ආයුර්වේදයේ සඳහන් චතුෂ්පාදයේ ප්‍රධානත්වය උසුලන්නා හෙවත් වෛද්‍යවරයා

ජූලි 31, 2020

භිෂග්ද්‍රව්‍යාණ්‍යු පස්ථාතා - රෝගී පාද චතුෂ්ටයම් 

ගුණවත් කාරණං ඥෙයං - විකාරවපුපශාන්තයේ 

රෝග සුව කිරීම උදෙසා වෛද්‍යවරයා, ඖෂධ ද්‍රව්‍ය, උපස්ථායකයා සහ රෝගියා යන චතුර්විධ පාදයන්ගේ එක්වීම අවශ්‍ය බව චරක ආචාර්යතුමා පවසා ඇත. මෙම චතුෂ්පාදය අතුරින් වෛද්‍යවරයාට ප්‍රධාන ස්ථානය හිමි වේ. චිකිත්සා කර්මයේ දී අනෙක් පාදත්‍රය මැනවින් සම්පූර්ණ වුවද වෛද්‍යවරයා අවශ්‍ය ගුණාංගවලින් අසම්පූර්ණ වී නම් චිකිත්සාවෙන් අවශ්‍ය ප්‍රතිඵල නොලැබේ. 

ඖෂධ යෙදීම, පථ්‍යාපථ්‍ය විධානය, ඇවතුම්, පැවතුම් පිළිබඳ අවවාද දීම, රෝගියාට අනුශාසනා කිරීම යන මේවා වෛද්‍යවරයා විසින් ම සිදුකළ යුතු කාර්යයන් වේ. 

භාජන, දර, ගින්දර යන මේවා ආහාර පිසීම සඳහා අත්‍යවශ්‍ය වුවත් එහි ප්‍රධානත්වය හිමි වන්නේ ආහාර පිසින්නාට ය. එසේම චිකිත්සාවේ දී ද්‍රව්‍ය උපස්ථායකයා හා රෝගියා සිටීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ප්‍රධානත්වය හිමිවන්නේ වෛද්‍යවරයාට ය. 

ආතරාද්‍යා ස්තථා සිද්ධෞ - පාදාඞ කාරණසංඤ්තාඞ 

වෛද්‍යස්‍යාතශ් චිකිත්සායාං - ප්‍රධානං කාරණං භිෂක් 

රෝගියා, උපස්ථායකයා, ඖෂධ යන පාදත්‍රය සම්පූර්ණව පැවතියත් වෛද්‍යවරයා අදක්ෂ වුවහොත් ඉතා පහසුවෙන් සුවකළ හැකි රෝග පවා අසාධ්‍ය තත්ත්වයට පත් වේ. එබැවින් මෙම චතුෂ්පාදයේ ඉතාම වැදගත් පාදය වන්නේ වෛද්‍ය පාදයයි. 

මෙහිදී වෛද්‍යවරයා සතු ගුණාංග 4 ක් පිළිබඳව කියැ වේ. මේවා චතුර්විධ වෛද්‍ය ගුණ ලෙස දක්වා ඇත. ඒවා නම්, 

01. ශාස්ත්‍ර විෂයෙහි නිර්මල බුද්ධිය 

02. පළපුරුද්ද 

03. චිකිත්සාවෙහි දක්ෂතාවය 

04. පවිත්‍ර චරිතය 

ශාස්ත්‍ර විෂයෙහි නිර්මල බුද්ධිය 

මින් අදහස් කෙරෙනුයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යා ඥානය පිළිබඳ ගැඹුරු දැනුමයි. වෛද්‍යවරයා තුළ මෙය ඉතා මැනවින් පිහිටා තිබිය යුතු ය. රෝග, හේතු, ලක්ෂණ පමණක් නොව ද්‍රව්‍ය ගුණ විඥානය ආදී සියල්ල පිළිබඳ මනා දැනුමක් තිබිය යුතු ය. එසේම රෝග සමනය හා නිට්ටාවට සුව කිරීම යන කරුණු පිළිබඳ ඥානයක් ශාස්ත්‍ර විෂයෙහි නිර්මල බුද්ධියක් ඇති වෛද්‍යවරයා සතු විය යුතු ය. 

පළපුරුද්ද 

නැවත නැවත චිකිත්සා කර්මයෙහි යෙදීමෙන් ලබාගන්නා වූ අත්දැකීම් මින් අදහස් කෙරේ. වෛද්‍යවරයෙකු සතු ශ්‍රේෂ්ඨතම ගුණයක් වන මෙම චිකිත්සා කර්මයෙහි පළපුරුද්ද සුවිශේෂී ස්ථානයක් ගනී. පළපුරුද්දෙන් තොරව චිකිත්සාවක් නොමැති තරම් ය. 

චිකිත්සාවෙහි දක්ෂතාවය 

ඖෂධ තෝරා ගැනීම, රෝග නිර්ණය, චිකිත්සාව ආදී සියලුම වෛද්‍ය කාර්යයන් පිළිබඳ ශූරත්වය දක්ෂතාවය ලෙස අදහස් වේ. 

පවිත්‍ර චරිතය 

වෛද්‍යවරයා බාහිර වශයෙන් මෙන්ම මනෝ දුෂ්චරිතයන්ගෙන් තොරව අභ්‍යන්තර වශයෙන් ද පිරිසුදු විය යුතු ය. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ පෙරදැරිව මානසික පවිත්‍රතාවය හා ඇඳුම, පැළඳුම ඇතුළු අවට පරිසරය පිරිසුදු බවින් තිබීම ද ඉතා සුවිශේෂී වේ. එසේම ෂඩ්විධ වෛද්‍ය ගුණ පිළිබඳව ද චරක සංහිතාවේ මෙසේ සඳහන් වේ. 

විද්‍යා විතර්කෝ විඥාණං ස්මෘතිස්තත්පරතා ක්‍රියා 

යසෛ්‍යතේ ෂට්ගුණාස්තස්‍ය න සාධ්‍යමනිවර්තතේ 

විද්‍යා 

මින් අර්ථ ගැන්වෙන්නේ පොත පතින් හා ගුරු ඇසුරින් ලබා ගන්නා වෛද්‍ය ශාස්ත්‍ර ඥානයයි. මෙයට නිදානාදී පංචකය පිළිබඳ දැනුම මෙන්ම රෝග, ඖෂධ, ගුණ කර්ම, රෝගියාගේ දේහ බලය, ප්‍රකෘතිය, වයස, සාධ්‍ය අසාධ්‍යතා යන මේවා පිළිබඳ පුළුල් වූ අවබෝධයයි. 

විතර්ක 

ශාස්ත්‍ර යුක්තීන් විමසා බලා සැක දුරු කර ගැනීම විතර්ක නම් වේ. මෙහිදී තමා අභියසට පැමිණි රෝගියාට වැලඳී ඇත්තේ කිනම් රෝගයක් ද, එයට කුමන දෝෂයක වෘද්ධියක් හෝ ක්ෂීණයක් හේතු වී ඇද්ද, ඒ සඳහා යෙදිය යුත්තේ කුමන ඖෂධ ද යන කරුණු පිළිබඳව නුවණින් විමසා බලා නිශ්චය කොට නිගමනයකට පැමිණිය යුත්තේ ය. 

විඥානය 

භාෂා ශාස්ත්‍රය පිළිබඳ ඉගෙනීම චිකිත්සා කර්මයට බෙහෙවින් උපකාරී වේ. බොහොමයක් ආයුර්වේද ග්‍රන්ථ ලියැවී ඇත්තේ සංස්කෘත භාෂාවෙන් ය. සංස්කෘත භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබීමෙන් සංහිතා ග්‍රන්ථ හා පුස්කොළ පොත් කියවා තේරුම් ගත හැකි වන්නේ ය. වර්තමානයේ සිංහල භාෂාවට පරිවර්තනය වූ මෙම ග්‍රන්ථ බොහොමයක් දක්නට ඇත. 

ස්මෘතිය 

ස්මෘතිය යනු සිදු වූ දෙයක් යළි සිහියට නඟා ගැනීමයි. රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේ දී ස්මෘතිය  ඉතා වැදගත් වේ. මනා ස්මෘතියකින් තොරව රෝගියෙකු දුටු විට රෝගය හඳුනා ගැනීම හා ඒ සඳහා යෙදිය යුතු පිළියම් පිළිබඳව නිගමනයකට බැසීමට නොහැකි වේ. එසේම රෝගයේ සාධ්‍ය අසාධ්‍ය බව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ද ස්මෘතිය අවශ්‍ය වේ. 

‘මධුර ශ්‍රී ජීවානී’ ආයුර්වේද හා ඡ්‍යොතිෂ විද්‍යායතනයේ ආචාරිණී, ආයු. වෛද්‍ය, සාමවිනිසුරු දේශබන්ධු 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.