ඇස්වහ කටවහ දෝෂවලින් හා ග්‍රහ අපල වලින් මිදීම සඳහා පළඳවනු ලබන පංචායුධය

ඔක්තෝබර් 18, 2019

ඇස්වහ කටවහ දෝෂවලින් ග්‍රහ අපල ,යක්ෂ භූත පේ‍්‍රත අමනුෂ්‍ය බැල්මෙන් ආරක්ෂාවීම සඳහාත් කුඩා දරුවන්ට පළඳවනු ලබන පංචාංයුධය ඈත අතීතයේ සිටම පැවත එන සිරිතකි. දරුවන්ට පංචායුධය පැළදවීම දෙමාපියන් විසින් දරුවා උපත ලබා දින පහක් ගත වූ පසුවද එමෙන්ම ඉඳුල්කට ගාන දිනයේදීත් සමහර දෙමාපියන් තම දරුවන්ට පංචායුධය පළඳවති.

සමහර වැඩිහිටියන් රන්භාණ්ඩ නිෂ්පාදන ආයතනවලින් හෝ වෙළඳසැල්වලින් මිලට ගත්සැනෙන්ම දරුවන්ට පංචායුධය පළඳවති. පංචායුධයක් පැළඳවිය යුතුවන්නේ එය කහ දියර වතුරෙන් හෝ පිරිසුදු වතුරෙන් සෝදා පවිත්‍ර කිරීමෙන් පසුවය.

දරුවකුට පංචායුධයක් පැලදවීමේ සිරිත වන්නේ උපතේ සිට දින පහෙන් මාස තුනෙන් හෝ ඉඳුල් කටගෑම කරන දිනයේ දී කිරීම සාමාන්‍ය සිරිතය. පංචායුධයක් රනින් නර්මාණය කිරීමේදී නියමිත දිග, පළලක් හෝ බරක් හෝ හැඩරුවක් හෝ සඳහන් කර නොමැත. ඒ නිසා පංචායුධ රවුමට මෙන්ම බෝ කොළයක හැඩයටද සකස් කර පළදා ඇති බව බොහෝ විට දැකගන්නට ඇත. මෙය රනින් රිදියෙන්ද නිර්මාණය කර ඇත. පංචායුධයක් සැකසීමේදී ඉපැරණි ක්‍රමය වූයේ හක්ගෙඩිය (ජයසංඛය) චක්‍රය මුගුªර, දුන්න කඩුව යන ආයුධ පහ වෙන වෙනම කපා නිර්මාණය කර එකිනෙකට නොගෑවෙනලෙස පෑස්සීමයි. චතුරශ්‍ර බෝ පත් හැඩය රවුම ආදී විවිද හැඩතල උපයෝගීකරගෙන සකස් කිරිමයි. එසේ සකස් කරන ලද පංචායුධයක් දරු වාට පැළඳිය යුත්තේ නිසි පරිදි ඔප දැමීමෙන් පසුවය.

පංචාංයුධය සුවඳ පැණින් සෝදා දරුවාගේ උපන් වේලාව අනුව බලා සකස් කරගත් සුබ මොහොතේ පූජාවක් තබා ස්ත්‍රෝත්‍ර ගායනාකොට ලබාදී ඇති නැකැත් වේලාවේදී දරුවාගේ ගෙලෙහි පැළදවිය යුතුය. සමහර දරුවන්ගේ ඉන ප්‍රදේශයේද පංචායුධ පළඳවා ඇති බව පෙනේ. පංචායුධයට අයත් හක්ගෙඩිය චක්‍රය ,මුගුර දුන්න, හා කඩුව යන විශේෂිත වූ උපකරණ ඈත අතීතයේ දී ඉතා ප්‍රබල උසස් අන්දමින් භාවිතා කර ඇත. ජය සංඛ්‍ය නොහොත් හක්ගෙඩිය සශ්‍රීකත්වයේ සංකේතයකි. විෂ්ණු දෙවියන් කිරි සයුර කලඹවා ලබාගත් අනර්ගතම වස්තුවකි. එමෙන්ම දෙවියන්ට ආරාධනා කිරීමේදී මෙන්ම යුද්ධ හා සටන් අවස්ථාවේදී ලැබූ ජය සංකේතවත් කිරීමටද යොදාගත් මාලම්පූරිය හෙවත් ජයසංඛය හක් ගෙඩිය මහා අනර්ගත වස්තුවකි.

පංචායුධයේ ඇති චක්‍රය සටනකදී ආරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර වැළැක්වීම සඳහා ගනු ලබන ආරක්ෂක ආයුධයකි. මුගුර ද ප්‍රබල ආයුධයකි. යමකට ඇනීමට හා යමක් පැලීම සඳහා යොදාගනු ලබන ශක්තිමත් ආයුධයකි. දුන්න හා ඊතලය සතුන් දඩයමට මෙන්ම සතුරන් දමනයට යොදා ගනු ලබන ආරක්ෂක ආයුධයකි. කඩුවට ඇත්තේ දීර්ග ඉතිහාසයකි. සටන් බිමේදී ප්‍රධානතම ආයුධයක් ලෙස රජ කාලයේදී පැවැති කඩුව ඉතිහාසගත ආයුධයකි. මෙවැනි බලසම්පන්න බලගතු ආයුධ පංචායුධයට එක්කිරිමෙන් ඉන් ලැබෙන ආරක්ෂාවද බොහෝ ය.

ඈත අතීතයේ පංචායුධ නැමැති කුමරකු ඈත ප්‍රදේශයකට ගොස් ශිල්ප හදාරා පැමිණෙමින් සිටින විට ඇතිවූ විඩාව නිසා ඒ අසල වූ වනයේ ගසක් යටට ගොස් සිටියදී නින්ද ගියේය. එම අවස්ථාවේදී එම ගසට අරක්ගත් බලවත් යක්ෂයකු ගසින් බැස කුමරා අල්ලා ගැනීමට පැන්නේය. එසැනින්අවදි වූ කුමරා යක්ෂයාට යමක් පැවසීමට ඇතැයි කීය. එහිදී කුමරුගේ නම ඇසූ යක්ෂයා තමා මරාකෑමට ප්‍රථම එය කිව යැයි මොර දුන්නේය. තමා පංචායුධ කුමාරයා බවත් තමාගේ ශරීරයේ පංචාංයුධ පහක්ම ඇති බවත් කී කුමරු තමා මරා කෑවොත් යක්ෂයා ද ඒ ආයුධ ඇනී මරනයට පත්වන බවත් කීය. ඉන් බියට පත් යක්ෂයා කුමරාට වැඳ පලා ගියේය. එසේ පලායෑමට හේතුවූයේ පංචායුධ කුමාරයා පංචායුධය පිළිබඳ කීම නිසාය. එයින් පසුව කුඩා දරුවන්ට පංචායුධ පැළදවීමේ චාරිත්‍රය ඇතිවූ බවට විශ්වාස කෙරේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ
විද්‍යා නිධි මොරටුවේ
තිස්ස මහානාම

සටහන
බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.