ඇඟ කැසීම, දද කුෂ්ඨ, අළුහම්, සම රැලි වැටීම ඇතුළු විවිධ චර්ම රෝග හා ඊට ප්‍රතිකාර විධි

ජනවාරි 8, 2021

දෙසැම්බර් 25 කලාපය හා සම්බන්ධයි...

 

වියලි කාලගුණයක් පවතින ඕනෑම අවස්ථාවක කළ යුත්තේ වෙනදාටත් වඩා වැඩිපුර ජලය පානය කිරීමයි. සැම අවස්ථාවකම ශරීරයේ ජලය වැඩිපුර රඳවා තබා ගැනීම මෙම සමෙහි ආබාධ තත්ත්වයට හොඳ ප්‍රතිකර්මයක් වනු ඇත.

එවගේම සම පිරිසුදු කර ගැනීම සඳහා පාවිච්චි කළ යුත්තේ මෘදු සබන් වර්ගයකි. ඒ අතරිනුත් වියළි සමක් සහිත අය සබන් වෙනුවට ඊට ආදේශක ආයුර්වේද ක්‍රීම් වර්ගයක් භාවිත කිරීම සුදුසුයි. එබදු ක්‍රීම් ගැල්වීමේදී හැම වෙලාවෙකම ශරීරයේ රෝම වැවෙන පැත්තට පමණක් ආලේප කිරීමට වගබලා ගත යුතුයි. එසේ නොවුණහොත් සිදුවන්නේ සමේ සැරව බිබිළි හටගැනීමයි.

දැඩි සූර්ය රශ්මිය පවතින වේලාවන්හි යමකුට හිරු රැස්වලට නිරාවරණය වෙමින් ගමනක් යන්නට අවශ්‍ය නම් අව්වට ආවරණය වීම පිණිස ගල්වන ඒ සඳහා අදාළ ආයුර්වේද ක්‍රීම් ආලේප කරගෙනම යාම ඉතාමත්ම සුදුසුයි. තොප්පියක්, කූඩයක් සහ ශරීරය වැසෙන ආකාරයට ඇඳුම් ඇදීමත් කළ යුතුම දෙයකි.

මෙම ක්‍රීම් වර්ග භාවිතයේදී වෛද්‍ය උපදෙස් අනුව ඒවා පාවිච්චි කිරීමද වැදගත් ය. ඒවා ආලේප කළ යුත්තේ හිරු එළියට මුහුණ දීමට පැය භාගයකට පමණ පෙර විය යුතු ය. පැය 4 කින් පමණ යළිත් එම ආලේපන ගැල්විය යුතු බව ද සැලකිය යුතුයි. මන්ද? සමේ ඇතිවන සංකූලතා මඟහරවා ගත යුතුවන බැවිනි.

අළුහම්වලට ප්‍රතිකාර විධි

බෝධි ඇට දී කිරෙන් අඹරා අළුහම් මත ආලේප කරන්න.

ඊටම – බෝධි ඇට කොකුම් පොතු සමඟ ආලේප කරන්න.

ඊටම - කෙසෙල් දඬු දවා ගත් අළු ක්ෂාරය අමුකහ සමඟ අඹරා අළුහම්වල ගෑමෙන් අළුහම් සුව වෙයි.

ඊටම – කුප්පමේනිය කොළ, පුහුල් කොළ සමව ගෙන ඒ දෙවර්ගය පමණට සුදුහඳුන් ගෙන සියල්ල සිනිඳුවට අඹරා ඇඟ ගල්වන්න.

ඊටම – ඇත්තෝර කොළ ඇල්දියෙන් අඹරා ගාන්න.

ඊටම – වියළි කෙසෙල් පතුරු පුලුස්සා ගත් අළු තල තෙල් සමඟ මිශ්‍ර කොට අළුහම්වල කිහිප දිනක් ගාන්න.

ඊටම – කරල් සැබෝ පුලුස්සා ගත් අළු තලතෙල් සමඟ මිශ්‍ර කර ගාන්න.

ඊටම – බෙල්ලන් පුලුස්සා ගත් අළු දෙහි ඇඹුලින් අඹරා අව්වේ කකාරවා අළුහම් මත ගා පැයකට පමණ පසු ස්නානය කරන්න.

ඊටම – අඹපොතු, සවැන්න මුල්, සුදුහඳුන්. ලොත් සුඹුළු , එක පමණ ගෙන ආලේප කරන්න. අළුහම් නැතිවී ශරීරය සුවඳවත් කරයි.

ඊටම – කුප්පමේනිය කොළ , සුදුහඳුන්, පුහුල් කොළ එකට අඹරා අළුහම් ඇති තැන්වල ගා පැයකට පමණ පසු ස්නානය කරන්න.

ඊටම – පොල් තෙල් සිඳීමේදී ලැබෙන තෙල්කා සමඟ වියළි කහ,ගෙන්දගම්. සුවඳ කොට්ටම්, කළුදුරු තෙල් සහ ඇත්තෝර යුෂ එකට කළවම්කර කොටා ඊට තැඹිලි තෙල් දමා පදමට තෙල් සිඳ අළුහම්වල ගානු.

ඊටම – ඇහැළ දලු හා අළුපුහුල් දලු මිට බැගින් ගෙන සිහින්ව ලියා අමු කහ කැබැල්ලක් හා සුදුහඳුන් පිටි ග්‍රෑම් 25 කුත් ඊට දමා ගලේ අඹරා ගෙන අළුහම් තිබෙන තැන්වල හොඳින් ආලේප කොට පැය එක හමාරකින් පමණ පසු සබන් භාවිත නොකර ස්නානය කරන්න. සති තුනක පමණ කාලයක් මෙම ප්‍රතිකාරය කිරීමෙන් අළුහම් සුව වෙයි. අළුහම් රෝගය වැලඳී ඇති අය භාවිත කරන තුවා සහ ඇඳුම් පැලඳුම් භාවිතයෙන් වළකින්න. අත්දුටු ප්‍රතිකාරකයකි.

අළුහම්වලට කෂායක් – අරළු, බුළු, නෙල්ලි කලං 4 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත භාගයක් බැගින් උදේ සවස සීනි මී පැණි දමා කෂාය වඩි කිහිපයක් පානය කරන්න.

අළුහම්වලට විරේකයක් –ඇත්තෝර කොළ ටිකක් ගෙන කොටා යුෂ ගෙන අව්වෙන් කකාරා අළුහම් ඇති ස්ථානවල ආලේප කර අව්වේ ටික වේලාවක් සිට ස්නානය කරන්න. පසුව අරළු කලං 3 ක් ගෙන තළා තැඹිලි ගෙඩියක දමා එහි ඇස්සෙන් වසා රාත්‍රියට පින්නේ තබා පෙරා උදේ හිස්බඩ බොන්න. (විරේකයකි)

අළු ගෝමර සහ දදවලට – හාල්පාණ වතුරට එපමණ තල තෙල් දමා තැටියක වත්කර අව්වේ තබා සිඳුනාම එම තෙල් ගෙන ඇත්තෝර කොළ තැම්බූ දියෙන් දදය සෝදා එම තෙල් ගානු , දද, අළු ගෝමර සුව වේ.

අළුහම් සෑදි හමයාම සුවවීමට – හීං අරත්ත අල එළකිරෙන් අඹරා සිරුරේ ආලේප කර පැයක් පමණ ගත වූ විට වතුර ස්නානය කරන්න. මෙසේ ටික දිනක් කරන්න. අළුහම් සුව වෙයි.

ඊටම කෂායක් – අරළු, බුළු, නෙල්ලි කලං 4 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ සීනි මී පැණි දමා උදේ සවස බොන්න. වඩි 8 ක් 10 ක් පමණ එක දිගට බොන්න.

නහර ගැට ගැසීම

නහර ගැට ගැසීමේ රෝගය ආයුර්වේදයේ හඳුන්වනු ලබන්නේ ශිරා ස්ථානීය රෝගය වශයෙනි. වැඩි දෙනෙක් මෙය දන්නේ මඥපරජධඵඥ මඥඪදඵ නමිනි. මෙම රෝගය කාන්තාවනට වැඩිපුර වැලදෙන අතර එයිනුත් මැදිවියේ කාන්තාවනට බහුල වශයෙන් සාදයි.

නහර වැඩි වශයෙන් මෙලෙස ගැට ගැසීමට ලක් වන්නේ ශිරා පද්ධතියයි. ශරීරයේ පහළ කොටසේ සිට පිරිසුදු කළ යුතු රුධිරය හෘදය වෙත ගෙන යන්නේ ශිරා පද්ධති දෙකක් මගිනි. එයින් වඩා දිග ශිරාව පාදයේ ඉදිරියෙන් ඇතුළට වන්නට ගමන් කරන අතර දිගින් අඩු ශිරාව පාදයේ පිටුපස පැත්තට කිට්ටුවෙන් දණහිස දක්වා ගමන් කරයි. ප්‍රධාන වශයෙන් මෙම නහර ගැට ගැසීමේ තත්ත්වයට ලක්වන්නේ දිග ශිරා පද්ධතියයි.

ශිරාවන් ගැට ගැසීම රුධිරය ගලා යාමට බාධාවක් වේ. එමගින් ශිරාවල රුධිර පීඩනයක් මතු කරවයි. එවිට ශිරා ඉදිමීම, සම ඝනවීම, අවපැහැ ඇතිවීම සිදුවන අත සමෙහි කැසීම, වණ වීම හා රුධිර වහනය වීම පවා සිදුවිය හැකිය. කකුල බර ගතිය, කෙණ්ඩා පෙරළීම, කකුලේ තද වේදනාව, ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකි ය. මෙවන් රෝගින්ගේ කකුලේ හටගනු ලබන තුවාල සුව නොවී දද ආකාරයෙන් කාලාන්තරයක් තිස්සේ දැකගත හැකි අතර මෙම තුවාල සඳහා දෙයාකාරයකට ප්‍රතිකාර කිරීම අවශ්‍ය කෙරේ. එනම් තුවාලයට ප්‍රතිකාර කිරීමට සමගාමීව පාදයේ නහර ගැට ගැසීමේ රෝගයට ප්‍රතිකාර කිරීමයි.

තවද අධිකව සිට ගෙන සිටීමට සිදුවීම, ශිරා ස්ථානිය හෙවත් වෙරිකොස් වේන්ස් (නහර ගැට ගැසීම) රෝගය දරුණු වීමට හේතුවන බැවින් ඉන් වැළකී සිටීමට වග බලා ගත යුතුය.

විශේෂයෙන්ම නහර ගැට ගැසීමේ රෝගය ඇතිවන්නේ ශිරාවන්ගේ සමහර දුර්වලතා හේතුවෙනි. ගර්භණී භාවය, උදරයේ ගෙඩි සෑදීම, ශිරාවන්ගේ ලේ කැටි ඇතිවීම, ආදියද මෙම රෝගයට හේතු වශයෙන් බලපායි. එපමණක් නොව දියවැඩියා රෝග තත්ත්වයද මෙම රෝගය වැලඳීමට තවත් හේතුවක් වනු ඇත. නමුත් රෝගීන් බොහොමයක් දෙනකුට නහර ගැට ගැසීමේ රෝගය ඇතිවීමට විශේෂ හේතුවක් සොයා ගත නොහැකි අතර එවන් රෝගීන්ගේ පරම්පරා තුළ මෙවන් රෝග ලක්ෂණ යම් ප්‍රමාණයකින් හෝ තිබු අය සිටිය යුතු ය. එබැවින් මෙම රෝගය ගොදුරුව සිටින පවුල්වල පසු පරම්පරාවේ සාමාජිකයින් මුල් අවදියේදීම රෝග ලක්ෂණ හඳුනා ගැනීමට සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ නහර ගැට ගැසීමේ රෝගය සඳහා ප්‍රතිකාර පද්ධති කිහිපයක් තිබේ. පැලැස්තර දැමීම, තෙල් සාත්තුව, ආලේප කිරීම් ආදිය මගින් ප්‍රතිකාර කෙරේ. එනම් විකෘති වූ ශිරාවන් පෝෂණය කර, පිරිසුදු කර විකෘතිය මඟ හරවා ගත හැකිය. අතුරු ආබාධ හෝ විකෘති වීම්වලින් තොරව නහර ගැට ගැසීමේ රෝගය සුවකර ගැනීමට හැකියාව සැලසේ. බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේදී එන්නත් කිරීම් මගින්, ලේසර් කිරණ මගින් හා සැත්කම් මගින් නහර කැබලි කපා ඉවත් කරමින් ප්‍රතිකාර කිරීම සිදු කරයි. එන්නත් කිරීම් හරහා නොයෙකුත් රසායනිකයන් ශරීරය තුළට ඇතුළුවන අතර එමගින් ශරීරයේ සමස්ත ක්‍රියාවලියට ප්‍රබල අහිතකර තත්ත්වයන් ඇති කරවිය හැකිය. එමගින් විවිධ අතුරු ආබාධ ඇතිවීම ද නොවැළැක්විය හැකිය.

ඉන්නන් ගැලවී වැටීම, ඉකිළි කැසීම, පණු කැවිලි, ළප කැළැල් මැකීමට සහ වෙනත් සමේ රෝග සඳහා

ඉන්නන් වැටීමට

01.ඉදුණු බුරුල්ල ගෙඩියක් ගෙන ඇට හැර ඉන්නා වැසි යන පරිදි තබා බඳින්න. මෙසේ කිහිප දවසක් කළ විට ඉන්නා ගැලවී වැටෙයි

02.මෝටර් රථයේ බැටරියේ තිබෙන වතුර ගෙන පුළුන්වල තවරා ඉන්නා මත එළන්න. එම වතුරෙන් නිතර තෙමන්න. ඉන්නා ගැලවී වැටෙයි.

03.බුරුල්ල ගෙඩි හුණු සමඟ අඹරා ඉන්නන් ඇති තැන පමණක් ආලේප කරන්න.

04.කූරක අමුණා ගත් එළු බෙටි කැබැල්ලක් පොල්තෙල් පහනකින් පුලුස්සා ඉන්නා මතුපිට දින කිහිපයක් පුලුස්සන්න.

05.බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් මත උලන්න

06.වදකහ, නියඟලා අල, වැල්රුක්අත්තන මුල්. එක පමණ ගෙන දෙහි ඇඹුලින් අඹරා ඉන්නන් මත ආලේප කරන්න.

07.රුක් අත්තන මුල්, නියඟලා අල, වදකහ. ඉඟුරු ගෙන වලාවැන්න යුෂයෙන් අඹරා ගාන්න.

ඉකිළි කැසීමට

1.අරළු, බුළු, නෙල්ලි, කොහොඹ කොළ, ගංසූරිය කොළ යන මේවා එක පමණට ගෙන වතුර පත 8-1 ට සිඳුවා මදක් රෂ්ණය පිට උදේ සවස ඉකිළි සෝදන්න. පසුව තෙතමනයට හැර විසර්පහර තෛලය අවුන්ස දෙකකට සර්ව විෂාදි තෛලය අවුන්සයක් මිශ්‍රකර ගාන්න.

2.කෂායක් – අරළු,බුළු, නෙල්ලි, රසකිද, ශුද්ධ ගුගුල්. වෙනිවැල්ගැට යන මේවා කලං 2 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳුවා පත භාගය බැගින් උදේ සවස කෂාය වඩි 6 ක් බොන්න. සැර, බර, උෂ්ණාධික ආහාර. තෙල් බැඳුම් මත්පැන් ඉතා අගුණයි.

3.අරළු , බුළු, නෙල්ලි, දුම්මෑල්ල, හාතාවාරිය අල,කටුකරෝසන කලං 1 මදටිය 14 බැගින් ගෙන පත 8-1 ට සිඳ උදේ සවිඳ ලුණු සවසට සීනි දමා දිනක් බොන්න. පසුව සීනි මී පැණි දමා තව පත හතරක් බොන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.