ළදරු රෝගවලට හේතුවන මලබද්ධය

අගෝස්තු 14, 2020

කුඩා දරුවන්ට වැළඳෙන රෝග බොහොමයක් අතුරින් මලබද්ධය ශාරීරික වශයෙන් මහත් පීඩාවක් ගෙන දේ. මෙය වයස් භේදයකින් තොරව කාහටත් ඇතිවිය හැකි තත්ත්වයක් වුවත් විශේෂයෙන් බිළිඳු වයසේ දී හටගන්නා මේ පීඩාකාරී රෝගය වහා හඳුනා නිසි ප්‍රතිකාර යෙදිය යුතු ය.

 එසේ නොවුනහොත් මලබද්ධයේ අතුරු විපාක ලෙස කුඩා දරුවන්ට ශාරීරික දුබලතා, වලිප්පුව, උල්ලෝගම්, චර්ම රෝග හා කාසය ස්වාසය මෙන්ම වෙනත් උපද්‍රවකාරී රෝග රැසකට ගොදුරු වේ. ක්ෂිරප කාලය හා ක්ෂිර අන්නාද කාලය වන (මව්කිරිවලින් පමණක් පෝෂණය වන කාලය හා මව්කිරි හා මෘදු ආහාරවලින් යැපෙන කාලය) ළදරුවා ඉපදී පළමු අවුරුද්දේ සිට අවුරුදු දෙක දක්වා වයස් සීමාව තුළ මලබද්ධය වැනි තත්ත්වයන්ගෙන් දරුවා රැක ගත යුතු ය. ශාරීරික ශක්තිය ඉතාම දුබල මෙම වයස් සීමාව රෝග හටගැනීමේ ප්‍රවනතාවය වැඩිය. එම නිසා ළදරුවාගේ ශාරීරික අපහසුතා හඳුනා කල් නොහැර සුදුසු ආහාරපාන හා ඖෂධ යොදා මනා පැවැත්මකින් යුතුව දරුවා රැක ගැනීම නුවණැති මවකගේ යුතුකමයි. 

ළදරුවාට මෙම තත්ත්වය ඇතිවිය හැකි හේතු....

මව්කිරෙන් පෝෂණය වන කාලය තුළ        ළදරුවන්ට මලබද්ධය හට ගන්නේ මව්කිරිවල පවත්නා උෂ්ණාධිකතාවය හේතුවෙනි. මවගේ අපත්‍ය ආහාරපාන හා අවිවේකය, මානසික අසහනය යන කරුණු මත මව්කිරිවල ස්වභාවය වෙනස් වේ. එසේම මව මලබද්ධයෙන් පෙළේ නම් අනිවාර්යයෙන්ම කිරිවලට ද එය බලපායි. එයට හේතුව මවගේ ශරීරයේ කිසියම් දෝෂ කෝපතාවයක් ඇතිවුවහොත් එම හේතුව නනිසා මව්කිරිවල භෞතික හා රසායනික වෙනස්වීම්වලට භාජනය වෙයි. දරුවාට ද එම තත්ත්වය ඇති වෙයි. 

දේශගුණික විපර්යාස හේතුවෙන් ද නොයෙක් ශාරීරික පීඩා ඇති කරයි. කුඩා දරුවන් ස්වභාවධර්ම වෙනස්වීම්වලට අනුකූලව හැඩ ගැසීමට කලක් ගත වේ. එම නිසා අධික අව් රශ්මිය, අධික සීතල හා වියළි සුළංවලින් ආරක්ෂා කළ යුතු ය. 

මව්කිරිවලින් හා මෘදු ආහාරයන්ගෙන් යැපෙන දරුවාට සාමාන්‍යයෙන් මල බැහැර වන වාර ගණන අඩු නම් ඔහුට දෙන ආහාරවල විෂමතාවයක් හේතුවිය හැක. අධික මාත්‍රාවකින් දරුවාට ආහාර දීම හා කෘත්‍රිම රසකාරක ආහාර පාන වර්ග හේතුවෙන් දරුවා රෝගියෙකු කරයි. එසේම රසායනික ඖෂධ වර්ග නිතර දීමෙන් ද මලබද්ධය ඇතිවෙයි. 

මලබද්ධයෙන් පෙළෙන දරුවාගෙන් ප්‍රකට වන ලක්ෂණ....

මව්කිරි දීමේ වාර ගණන අනුව ඒ සෑම කිරි දීමේ දෙවරකට සැරයක් කුඩා දරුවන් මල බැහැර කරයි. මෙසේ නොවන්නේ නම් මදක් සැලකිලිමත් විය යුතු යි. මන්ද එය මලබද්ධයේ මූලික ම ලක්ෂණය විය හැක.(මෘදු ආහාර ගන්නා දරුවන්ගේ මල බැහැර කිරීම වාර ගන්නා බිළිඳු අවධියට වඩා අඩු ය. එහි වෙනසක් සිදු වී නම් සැලකිලිමත් වන්න. 

මීට අමතරව බඩ පුරවා දැමීම, දරුවා මව්කිරි ආහාරයට ගැනීමට නොකැමැත්ත, මළානික බව, තොල කට වියළීමත් සමග පවත්නා පිම්බුනු ස්වභාවය, මුත්‍රා අඩස්සිය හා අත් පා ඉදිමීම, ඇස්වල වේදනාකාරී බව, හිසරදය නිසා දෙනෙත් නිතර වසා ගෙන සිටීම, කුඩා දරුවන්ගේ ශරීර දාහය ඇතිවීම හේතුවෙන් අධික දහදිය දැමීම වැනි ලක්ෂණ පහළ වෙයි. මෙවැනි ලක්ෂණ වහා හඳුනා ගත යුතු අතර කල් යත්ම සිරුර පුරා පළු මතු වීම, බිබිලි හට ගැනීම යා යම් හෙයකින් දරුවාට උණ ඇති වී එය දිගින් දිගටම පැවතීමත් සමඟ ශරීරය ඉදිමීමට පටන් ගනී. ඒ සමගම වලිප්පුව වැනි රෝග අවස්ථා ඇතිවෙයි. මෙවැනි උපද්‍රවයන්ගෙන් යුත් මලබද්ධය නොසලකා හැරීම අවදානම් වන්නේ එබැවිනි. මෙම තත්ත්වය වළක්වා ගැනීමේ දී      ළදරුවාගේ මල මුත්‍ර පිට කිරීමේ වාර ගණන පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. එම වාර ගණන ස්වාභාවික තත්ත්වයෙන් සිදු නොවේ නම් වෙනස්වීම දිගින් දිගටම පවතී නම් දරුවාට මලබද්ධය ඇති බව සිතිය හැක. මේ අවස්ථාවේදී ම හඳුනා ගැනීම දරුවාගේ සෞඛ්‍ය ආරක්ෂාවට ඉවහල් වෙයි. 

කිරිදෙන මවක් නම් ඉස්සන්, දැල්ලන්, විනාකිරි මිශ්‍ර ආහාර, අබ, මිරිස් හා කුළු බඩු රස අධික ආහාර යන අපත්‍ය ආහාරවලින් වැළකී යහපත් ආහාරපාන හා නිවැරැදි ඖෂධ පරිහරණය කළයුතු අතර එවැනි මවකගේ කිරි දරුවාට ඖෂධයකි. මවට පත්‍ය ආහාර වශයෙන් බිත්තර,  උෂ්ණ නොවූ මස්, මාළු වර්ග, කෙසෙල් මුව, වැටකොළු, වට්ටක්කා, නිවිති, කංකුං, සාරණ, කතුරු මුරුංගා, මුං ඇට, නිවුඩ්ඩ සහිත හාල්, ජල බහුල අලුත් එළවළු හා පලා වර්ග ද, ගස්ලබු, බෙලි, කෙසෙල්, ලාවුළු වැනි පලතුරු වර්ග ද කිරි, තැඹිලි, බෙලිමල්, රණවරා මල්, ඉරමුසු වැනි වර්ග හා පිරිසුදු ජලය පානය කිරීම යන මෙවැනි විශේෂ ගුණ යුතු ආහාර ගැනීම මෙන්ම සුදුසු පරිසරයක විවේකීව දරුවා මෙන්ම මව ද සිටිය යුතු ය. මානසික ප්‍රසන්න තාවය ද බෙහෙවින් කිරි දෙන මවකට තිබිය යුතු අතර ඊර්ෂ්‍යා, ක්‍රෝධ සිතුවිලිවලින් තොර යහපත් සිතිවිලිවලින් යුත් නිවැරැදි ආහාර විහරණ පවත්වන මවකගේ කිරි ලබන දරුවා ද නිතැතින්ම නිරෝගී වෙයි. 

මෘදු ආහාර දෙන වයස් සීමේවේ දී කෘත්‍රිම රස කාරක ආහාර පාන වර්ග දරුවාට නොදිය යුතු ය. උෂ්ණ ගුණ යුතු පලතුරු වර්ග දීමෙන් වැළකී ගස්ලබු, බෙලි, කෙසෙල් වැනි අලුත් පලතුරු යුෂ දීම යහපත් ය. දරුවාට වරින් වර පිරිසුදු වතුර හා රත්මල්, වදමල්, කොත්තමල්ලි, තැඹිලි වැනි පානයක් සකස් කර දීමෙන්             ළදරුවාගේ ශරීරය සිසිල් කර අපහසුතා මග හරී. මෙසේ කිරි දෙන මව හා ළදරුවාගේ නිවැරැදි ආහාරපාන හා යහපත් චර්යා රටාවන් පැවැත්මෙන් මලබද්ධය වැනි ශරීර ආබාධ වළක්වා ගත හැක. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.