වාතරක්ත රෝගයෙන් ඔබත් පීඩා විඳිනවාද ?

අගෝස්තු 2, 2019

අද අප සමාජයේ වාතරක්ත රෝගයෙන් පීඩාවිඳින අය විශාල ප්‍රමාණයක් සිටී. පාදයේ පටන් මහපට ඇඟිල්ල දක්වා ඉදිමුම සමඟ දියර ගලා තුවාල ඇතිවේ. වාතරක්ත රෝගීන් රෝගය නිවැරදිව හඳුනා නොගෙන ලබාගන්නා ප්‍රතිකාර නිසා අවසානයේ ප්‍රතිඵල රහිතව කාලයත්, ධනයත්. වැයවී පිරිහී ගිය මානසිකත්වයකින් යුතුව සමහර විට සමාජයෙන් කොන්වීමට පවා සිදුවෙයි.

ප්‍රතිකාර කිරීමේදී වාතරක්ත කුෂ්ඨ යන රෝග දෙකේ වෙනසක් නැති තරම්ය. ආයුර්වේදයේ සඳහන් රත්පිත්, රක්තවාත. වාතරක්ත හා කුෂ්ඨ යන රෝග හතරම නිදාන පූර්ව රූප, ප්‍රතිකාර ආදියෙන් එක සමානය. ප්‍රතිකාර කිරීමේදී වාත රක්ත කුෂ්ඨ යන දෙකේ වෙනසක් නැති තරම්ය. ඉහත සඳහන් මේ රෝග හතරම ඇතිවන්නේ ලෙය දූෂ්‍ය වීම නිසා ය. එසේ නම් ලේ දූෂ්‍ය වීමට හේතුවූ කරුණු නිසා වාතරක්තය හටගන්නා බව කිව යුතුයි.

ඌෂ්ණාධික පළාත්වල ජීවත්වන අය බොහෝවිට මේ රෝගවලින් පීඩා විඳියි. ඌෂ්ණාධික ආහාරපාන උෂ්ණ ශීත වශයෙන් එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම, මස්, බිත්තර, තෙල්කෑම සහ දිරවීමට අපහසු ආහාර හා ආහාර දිරවීමට කලින් නැවතත් ආහාර ගැනීම. නිතර අජීර්ණ රෝගවලින් පෙළීම, නිරාහාරව සිටීම, රාත්‍රි නිදිවැරීම, දහවල් නිදාගැනීම, ව්‍යායාමයන්හි නොයෙදීම, ශීත කාමරවල, වතුරු බිම් ආශි‍්‍රතව ජීවත්වීම, ශෝක කිරීම, ක්‍රෝධ, භය වැනි මානසික හේතු, නියමිත කාලවල වමන විරේක කර්ම නොකිරීම නිසා ශරීරයේ සප්ත ධාතු අතුරෙන් රුධිරගත, ත්‍රිධාතුන්ගෙන් වාතය කෝප වී මේ රක්ත වාත රෝගය හටගනී.

මෙසේ කෝප වු වාතය නිසා ශිරා හෙවත් අපිරිසුදු ලෙය ගෙන යන නහර පළල්වීමත් පිරිසුදු ලෙය ගමන් කරන නහර කුඩාවීමත් සිදුවේ. එම විකෘත මාර්ග දිගේ දූෂ්‍ය වු රක්තය ගමන් කිරීම සමඟ සන්ධි වාත සහ කුෂ්ඨ රෝග ලක්ෂණ ඇතිකරවන රෝගයට ‘වාතරක්තය’ යයි කියනු ලැබේ. මේ අපිරිසුදු ලෙයත්, වාතයත්, ඇසුරු කරන ශරීරයේ සෑම සන්ධිස්ථානයකම පෙර නොවු විරූ වේදනා ඉදිමුම් හටගනී.

වාතරක්ත රෝගයේදී ලෙයත්,වාතයත් සමඟ මුත්‍රාත් දූෂ්‍ය වේ. මුත්‍රවල බොහෝ අපිරිසුදු කොටස් ගැබ්ව ඇත. දියර වර්ගම දෙකක් නිසා මේ ලෙයත් මුත්‍රවලත් සම්මිශ්‍රණය ඉතා පහසුවෙන් සිදුවෙයි.

දූෂ්‍ය වූ මේ කොටස් දෙක වාතයේ බලයෙන් ශරීරයේ සෑම තැනම ගමන්කරන විට විශේෂයෙන් එම සන්ධිස්ථානවල විෂ කොටස් රැඳීම නිසා සන්ධිවල වේදනාව ඉදිමුම ආදී ලක්ෂණ හටගනී. වාතරක්ත රෝගීන්ගේ අම්ලවල මුත්‍ර ගතිය වැඩිවීම මීට හොඳම නිදසුනකි.

මෙම වාතරක්තය උක්තාන (බාහිර) ගම්භීර ( අභ්‍යන්තර) වශයෙන් කොටස් දෙකකි. සම හා මස් ආශි‍්‍රතව බාහිර වාතරක්තයත්, මේදස් මජ්ජා ආශි‍්‍රතව අභ්‍යන්තර වාතරක්තයත් හටගනී. බාහිර වාතරක්තයේදි තම කඵ හෝ තඹපාටවීම පැළීම, කැසීම, දැවිල්ල, කටු අනින්නාක් මෙන් දැනීම වේදනාව ඇතිවීම සිදුවේ.

සන්ධිවල දැඩි වේදනාව සමඟ ඉදිමීම, අත් පා ආදියේ ක්‍රියාකාරිත්වය අපහසුවීම ද සහ වෙනස්වීම කොඳු ඇට පෙළේ වේදනාව, කොරවීම. කුදුවීම ආදිය අභ්‍යන්තර වාත රක්තයේ විශේෂ ලක්ෂණ කීපයකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

වෛද්‍ය
ජී.ඩී.බී.පී. මැණිකේ
හොරණ

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.