“උණුවතුර” රෝග රැසකට ප්‍රත්‍යක්ෂ ඔසුවකි

ජූලි 24, 2020

වැසිසමය උදා වී ඇත. ගංගා, ඇළ දොළ, ළිං ජලය අපිරිසුදුතාවයට පත්විය හැකි ය. එමෙන්ම ලෝකය පුරාම මෙන්ම අප රටත් වසංගත තත්ත්වයකට ගොදුරු වී ඇත. මේ තත්ත්වය නිසා ජලය පානය කිරීමේ දී වඩාත් සැළකිලිමත් විය යුතු ය. 

සෙංගමාලය, අතීසාරය, උණ සන්නිපාතය, කොළරාව රෝග පණු රෝග අජීර්ණ ආදී බොහෝ රෝගයන්ට දූෂිත ජලය පානය කිරීම හේතු වන බව කිව යුතු ය. මේ නිසා ජලය පානය කිරීමට පෙර උතුරවාගත් ජලය මඳ රස්නයෙන් පානය කිරීම වඩාත්ම සුදුසු ය. උණු දිය රෝගයන්ට ගුණ දෙන මහගු ඔසුවකි. විශේෂයෙන් මළශුද්ධිය ඇති කිරීමට උණුවතුර බීම යෙහෙකි. මළ බද්ධයද නැති කරයි. අර්ශස් රෝග තත්ත්වයක් පවතින්නේ නම් මළ බද්ධය වළක්වා ගැනීම සඳහා රාත්‍රී ආහාරයගත් පසුවත් උදේ ආහාර ගැනීමට ප්‍රථමත් හිස්බඩට උතුරවා නිවාගත් ජලය මඳරස්නයෙන් පානය කිරීමෙන් සහනයක් ලබා දෙයි. 

හිස්බඩට උණුදිය දීමෙන් අම්ලපිත්ත රෝගය නිසා ඇතිවන බඩේ දැවිල්ල, බඩ පිපුම, ඇඹුල් රස උගුරට ඒම, රාමතෙල් පිටවීම වැනි අපහසුතාවයන් මඟහරවා ගත හැකි ය. විශේෂයෙන් අර්ශස් රෝගීන්ගේ මළ බද්ධයට උදෑසන උණුදිය පානය කිරීම හොඳ බෙහෙතකි. එමෙන්ම ආහාර දිරවීමට අවශ්‍ය පිත ඉනීමට ද මද රස්නයෙන් යුත් ජලය පානය කිරීම උපකාරී වේ. කැස්ස, හතිය, මහන්සිය පවතින රෝගීන්ට රාත්‍රී කාලයේ දී සෙම පිට නොවීම ඉමහත් පීඩාවකි. එවැනි අවස්ථාවලදී උණුදියට සහිඳලුණු ටිකක් මිශ්‍රකර බීමට දීමෙන් සෙම පිටවේ. උණුවතුර  නිතර පානය කිරීමෙන් වාත රෝගවලින් මිදීමට ද හැකියාවක් ලැබේ. කැස්ස ඇති වූ විට ද මද රස්නයෙන් යුත් උණුවතුරට සහිඳලුණු ටිකක් මිශ්‍රකර බීමෙන් සෙම පිටකිරීම පහසු කරයි. මුත්‍රා බද්ධය ටික ටික මුත්‍රා පිටවීම සහ කහ පැහැයෙන් යුතුව මුත්‍රා පිටවීම හෝ ආශ්මරී රෝගයට උණුවතුර වැඩි වැඩියෙන් පානය කිරීමෙන් ඇතිවන සහනය බොහෝ ය. 

මදරස්නයෙන් යුත් උණුවතුර බීමෙන් සිරුරේ අනවශ්‍ය මේදය වැඩිවීමක් සිදු නොවේ. සිරුරේ තරබාරුවට ද සහනයක් ලබා ගත හැකි ය. පිපාසය ඇතිවන අවස්ථාවලදී ද උණුවතුර පානය කිරීමෙන් පිපාසය සංසිඳවාගත හැකි ය. එමෙන්ම සිරුරේ දහඩිය පිටකිරීමද උණුවතුර බිව්විට හොඳින් සිදුවේ. සමේ නිරෝගීතාවයටද උණුජලය බීම යහපත් වේ. තද හිසරදය පවතින අවස්ථාවලදී උණුදියෙන් නැගෙන වාෂ්පය නළලට ඇල්ලීමෙන් හිසරදය අඩු වී සුවයක් ඇති වේ. රා, අරක්කු වැනි මත්වතුර බී මත් වූ අයට උතුරවා නිවාගත් ජලය මද රස්නයෙන් බීමට දීමෙන් සුළු වේලාවකදී මත් ගතිය නැති වේ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.