වැනි පිරිවෙන් රටේ ජාතියේ අනාගතය වෙනුවෙන් එවන් ගම්තුළානවල සිටි ශාසනික මෙහෙය ඉටු කිරීමට ඉදිරිපත් වූ සඟපරපුරක් බිහිව සිටියහ. විද්‍යෝදයේ නිර්මාතෘ වූ පරම පූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයෝ ද විද්‍යාලංකාර නිර්මාතෘ වූ පරම පූජනීය රත්මලානේ ධම්මාලෝක නායක ස්ථවිරයෝ ද එවන් යුතුකම් සම්භාරයක් ඉටුකර මතු දිනෙක රටපුරා වැඩ දායක සඟපරපුරක් බිහිකරනු පිණිස සිදුකළේ මහානීය පුණ්‍යකර්මයක් බව අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කස්තුරි ලියයි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.