විටමින් ඒ වල ප්‍රතිලාභ රැසක්ම අඩංගුයි

නොවැම්බර් 6, 2020

විටමින් යනු අපගේ සිරුරේ ජෛව කි‍්‍රයාවන් රාශියකට ඉවහල් වන අගනා ක්ෂුද්‍ර පෝෂකයකි. ඇතැම් විටමින් වර්ග ජලයේ දියවන අතර ජලයේ දිය නොවන විටමින් වර්ග තෙල්වල දියවී සිරුරට උරා ගැනෙයි.

විටමින් ඒ යනු සිරුර තුළ නිපදවා ගත නොහැකි ආහාර පාන මඟින් බාහිරින් ලබාගත යුතු තෙල්වල (මේදයේ) දියවීමෙන් සිරුරට ලැබෙන විටමිනයකි. නවතම වාර්තාවල‌ට අනුව විටමින් ඒ ඌනතාවයෙන් දැඩි ලෙස පීඩා විඳීන්නේ පෙර පාසල් අවධියේ දරුවෝය. එනම් වයස පහට අඩු දරුවෝය. එය 29% ක ප්‍රතිශතයකි. ‍අපේ රටේ ධනවත් යැයි සැලකෙන පවුල්වල දරුවන්ගෙන් පවා 12% ක පමණ ප්‍රතිශතයකුත් ගැබිනි මව්වරුන්ගෙන් 23%ක පමණ ප්‍රතිශතයකුත් විටමින් ඒ ඌනතාවයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවලින් සනාථ වේ.

 

විටමින් ඒ වල ප්‍රයෝජන

ශරීරය තුළ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස කි‍්‍රයා කිරීම.

ඇස් පෙනීම සුසර කරවීම.

ශරීරය වර්ධනයට හා විකසනයට

ශරීරයේ වර්ණ නිපදවීමට

ශරීරයේ හට ගන්නා රෝගවලට ඔරොත්තු දීමට (ප්‍රතිශක්තිකරණය සඳහා)

සම, හිසකෙස් හා ශ්ලේෂ්මල පටලයේ නිරෝගී පැවැත්මට

ශරීරයේ සෛල බෙදීමට හා නව සෛල වර්ධනයට.

සෛල අලුත් වීමට හා ශ්ලේෂ්මල පටක ආරක්ෂා කර ගැනීම තුළින් ප්‍රජනක සෞඛ්‍ය රැක ගැනීමට

අස්ථි පද්ධතිය, දන්ත, රුධිරය, මාංශ පේෂි සහ පටකවල නිරෝගීතාවය ආරක්ෂා කිරීම.

හෘදය, පෙණහලු, වකුගඩු හා අනෙකුත් වැදගත් ඉන්ද්‍රියන්වල වර්ධනය හා මනා කි‍්‍රයාකාරිත්වය සඳහා.

මොළයේ කි‍්‍රයාකාරිත්වය හා මතක ශක්තිය වර්ධනයට

ඇසේ පටකවල හා රෙටිනාවේ මනා නීරෝගීතාවය සඳහා.

සමෙහි හා හනුවල වර්ධනයට.

 

විටමින් ඒ බහුල ආහාර.

අඟල් 5ක් පමණ දිග මධ්‍යම ප්‍රමාණයේ බතල අලයක විටමින් ඒ ජාත්‍යන්තර ඒකක 20,000ක් පමණ අඩංගුය. වට්ටක්කා ග්‍රෑම් 100ක විටමින් ඒ ජාත්‍යන්තර ඒකක 15,000ක් පමණද, කතුරුමුරුංගා කොළ ග්‍රෑම් 100ක ජාත්‍යන්තර ඒකක 9000ක්ද, දඹල කොළ ග්‍රෑම් 100ක ජාත්‍යන්තර ඒකක 8000ක්ද කුරිඤ්ඤං කොළ ග්‍රෑම් 100ක විටමින් ඒ ජාත්‍යන්තර ඒකක 10,000ක් පමණද අඩංගු වේ. අන්නාසි, අඹ, පැපොල්, වැල වරකා, දොඩම්, වැල් දොඩම්(පැෂන් ෆෘට්), කැරට්. මුරුංගා කොළ, නිවිති, කොළ ගෝවා, මඤ්ඤොක්කා කොළ, මෑ කොළ, මුගුණුවැන්න, බිත්තර, කිරි, මස්, මාළු, පීකුදු, තක්කාලි ආදිය තුළ විටමින් ඒ අධිකව අඩංගුය. මේ අනුව විටමින් ඒ බහුලව අඩංගු වන්නේ කැරොටිනයිඩ බහුල ශාකමය ආහාර වන කහ සහ තැඹිලි පැහැ එළවළු, පලතුරු හා තද කොළ පැහැති පලා වර්ගවලත් රෙටිනෝල් අධික කිරි, බිත්තර, මස්, මාළු, පීකුදු වැනි සත්ත්වමය ආහාරවලත් බව පැහැදිලිය.

මව්කිරි හා විටමින් ඒ

දරුවෙකුගේ මුල්ම සහ ප්‍රධානම ආහාරය වන්‌නේ මව්කිරිය. මව්කිරිවල පළමුව ශ්‍රාවය වන “කොලස්ට්‍රම්” විටමින් ඒ බහුල ආහාරයකි. මේ නිසා උපතේදීම සෑම දරුවෙකුටම පළමු කිරි වේල ලබාදීම ඉතාම වැදගත්ය. උපතේ සිට මාස හයක් ගත වනතුරු මව්කිරි ලබා දීමෙන් දරුවාට අවශ්‍ය විටමින් ඒ දරුවාගේ ශරීරයට එකතු වේ. උපතේ සිට වසර දෙකක් පමණවත් මව්කිරි ලබා දිය හැකි නම් එය දරුවෙකුගේ වර්ධනයට කළ හැකි හොඳම පරිත්‍යාගයකි.

පිළිකා මර්දනයට ලැබෙන දායකත්වය.

සෑම මිනිස් ශරීරයකම විවිධ හේතුවල බලපෑමෙන් ක්ෂුද්‍ර පිළිකා සෛල වර්ධනය වේ. එම පිළිකා දරුණු පිළිකා බවට පත් වීම වළක්වන්නේ සිරුර තුළම ගොඩනැගෙන ප්‍රතිශක්තිකරණ නැමති බලගතු හැකියාව මඟිනි. විටමින් ඒ යනු අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනා ලෙස බල ගන්වන, වයසට යාම පාලනය කරන ඉන්ද්‍රිය දුර්වල වීම ප්‍රමාද කරවන අසිරිමත් ආරක්ෂකයෙකි. මෙම ප්‍රතිඔක්සිකාරක ගුණය පිළිකා සෛල වර්ධනය වීම අඩපණ කිරීමට සෘජුවම ඉවහල් වෙයි.

රුධිරයේ විටමින් ඒ බහුලව ඇති පිරිමින්ට පුරස්ථි පිළිකා වැලඳීමේ ප්‍රවණතාවය ද අවම බව නවීන පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. “මෙලනොමා”නම් සමේ ඇතිවන දරුණු පිළිකා තත්ත්වය 50% - 60% කින් පමණ වළක්වා ගන්නටත් ඒ විටමින් බහුල ආහාරවලින් ලැබෙන්‌නේ ප්‍රබලම දායකත්වයකි. එමෙන්ම පියයුරු පිළිකා, පෙනහලු පිළිකා, පිත්තාශ පිළිකා, මහා අන්ත්‍රයේ ඇතිවන පිළිකා තත්ත්වයන් ද ඇතිවීම මග හරවන්නටත් විටමින් ඒ සෘජු බලපෑමක් සිදුකරයි.

දෛනික ආහාර වේල සහ විටමින් ඒ.

විටමින් ඒ බහුල ආහාර දිනපතා ඔබේ ආහාර වේලට එක්කර ගන්න.

විටමින් ඒ අඩංගු විවිධත්වයෙන් යුත් ආහාර වේල්වලට හුරු වන්න.

විටමින් ඒ මේදයේ දියවන බැවින් මේදය අඩංගු ආහාර වර්ග ආහාර වේලට එකතු කර ගන්න.

ආහාර අධික උෂ්ණත්වයේ වැඩි වේලාවක් පිසීමෙන් වළකින්න.

ආහාරයේ වර්ණය වෙනස් නොවන සේ ආහාර පිස ගන්න.

දෛනික ආහාර වේලට එළවළු වර්ග පහක්වත් එක්කර ගන්න.

 

විටමින් ඒ අඩු වීමෙන් ඇතිවන සංකූලතා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (එඩ්ර්‍ණ) වාර්තාවලට අනුව ලොව ළමා ජනගහණයෙන් තුනෙන් පංගුවක් පමණ විටමින් ඒ ඌණතාවයෙන් පෙළෙයි. මෙයින් ළමයින් හාරදහසක් පමණ දෛනිකව මරණය වැලඳ ගනී. මේ වනවිට ලොව මුළු ළමා ජනගහණයෙන් ලක්ෂ පහක් පමණ විටමින් ඒ ඌණතාවය නිසා සදාකාලික අන්ධභාවයට පත් වී ඇත.

අපි‍්‍රකානු රටවල් හා දකුණු ආසියානු රටවල මෙම තත්ත්වයන් බහුලය. මෙවැනි රටවල මව්වරුන්ගෙන් සියයට 23ක් පමණ ගැබිනි සමයේ විටමින් ඒ ඌනතාවයෙන් පෙළෙන බැවින් ඔවුන් බිහි කරන දරුවන් බරපතල ලෙස සංජනනීය ආබාධ (උපතේදීම ඇතිවන රෝග තත්ත්වයන්) වලට ලක් වේ. ඇමරිකාව, බ්‍රිත්‍යන්‍යය, ඔස්ට්‍රේලියාව, ජපානය, චීනය වැනි රටවල ධනවත් පවුල්වල දරුවන්ගෙන් 5% ක් පමණ පිරිසක් විටමින් ඒ ඌණතාවයෙන් පෙළෙන බවද පර්යේෂණ මඟින් සනාථ වී ඇත. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එවැනි පවුල්වල දරුවන් සකස් කළ ආහාර හා ක්ෂණික ආහාරවලට දැඩි ලෙස හුරුවීමයි. උපතේ සිට වසර හය දක්වා වය‌සේ පසුවන දරුවන්ට විටමින් ඒ ප්‍රබල ලෙස අත්‍යවශ්‍යම සාධකයක් වීමත්, ඒ පිළිබඳව මාපියන් පවා දැනුවත් නොවීමත් මීට තවත් සෘජු හේතුවකි.

රුව සම්පත සහ විටමින් ඒ ලස්සන වීම සඳහා භාවිත කරන බොහෝ රූපලාවණ්‍ය ආලේපන වල විටමින් ඒ බහුලව අඩංගු කර තිබෙන බව ඔබ දන්නවාද? අද වෙළෙඳපොළේ පවතින සෑම රූපලාවණ්‍ය ඒ ආලේපනයකම පාහේ විටමින් ඒ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස අන්තර්ගත කර ඇත. ඊට හේතුව වන්‌නේ සෛල වර්ධනය කිරීමත්, සමෙහි නිරෝගී පැවැත්ම සඳහාත් විටමින් ඒ මඟින් සැපයෙන ප්‍රබල දායකත්වයයි. විටමින් ඒ මඟින් සම සෞඛ්‍ය සම්පන්නව නඩත්තු කිරීමත්, සමට නැවුම් හා තරුණ පෙනුමක් ලබා දීමත් මැනවින් ඉටු කරයි.

 

කෘත්‍රීමව විටමින් ඒ අධිකව භාවිත කිරීමෙන් ඇතිවන ගැටලු

කෘත්‍රීම විටමින්, පෙති, සිරප්, කරල් ආදිය මඟින්, විටමින් වර්ග සිරුරට ලබා ගැනීම මෙන්ම කෘත්‍රීමව විටමින් වර්ග එකතු කළ ආහාර, පිටිකිරි ආදිය භාවිතය ද ස්වභාවික ආහාර පාන මඟින් විටමින් පෝෂක ද්‍රව්‍ය ලබා ගැනීම එතරම් යහපත් නොවන බව අවධාරණයෙන් කිව යුතුයි. විටමින් ඒ පමණක් නොව වෙනත් විටමින් වර්ග හා පෝෂක ද කෘත්‍රීම ආකාරයෙන් පමණ ඉක්මවා ශරීරගත වීමෙන් ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් බෙ‌හෙවින්ම බරපතළයි.

ආහාරයක අඩංගු පෝෂණ කොටස් වෙන වෙනම කෘත්‍රීම ආහාර මඟින් ශරීරගත කිරීම ශරීරයට අවශ්‍ය පෝෂණ සංඝටකවල තුලනාත්මක බව අහිතකර ලෙස වෙනස් කරන අතර සෑම පෝෂණ ගුණාංගයක්ම ස්වභාවික ආහාර තුළින් පමණක් සපයා ගැනීම ඉතාම වැදගත් බව ද අවිවාදයෙන්ම කිව යුතුයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.