කාන්තා කාන්තිය දිය කර හරින සෝම රෝගය

අගෝස්තු 14, 2020

සෝම යනුවෙන් සියුමැලි, සෞම්‍ය, ශීත යන අර්ථය ගෙන දෙයි. ශරීරය පවත්වාගෙන යාමට උපකාරී වන ජලීය පදාර්ථ හෙවත් සෞම්‍ය මාතු ශරීරයෙන් බැහැර වීම නිසා හට ගන්නා වූ රෝගය සෝම රෝගය ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වා දී ඇත. 

සෝම රෝගය වනාහි මුත්‍රා මාර්ග පද්ධතිය හා සම්බන්ධ රෝගී තත්ත්වයකි. විශේෂත්වය වනුයේ මෙම රෝගය කාන්තා පක්ෂයට පමණක් සීමා වීමයි. හේතුව ඔවුන් උපතින්ම සියුමැලි හා වහා සම්පනයට පත් වන අය බැවිනි. 

මෙම රෝගය ඇති වීමට හේතු වශයෙන්, 

අධික මෛථුන සේවනය 

පමණට වඩා අධික ලෙස ශරීරය වෙහෙසට පත්වීම 

ශෝක වීම සහ බියට පත්වීම 

මානසික පීඩනය 

සර්ප විෂ, ඉනා බෙහෙත් වැනි විෂ වර්ග ශරීරගත වීම 

කොඩිවිණ, හදි හූනියම් ආදියට ලක්වීම 

බොහෝ දරුවන් ලැබීම 

අනියත ක්‍රම මගින් ලිංගික ආශ්වාදය ලැබීම.

යනාදිය පෙන්වා දිය හැක. මෙකී කරුණු හේතු කොට ගෙන ශරීරගත වාතය ප්‍රකෝප වී කාන්තා ශරීරයේ පවත්නා වූ ජලීය ධාතුව මුත්‍ර මාර්ගය තුළින් බැහැරට පැමිණේ. මෙම ජලීය ධාතුව මුත්‍රා සමග පිටවීම නිසා හඳුනා ගැනීම අපහසු ය. 

සෝම රෝගයේ ලක්ෂණ 

කිසිදු අපහසුතාවයකින් තොරව මුත්‍ර මාර්ගයෙන් ශීතල වූත්, ගන්ධයක් රහිත වූත්, ප්‍රසන්න වූත්, සාමාන්‍ය මුත්‍ර මාර්ගයට වඩා පැහැදිලි වූත් මුත්‍රා අධික ලෙස පිටවීම. 

සමෙහි වියළි බව හා රළු බව 

ශරීර ශක්තිය දුර්වල වීම හා කෙට්ටු වීම. 

හිස සිසිල් බවින් යුක්ත වීම හෝ හිසරදය. 

මුඛය හා තල්ල ප්‍රදේශයේ වියළි බව. 

සිහි මද ගතිය හා ඈනුම් යාම. 

අධික ලෙස ආහාර ගැනීම. 

අධික පිපාසය. 

නිදිමත බව හා කේන්ති යාම. 

මුත්‍රා අධික ලෙස පිටවීම හා දරා සිටීමට අපහසු බව. 

මෙකී ලක්ෂණ ඇති වීම ගණන් නොගෙන සිටීමෙන් රක්ත හීනතාව හා සන්ධි ඉදිමුම ඇති වන බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය. 

මෙම රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ දී මධුමේහය, වකුගඩු ප්‍රදාහය, මුත්‍ර අතීසාරය වැනි රෝගවලින් වෙන් කොට හඳුනා ගත යුතු ය. 

ප්‍රතිකාර 

හාතාවාරිය කිරිබදු රඹ     පල 

සමසේ ගනිමින් සුනු කොට     මෙසියල 

එළකිරි ලා බොන දිනිදු     උදා කල 

සෝම දරා සිටුවාලයි යන     ජල 

(යෝග රත්)

හාතාවාරිය අල, කිරිබදු අල, ඉදුණු අළු කෙසෙල්, එළකිරි සමඟ උදේ හිස්බඩ බොන්න. 

වැල්මී යොන් ඉදි උඳු සුණු     සමගින් 

රැගෙන කෙසෙල් පල එහි ලා     විලිකුන් 

කකාල එළකිරි     ලා බුවෝතින් 

සෝම දරා සිටිතෙයි යති     නියතින් 

(යෝග රත්) 

වැල්මී, රටඉඳි, උඳු, ඉදුණු අළු කෙසෙල්, එළකිරි සමග පානය කිරීමෙන් සෝම රෝගය සුවපත් වේ. 

ඇඹුලු රසෙහි විළිකුන් ඒ     රඹ පල 

සහ උක් සකුරුත් මීන්     ඇනු කල 

රැගෙන බූවෝතින් දිනිදු     උදා කල 

සෝම දරාවට මෙඔසු     උතුම් බල 

(යෝග රත්) 

නෙල්ලි, ඉදුණු අළු කෙසෙල්, උක් හකුරු, මී පැණි සමග අනා හිස් බඩ බොන්න. 

නිල් මානෙල් අල, උක් දඬු, නෙළුම් රේණු, ඉඹුල්, මැලියම්, වැල්මී, නුග අරළු, නුග දළු, නෙළුම් අල, රට ඉඳි, මුද්දරප්පලම් යන මේවා  කෂාය කර බොන්න. 

සුදුසු කැඳ වර්ග 

බක් මී කොළ, පොතු කැඳ 

හාතාවාරිය කොළ, අල කැඳ 

එළබටු කොළ කැඳ 

මුං ඇට කැඳ 

මොණර කුඩුම්බිය කැඳ 

ශරීරය පුෂ්ටිමත් වීමට - 

නෙල්ලි යුෂ, මී පැණි, රට ඉඳි, එළකිරි, වැල්මී, සාරණ, ඉදුණු අළු කෙසෙල්, උක් රස, කිරිබදු අල. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.