ඇසෙහි මතුවන ඇඳිරිය

දෙසැම්බර් 25, 2020

ඇසට ඇඳිරිය පැමිණ විටදී අසේ කුණිතය නම් පරිප්පු පියල්ලක තරමට ඇති (ඇසේ බබාගේ) ස්ථානයෙහි අඳුරු තත්ත්වයකට පත් වීමට සිදුවේ. ඉන්පසු දෘෂ්ටිය වැසී පෙනීමට බාධා ඇතිවේ. මෙම අවස්ථාව , තිමිරය, පටලය ඇඳිරිය ලෙස හැඳින්වේ.

යමෙකු වියපත් කමෙහි දොරටුව අබියස සිටිනවිට දෙනෙතට ඇඳිරිය පිවිසිය හැකිය. සමහර උදවියට හතළිස් ඇඳිරිය යනුවෙන් නෙතට පිවිසෙන තිමිර තත්ත්වයට ඇස් කණ්ණාඩි පාවිච්චි කළා ද එය දිගින් දිගටම පාවිච්චි කිරීම නිසා කණ්ණාඩි නැතිවම බැරි තත්ත්වයක් උදාවනු ඇත.

එසේ ඒවා පාවිච්චියෙන් හදිසියේම කණ්ණාඩිය ඇස රැඳී නොමැතිවිට ලෝක අමාරුවේ වැටෙන උදවියට කිව යුතු යමක් ඇත. කණ්ණාඩියක් පාවිච්චියට ගන්නට පෙර විශ්වාස වෛද්‍යවරයකුගේ අධීක්ෂණයෙන් යුතුව සුදුසු ඖෂධයක් ගැනීම උචිතය.

සමහර උදවිය ඇසෙහි ආබාධයක් සෑදුනවිට දී නොයෙක් මාදිලියේ ඖෂධ පාවිච්චි කළද ගනු ලබන ඔසුව 100% ක්ම පාවිච්චි කළ යුත්තේ විශ්වාසයකින් යුතුව මෙන්ම එම ඔසුවෙහි තත්ත්ව පරීක්ෂණයෙන් යුතුවය. පාවිච්චි කරන ඖෂධයන් කෙරෙහි ගෞරවයක් මෙන්ම විශ්වාසයක් තැබීම වැදගත් වේ. “විශ්වාස පරමා ඥාතී” කියන කියමනට අනුකූලව ගන්නා ආහාරයක් වුවද එය කෙරෙහි විශ්වාසයක් තැබීමෙන් එම ආහාරය හෝ ඖෂධය ශරීරයට සාතම්‍ය වේ. එනම් අසාතම්‍ය නොවේ. ඖෂධයකින් හෝ ආහාරයකින් බලාපොරොත්තු වන ප්‍රතිඵලය ප්‍රමාද වී හෝ ඉෂ්ට වී නම් එයට ගරු කළ යුතු වේ.

ඇසෙහි ඇඳිරිය මතු වීමේදී එය එක් ඇසකද නොවේනම් දෑසම ද යන්නට පරීක්ෂා කර ගැනීමට ඔබටම හැකිය. දකුණැස අතකින් වසා වමැස කුඩා අකුරු ඇති සටහනක් කියවන්න. එසේ නැතිනම් වමැස වසා දකුණැසින් සටහන කියවන්නට උත්සාහ ගන්න. එසේ සරල පරීක්ෂණයකින් වත් තොරව මාගෙන් ප්‍රතිකාර පතන සමහර රෝගීන් තම දෙනෙතම ඇඳිරිය බව පවසද්දී මවිසින් ඇස් පෙනීමේ පරීක්ෂණයෙන් හෙළිවන්නේ බොහෝ දුරට එක් ඇසක් පමණක් නොපෙනෙන බවය. සමහර අය ඇස තුළට ඔසු යෙදීම ප්‍රතික්ෂේප කළද ඇසට පුරවලියන් (ඇස වටා බෙහෙත් ආලේප) යෙදීම තුළින්ද ඇස සුවපත් වීමද හේතු සාධක වේ.

අඩ අඳුරෙහි මද ආලෝකයෙන්) කුඩා අක්ෂරයන් දෙසට (පොඩි අකුරු) තම දෙනෙත් බොහෝ වේලාවක් එල්ල කර සිටීම නිසාද ඇසට ඇඳිරිය පැමිණිය හැකිය. තම තරුණ ජවය, බලය, අනෙකුට පෙන්වීමේ අභිලාෂයෙන් අව් කණ්ණාඩි (සන්ග්ලාස්) පලඳන උදවිය එය දිගින් දිගටම පාවිච්චියෙන්ද නෙතට ඇඳිරිය පැමිණේ. එමෙන්ම ගිනියම් අව්වේ වැඩකටයුතු කරමින් සිට පැමිණි විගස ශීතල ජලස්නානය කිරිම නිසාද පසු කාලීනව ඇසට ඇඳිරිය ඇතිවන්නට බොහෝ ඉඩ ඇත. එමෙන්ම දිගුකාලීනව කෙත්වතු සහ තේවතුවල වැඩපළ කරන ලද උදවියට වයසින් මුහුකුරායත්ම නේත්‍ර ඇඳිරිය හටගන්නා අවස්ථා බොහෝය.

එමෙන්ම ගිනියම් ආහාරපාන (එනම් කරවල ,මස්, මාළු, ජාඩි, අන්නාසි, තක්කාලි) ආදිය දිගින් දිගටම භාවිතා කිරීමෙන් කලෙකදී ඇඳිරිය ඇතිවිය හැකිය. නෙතක පටල හයක් පිහිටා තිබෙන අතර නෙතට ප්‍රතිකාර සඳහා යෙදෙන කරලක් ලෙස ‘නවපටල කරල’ නිර්දේශී වී ඇත. තුන්සිය විස්සක් ඇස් රෝග සුවපත් කිරීම සඳහා මෙම ඔසුව යෙදිය හැක.එම නවපටල කරල සඳහා භාවිත කරන ඔසු වට්ටෝරුවට වඩා වෙනස් වට්ටෝරුවකින් එන නව පටල තෛලයද මහත් බලගතු හිසට යොදන තෙලකි. මෙම ඔසු නිර්මාණය කිරීමද මහත් වෙහෙසකර වනවා මෙන්ම ඔසු සපයා ගැනීමද දුර්ලභය.

නිවැරදිම ඔසු යෙදූ විටදී සාදන ඖෂධයෙහි ගුණාත්මක භාවය ආරක්ෂා කෙරෙනු ඇත. වෙළෙඳපළෙහි පවතින බොහෝ ඖෂධ ආදේශක ඒවා වීම නිසා නියම ඖෂධයෙහි ඇති ගුණය හෝ රසය හෝ වර්ණය වෙනස් වීමට පුළුවන. නිදසුනක් ලෙස ගත්විට ‘රත්හඳුන්’ වෙනුවට වර්තමානයේ බොහෝ විට යොදාගන්නේ ‘රත්කිහිරිය’ නම් ආදේශක ඔසුව බව පෙනීයන කරුණකි. රත්හඳුන් ඔසුවෙන් අපේක්ෂා කරන ගුණාත්මකභාවය ඉන් ගත නොහැකි බව සඳහන් කළ යුතු කරුණක් වේ. විශේෂයෙන් කුඩා බිලිඳුන්ගේ ‘රතගාය සඳහා යොදන” රතකල්කයට ද රසඳුන් ගනු ලැබේ. එයටද රසඳුන් වෙනුවට ආදේශක ඔසු යොදනවිට ඔසුවෙහි ක්‍රියාකාරිත්වයෙහි වෙනසක් ඇතිවීමට පුළුවන.

එබැවින් ඔසුවක් තැනීමේදී නිවැරදිම ඖෂධය යොදා ගැනීමට වග බලා ගැනීම මැනවි. නිවැරදි ඔසුවක තිබෙන බලය ශක්තිය, සුවය, ගුණය නිවැරදිවම ගැනීමට නොහැකි වීමෙන් අප බලාපොරොත්තුවන සුවය ලබා ගැනීමට අපහසු වේ. ආදේශක ඔසුවලින් සාදන ඖෂධ සංයෝජනවලින් අතුරු ප්‍රතිඵලද ඇතිවීමට පුළුවන. නිදසුනක් ලෙස ශරීරය කැසීම, පළුදැමීම, වේදනාව දාහය (දැවිල්ල) අධික ඩහදිය දැමීම යනාදිය ඇතිවීමට ඉඩ තිබේ. එමෙන්ම නින්ද වැඩි බව හෝ අඩුබව ඇතිවිය හැකිය. කල්පනා ශක්තිය අඩුවිය හැකියැ. මෙම ලක්ෂණ ඕනෑම රෝගයකදී පොදු විය හැකියැ.

ඇස් ගැන සිතීමේදී ඕනෑම සත්වයෙකුට ඇස් දෙකක් ස්වභාවධර්මයාගේ මැවීමෙන් ඇතිවී ඇත. එනමුත් දේව සාහිත්‍යයෙහි එන පරිදි ඊශ්වර දෙවිඳුන් හට නළලෙහිද නෙතක් පිහිටා තිබූ බව සඳහන් වේ. එබැවින් ඉසිවර දෙවිඳුට ‘ත්‍රිනේත්‍රධාරි’ යනුවෙන් නාමයකින් හඳුන්වන ලද්දේයැ. සත්වයින් හට ලද දෙනෙත ආරක්ෂා කර නොගැනීම නිසාවෙන් නොයෙක් පීඩාවන් ඇතිවීමට පුළුවන. හදිසියේ විෂ ද්‍රව්‍යයක් යමෙකුගේ ඇසට වැටුණහොත් ඊට හරියාකාර ප්‍රතිකර්මයක් නොකළහොත් ඇසේ පෙනීම අඩුවීම හෝ පෙනීම නැති වීමට පුළුවන. ඒ නිසා දෙනෙත ආරක්ෂා කර ගැනීම ඔබ ඔබටම කරගන්නා යුතුකමක් වනු ඇත. ඇස ඇසක් සේ රැකීම වැඩීම කළ යුතුය. කුඩා දරුවන් සිටින මාපියන් විසින් තම දරුවන් හට ඔවුන්ගේ ඇස් රැකබලා ගැනීමට අවවාද දීම වැදගත් වේ. ඒ නිසා දරුවන් තම දෙනෙතට ආදරය කරනු ඇත. ආරක්ෂා කරනු ඇත.

ඇසට ඇඳිරිය පැමිණ විටදී අසේ කුණිතය නම් පරිප්පු පියල්ලක තරමට ඇති (ඇසේ බබාගේ) ස්ථානයෙහි අඳුරු තත්ත්වයකට පත් වීමට සිදුවේ. ඉන්පසු දෘෂ්ටිය වැසී පෙනීමට බාධා ඇතිවේ. මෙම අවස්ථාව , තිමිරය, පටලය ඇඳිරිය ලෙස හැඳින්වේ. මෙවිට රෝගියා දකින දසුන අපැහැදිලි වන අතර ඇසේ වේදනාව හා රත, කඳුළු ගැලීම ඇතිවනු ඇත. මේ සඳහා ප්‍රතිකාර යෙදීමෙන් ඇස සුවපත් වන අතර ඇස තුළට ද ඔසු යෙදීම අත්‍යාවශ්‍ය වන අතර ඇස වටා ඔසු ගැල්වීම, බීමට කෂාය යෙදීම වළඳන ඔසු යෙදීම සහ ඇස වටා තැවිලි වර්ග (රෝගයේ අඩු වැඩි වීම බලාගෙන) යෙදීම නිසා ඉක්මනින් සුවපත් වනු ඇත.

රෝගයේ ළදරු අවස්ථාවේදි ප්‍රතිකාර කිරීමෙන් ඉක්මන් සුවය ලැබේ. රෝගයේ තරුණ අවස්ථාවේදී ද දිගු කල් නොගොසින් ප්‍රතිකාර කළ විටදී සුවපත් කළ හැකියැ. රෝගය තරමක් පැරණි වූ විටදී ප්‍රතිකාර කළත් සුවපත් වීමට ටික කලක් ගත වනු ඇත .මෙම රෝගයේදි ඇස මීදුම් පටලයකින් වැසී ඇති ලෙසක් දිස්වෙනු ඇත. ශාරීරික වා, පිත්, සෙම් යන දෝෂයන්හි අඩු වැඩි වීමෙන්ද බාහිර හේතුන්වලින් හා ඒවායේ බලපෑම් නිසා ද ඇසෙහි තිිමිර තත්ත්වයක් ඇතිවීමට පුළුවන.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.