මව්වරුන් දෙගිඩියාවට පත් කළ රත කල්කය ඔබේ බිළිඳාට සුදුසුද?

ඔක්තෝබර් 16, 2020

දේශීය වෙදකම තුළ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගත් ඖෂධයක් ලෙස රත කල්කය හඳුන්වා දිය හැකිය. ආදී කාලයේ සිට දේශීය වෛද්‍යවරයා විසින් ඉතා පිරිසිදුව සැකසූ මහා නර්ඝ ඔසුවක් වන මෙය බිළිඳුන්ට, කුඩා දරුවන්ට මෙන්ම මව්වරුන් සඳහා ද අවස්ථානුකූලව යොදා ගත්හ.

බිළිඳුන් සඳහා නිවසේ දී පවා මෙම ඖෂධය සකස් කරගැනීමට ආදී මුතුන් මිත්තන් පුරුදුව සිටියහ. විශේෂයෙන්ම බිළිඳුන්ගේ සහ කුඩා දරුවන්ගේ රතගාය ලෙස හැඳීන්වෙන රුධිරගත රෝගාවස්ථා සඳහා මෙම ඖෂධය ලබා දෙයි.දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනයට ද මහඟු ඔසුවකි.මව්කිරි ,රන් කිරි වලට මෙන්ම අතීතයේ රත කල්කයට ද මව්වරුන් ප්‍රධාන ස්ථානයක් ලබා දුන්හ. නමුත් විසිවන සියවසේ මැද භාගය පමණ වන විට අපගේ දේශීය රත කල්කය නමැති අනර්ඝ ඖෂධය සමාජයෙන් ක්‍රමයෙන් ඈත්වීමට පටන්ගෙන තිබිණි. විවිධ බටහිර වෛද්‍ය මත සමඟ මව්වරුන්ට රත කල්කය පිළිබඳ විශ්වාසය පළුදු විය.

දරුවන්ට මාස හයක කාලයක් තුළ මවුකිරි පමණක් ලබා දිය යුතුය. රත කල්කය දරුවන්ට පහසුවෙන් ජීර්ණය කර ගත නොහැකි සහ රත කල්කයෙහි ප්‍රමිතිය යන ප්‍රශ්න මතු කරමින් බටහිර වෛද්‍යවරුන් රත කල්කය පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් සමාජය තුළ නිර්මාණය කළහ. මේ සමඟ මව්වරුන් තුළද මේ පිළිබඳ බියක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් විසිවන සියවසේ මැද භාගයෙන් පසු බිහිවන දරුවන් බොහෝමයකට ප්‍රතිශක්ති ඌනතාවයක් දැකිය හැකිය. විශේෂයෙන් ශරීර උෂ්ණ ගති, රුධිරගත දෝෂ,ඇදුම ,පීනස ,පණු රෝග, දද ,කුෂ්ඨ වැනි රෝග වර්තමාන දරුවන් තුළ බහුලව පවතී. රත කල්කය පිළිබඳ සත්‍ය තාව විමසා බැලීම මෙන්ම මව්වරුන් මේ පිළිබඳ පසුවන දෙගිඩියාවට නිවැරදි විසඳුමක් දීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි.

රත කල්කය

දෙසඳුන් කල්කය, රත්සඳුන් කල්ක යන පර්යාය නම් වලින් ද රත කල්කය හඳුන්වයි.

රත යන්නෙහි රක්ත වර්ණයට,රක්තයට හා රෝගය යන්න ද අරුත් එයි.

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේවන් හිම එක බර වැන්නේ

සින්දු හට නගිමින් හරි බර වු තැනලිකුචයුෂින් අඹරා ගන්නේ

බිළිඳුන් ළදරුන් වලිප්පු උණ දුටුකොතඹුරු තම්බාලා දෙන්නෙ

නියතින් ගුණදෙන ඔසුවකි ඇදුරනි පෙර වෙද දත් පඩි උතුමන් නේ

(වටික ප්‍රකරණය) මෙහි ව්‍යංගාර්ථයෙන් ඖෂධ වට්ටෝරුව දක්වා ඇත

බිළිඳුන්- කොල්ලු

වකුගඩු ඉතා හිතකරයි, මුත්‍රා ගල් දියකරයි, වා සෙම් සාමකයි,දාහය ඇති කරයි ඇදුම පීනසයට ද හිතයි.

වද කර- වද කහ

විස බීජ නාශකයි,අග්නි දීපනයි, උදරාත්මානයට ගුණදායකයි, ජීවානු ආසාදන වළක්වයි.

පැණි රස -වැල්මී

රක්ත ශෝධකයි,මුත්‍රා විරාංජනීයයි, චර්ම රෝග සඳහා ගුණදායකයි,මෘදු විරේචනයි, විෂ නාශකයි.

ලේවන්- රත්හඳුන්

රක්ත ශෝධකයි, ප්‍රදාහ නාශකයි.

හිම- සුදු හඳුන්

මුත්‍රා ලයි,දාහය අඩුකරයි,චර්ම රෝග සඳහා විශේෂයි.

සින්දු -සහිඳ ලුණු

ආහාර රුචිය වඩයි, බඩගිනි වඩයි ඇසට හිතයි, මල බද්ධය නසයි ,සියලුම ලුණු වර්ග වලට වඩා ශිෂ්ටම ලුණු වර්ගයයි, ති‍්‍රදෝෂ ශාමකයි.

ලිකුච- දෙහි යුෂ

බඩගිනි වඩයි, ආහාර දිරවයි ,හෘදයට හිතයි,යකෘත රෝග පිපාස වමන ඇදුම රෝග සඳහා හිතයි.

සංස්කරණය

කොල්ලු වදකහ වැල්මී රත්හඳුුන් සුදුහඳුන් සමාන බරකින් යුතුව ද සහිඳ ලුණු එම ඔසු සියල්ලන්ගේම බරට ද සමානව ගත යුතුය.

කොල්ලු ගරා සෝදා පිරිසුදු කර වේලා කබලේ බැද පිට පොත්ත ඉවත්කර කුඩු කරගන්න.

හොඳීන් සෝදා වේලා පිරිසුදු කරගත් මෙම ද්‍රව්‍ය සියුම්ව චූර්ණ කර සියුම් රෙදි කඩකින් හලාගන්න.

පිරිසුදු සහිඳ ලුණු පෙරා ගත් දෙහි යුෂ සමඟ හොඳීන් මිශ්‍ර කර ඉහත චූර්ණ කර ගත් ද්‍රව්‍ය සමඟ අඹරා ගන්න.

මෙහිදී ඉතා පිරිසුදු බෙහෙත් ගලක අඹරා ගත යුතුය.

පිරිසුදු වීදුරු බඳුනක තැන්පත් කළ යුතුය.ලෝහ බඳුන්, ලෝහ පියන් සහිත භාජන සුදුසු නොවේ.

රත කල්කය ලබා දෙන ආකාරය

රත කල්කය යනු බිළිඳුන් මෙලොව එළිය දැක දින හතක් ගත වූ පසු සිට වසර හතක් දක්වා වුව ද ලබා දිය හැකි හෙළ වෙදකමේ පැවත එන දිව්‍ය ඖෂධයකි. දරුවා ඉපදී සතියකට හෝ සති දෙකකට පසු එක දිගට සතියක් ලබාදිය යුතුය. අනතුරුව සතියක පමණ කාලයක් රත කල්කය නොදී නැවත ඊළඟ සතිය තුළ නොකඩවා සතියම රත කල්කය ලබාදිය යුතුය. ඉන් මාස දෙකකට පසු නැවතත් සතියක් රත කල්කය ලබාදිය යුතුය.

රත කල්කය ලබාදීම ආරම්භ කරන විට බිළිඳාගේ පෙකණිය වැටී වියළී තිබිය යුතුය.

රත කල්කය දීමට ප්‍රථම උදෑසන දරුවා නහවා පිරිසුදු කර පසුව රත කල්කය ලබා දිය යුතුය.

මාත්‍රාව

කොත්තමල්ලි ඇට එකක ප්‍රමාණය මව්කිරි සමග ලබාදීම සුදුසුය.

වයස මාස තුනක් පමණ පසු කොත්තමල්ලි ඇට දෙකක ප්‍රමාණය මව්කිරෙන් ලබාදීම සුදුසුය.

මෙහිදී කොත්තමල්ලි තැම්බූ වතුර, පත්පාඩගම් අනුපාන ලෙස යොදා ගනියි.

රත කල්කය

නොයෙදිය යුතු අවස්ථා

උපත් බර අඩු දරුවන් අතීසාරය, වමනය වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන්

මලබද්ධය අධිකව පවතින දරුවන් නිවැරදි වෛද්‍ය උපදෙසකින් තොරව ළදරුවා පරීක්ෂාවකින් තොරව කිසි ලෙසකවත් මවගේ අභිමතය පරිදි හෝ ඖෂධ හල් වල වෙළඳ මහතාගේ අවවාද පරිදි මෙම ඖෂධය ලබා නොදීමට මව වගබලා ගත යුතුය.

වෛද්‍ය උපදෙස් පරිදි නියමිත ප්‍රමිතියෙන් යුත් රත කල්කය නියමිත මාත්‍රාව හා අනුපාන සහිතව ලබා දීමට හැකියාවක් ඇත්තේ සුදුසු දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකුට පමණක් බව තරයේ සිහි තබා ගන්න.

රතගාය සහ එහි ලක්ෂණ

මෙය රුධිරය සමඟ සම්බන්ධව පවතින සමේ රෝගී තත්ත්වයක් ලෙස හැඳීන්විය හැකිය. අලුත උපන් බිළිඳුන්ට හා ළදරුවන්ට මෙම රෝගී තත්ත්වය ඇති වේ.

සමෙහි රතු පැහැති බිබිලි හා පලු මතුවී සමේ තැන් තැන් රත් පැහැ ගැන්වීම.

මල බද්ධය, උණ, ආහාර අරුචිය.

ඉකිලි කිහිලි බෙල්ල වටා දහඩිය රැඳෙන ස්ථානවල ශෝථය. මෙම රෝග ලක්ෂණ අනුව දේශීය වෙදකමේ රතගාය ගල් රත,ලේ රත ,

නාරත, දුවන රත, කසන රත,මාන්දම් රත ලෙස වර්ග කර ඇත.

රතගාය ඇතිවීමට බලපාන හේතු

ගර්භණී අවධියේ දී මව විසින් සිදුකරන අපත්‍ය ආහාර විහරණ පුරුදු අධික අම්ල කටුක ආහාර අනුභවය මානසික ආතතියමල හා මුත්‍රා වේග දැරීම. කිරි දෙන මව්වරුන්ගේ හේතු ලෙස කිරි දූෂිත වීම.

බිළිඳුන්ගේ අපවිත්‍රභාවය. බිළිඳුන් නිසි ලෙස ජලස්නානය නොකරවීම ගුද මාර්ගය මුත්‍ර මාර්ග අවට නිසි ලෙස පිරිසුදු නොකිරීම ඉකිලි කිහිලි බෙල්ල වටා දහඩිය රැඳෙන ස්ථාන සෝදා පිරිසුදු කර වියළිව තබා නොගැනීම

වෛද්‍යාචාරිනී ගුණවතී එදිරිසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.