ශීර්ෂ රෝග හඳුනා ගනිමු

ජුනි 4, 2021

සමහරකුට උපතින්ම ඇති පීනස නිසා උදේ කාලයේ නිතර නිතර සෙම ගැලීම සිදුවේ. මෙම සොටු දියර හොඳට සූරා එළියට නොදමා උඩට ඇදීමෙන් ඒවා සයිනස් කුහරවලට එකතුවිය හැකියි. සමහරකුට දූවිලි හෝ දුම් ඇවිස්සුණු තැන්වලදී කිවිසුම් යාම සහ සොටු දියර ගැලීමට පටන් ගන්නා අවස්ථා අප දැක ඇත. තවද, සෙම් ප්‍රතිශ්‍යාව වැළඳුණු විටද මෙම තත්ත්වය ඇතිවිය හැකි ය.

 

හිස් හොරි, හිස් කබලේ සෙම පිරීම

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හිස් හොරි තිබීමෙන් බොහෝ දෙනකුට මහත් පීඩාවට පත් වන්නට සිදුවීමක් වන අතර වෙළඳ පොළේ ඇති විවිධ ආලේපන ෂැම්පූ භාවිත නොකොට ආයුර්වේද ප්‍රතිකාර හා උපදෙස් අනුගමනය කිරීමෙන් රෝගය නිට්ඨාවටම සුව කර ගැනීමට හැකියාව තිබේ.

හිසෙහි හිස් හොරි තිබුණොත් හිතට මහා වධයකි. දෛනිකව සමාජයේ එකිනෙකා සමඟ ගැවසීමේ දී හිස්හොරි පැවතිම මානසික පීඩාවකි. හිස පීරන විට පොතු මෙන් ඇඳ ගෙන සිටින කමිසය මත වැටී තිබීම මහත් අවලස්සන තත්ත්වයකි.

හිසේ සමෙහි ඇති මතුපිට ස්ථරය ගැළවී යාම හිස්හොරි වශයෙන් හඳුනා ගැනේ. මෙලෙස ගැළවී යන සෛල ස්ථරය මිය යාම හේතුවෙන් එය පොතු වශයෙන් ගැළවී යයාම සිදුවේ.

විශේෂයෙන්ම හිසෙහි උකුණන් ගැවසීම කරන කොටගෙන හිස් කබලේ සියුම් මතුපිට සම කැඩී යාමත් තවත් එක්තරා තත්ත්වයකි. විටෙක නිය පොතුවලින් කැසීම නිසා හිස් හොරි මෙන් දකින්නට ලැබෙන අවස්ථා ද ඇත. හිසෙහි මතුපිට හටගන්නා පුස් වර්ග නිසාත් හිස් හොරි අයුරින් පැවතීම ද දැක ගත හැකි ය. තවද හිසෙහි පවතින පොතු කබර රෝග තත්ත්වය හේතුකොටගෙන ද හිස් හොරි මෙන් පොතු කොටස් කැඩී වැටීමට ද හැකියාව පවතී.

මෙහිදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රතිකාර රැසක් පවතී. හිස සෝදා නිතර පිරිසුදුව තබා ගැනීම මෙහිදී කළයුතු ප්‍රධාන කාර්යයකි. හිස් හොරි ඉවත් කිරීමේ අදහසින්ම ඕනෑවට වඩා සේදීමත්, කැසීමත් නොකළ යුතු යි. විවිධ රසායනික වර්ග ඇතුළත් ෂැම්පූ වර්ග හිසට දැමීම අතිශය නුසුදුසු බව සඳහන් කළ යුතු ය.

හිස හොඳින් පිරිසුදු කර නීල්‍යාදී හෝ තල තෙල් හෝ බෙහෙත් තෙලක් ගල්වා හිස මෘදු අයුරින් සම්බාහනය කිරීම ඉතා වැදගත් ය. ගොඩපර, නෙල්ලි, කූඩලු, දෙහි ආදී එක් වර්ගයක් ගෙන ඊට උළුහාල් ටිකක් ද දමා හොඳින් තම්බා ගෙන හිස සෝදා හැරීමෙන් විශේෂ ගුණයක් ලබා දෙයි.

ඊට අමතරව, කුඹුක් කොළ හෝ බැබිල කොළ කොටා යුෂ ගෙන හිස සෝදා හරින්න. දෙහි ගැට උළුහාල්, සියඹලා කොළ තම්බා අඹරා හිසේ ගෑමත්, ගුණදායකයි. කොහු කිරිල්ල දළු ඇල්දියෙන් අඹරා හිසේ ගා පැය බාගයකින් පමණ දිය නෑමද ගුණයි. කීකිරිඳිය තම්බා හිස මත ගැල්වීම ද හිස් හොරි සඳහා ගුණයි. උළුහාල් ස්වල්පයක් ගෙන කොටා එයට දෙහි බිංදු කිහිපයක් යොදා හිසේ ගා පැයකට පසු නෑමත් ගුණයි. පොකුරු වදමල් හොඳින් තම්බා එම මිශ්‍රණයට දෙහි බිංදු කිහිපයක් දමා හිසේ ගා පැයකට පමණ පසු නෑමෙන් හිස් හොරි නැතිවේ. තිබ්බටු ගෙඩි යුෂ අවුන්ස 4 කට මී තෙල් අවුන්ස 1 ක් මිශ්‍ර කර අව්වේ තබා කකාරා හිසේ ගෑමද ගුණදායකයි.

ඊටම අමු නෙල්ලි කොටා තම්බා හිස් සෝදා ස්නානය කරන්න. ඊටම නස්නාරං ඇඹුල්, වදකහ, වැදගත් පුෂ්කර, එකට මිශ්‍රකර හිසේ ගා හිස සේදීමෙන් හිස් හොරි වඳ වේ. ඊටම කහ, වෙනිවැල්ගැට, කටුවැල්බටු එකට තම්බා ගෙන හිස සෝදන්න. ඊටම ගොඩපර ගෙඩි තම්බා ගෙන හිසේ ගා එම වතුරින් සෝදා පසුව ස්නානය කරන්න. ඊටම කුඹුක් කොළ කොටා මිරිකා ගත් යුෂ හිසේ ගා පැයකින් පමණ පසු ස්නානය කරන්න. ඊටම තිබ්බටු ගෙඩි කොටා මිරිකා ගත් යුෂ පතකට මීතෙල් අවුන්ස 01 ක දමා අව්වේ කකාරවා ගෙන හිසේ ගා පැයකට පමණ පසු ස්නානය කරන්න. ඊටම වසර 05 කට වඩා පැරණි පොල්තෙල් හිස ගල්වන්න.

ඊටම දෙහි ගෙඩි කිහිපයක් පොල් කිරෙන් තම්බා පොඩිකර හිසේ ගා විනාඩි 30 ක් සිට ස්නානය කරන්න. දින 3 කින් පසු සුව වේ. ඊටම හරංකහ අඹරා මී පැණි, වෙඬරු සමඟ කලතා හිසේ ගාන්න. පැය භාගයකට පසු ඇල්දිය ස්නානය කරන්න. ඊටම නෙල්ලි හා උළුහාල් සමව ගෙන ඊට පොල්කිරි දමා තම්බා නිවා දින දෙක තුනක් හිස සෝදා හරින්න. ඊටම උළුහාල් සමඟ දෙහි ගැට ටිකක් හොඳින් තම්බා ගෙන කිහිප දිනක් හිස සෝදන්න. ඊටම උළුහාල් කලං දෙකක් පමණ ගෙන රාත්‍රියේ වතුරට දමා උදේට දෙහි ගෙඩියක යුෂ කළවම් කර අඹරා හිස ගල්වා පැයකින් පසු ස්නානය කරන්න. ඊටම “කෑලියාපට සමඟ දෙහි ගැට මිටක් පමණට උලා අරි සැට

කකාරා ගෙන හිසේ ගෑ විට කබළු හිස් හොරි හරී ඉවතට”

වශයෙන් කෑලියාපට හා කපාගත් දෙහි ගැටවලට උළුහාල් මිටක් දමා කකාරවා හිසේ ගා ස්නානය කරන්න. ඊටම ඉදුණු කෙසෙල් ගෙඩි තලා කොණ්ඩයේ ආලේප කරන්න. මෙමගින් හිස් හොරි පමණක් නොව උකුණන් වඳ කිරීමේ හැකියාවක් ද පවතී. කෙස් කළඹ දීප්තිමත් කරවයි.

 

හිස් කබලේ සෙම පිරීම.

බොහෝ දෙනකු පීඩා විඳින හිස කැක්කුම් තත්ත්වයක් ගෙන දෙන හිස් කබලේ සෙම පිරීම හඳුන්වනු ලබන්නේ සයිනසයිටිස් රෝගය ලෙසයි. මෙම රෝගය ඇතිවන්නේ අපගේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ සිදුවන ආසාදනයක් නිසා නිපදවෙන සෙම හිස් කබලේ ඇති කුහරවල ක්‍රම ක්‍රමයෙන් එකතුවීමෙනි.

සමහරකුට උපතින්ම ඇති පීනස නිසා උදේ කාලයේ නිතර නිතර සෙම ගැලීම සිදුවේ. මෙම සොටු දියර හොඳට සූරා එළියට නොදමා උඩට ඇදීමෙන් ඒවා සයිනස් කුහරවලට එකතුවිය හැකියි. සමහරකුට දූවිලි හෝ දුම් ඇවිස්සුණු තැන්වලදී කිවිසුම් යාම සහ සොටු දියර ගැලීමට පටන් ගන්නා අවස්ථා අප දැක ඇත. තවද, සෙම් ප්‍රතිශ්‍යාව වැළඳුණු විටද මෙම තත්ත්වය ඇතිවිය හැකි ය.

නාසයේ ඇති මස් දළු, පීනස් ගෙඩි වැනි රෝග තත්ත්වයන් නිසා ද සුළු වශයෙන් හෝ සෑදෙන සෙම, නාසයෙන් එළියට දැමීමට ඇති අපහසුතාවයෙන් කුහර තුළ තැන්පත් විය හැකි ය. මෙසේ කාලයක් තුළ එකතුවන සෙම බැක්ටීරියාවල ආසාදනයට සහ පැසවීමට ලක්වීමෙන් මෙම සයිනසයිටිස් නමැති ආසාදන තත්ත්වය ඇති කරවයි.

රාත්‍රී කාලයේ ස්නානය සහ තෙත කොණ්ඩය පිටින් නිදා ගැනීම , නිතර නිතර සීතල වතුර පාවිච්චිය, මෙම රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු වෙයි.

මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ, හිසේ නළල ආශි‍්‍රතව ඇති දැඩි වේදනාව, හිස පහතට හෙළා ලිවීම් වැනි කටයුතුවලදී හෝ එබඳු වැඩ කිරීමේ දී ඇතිවන අපහසුතාවය, පහත් වී නැගිටින විට කරකැවිල්ල සහ විසිවෙන ගතිය දැක්විය හැකි ය.

ඊට අමතරව, අන් අය නුරුස්සන ස්වභාවය, සවස් කාලයේ උණ ගතිය, දිවා කාලයේ ඇස් ඇරගෙන සිටීමට ඇති අපහසුතාවය සහ තද නිදිමත ගතිය මෙහි තවත් රෝග ලක්ෂණ ලෙස සඳහන් කළ හැකි ය.

හිස් කබලේ කුහර ඇති තැන් ඇඟිල්ලෙන් තද කිරීමෙන් දැඩි වේදනාවක් ඇති වෙයි නම් මෙම රෝගය ප්‍රධාන වශයෙන් හඳුනා ගත හැකි වනු ඇත. ඊට අමතරව එක්ස් කිරණ පරීක්ෂණයක් මඟින් කුහර තුළ සෙම් තැන්පත්වී ඇත්දැයි පැහැදිලිව බලා ගත හැකි ය.

මෙහිදී දෙහි කොළ, පාවට්ටා කොළ, නික කොළ, ආදී කොළ තැම්බූ ජලයෙන් හුමාලය ඇල්ලීමෙන් විශේෂ ගුණයක් ගෙන දෙයි. උෂ්ණ ආහාරපානාදියෙන් වැළැකී සිටීම යහපත්ය.

 

ආයුර්වේද වෛද්‍ය ඡ්‍යොතිෂ විද්‍යාශූරී,

ආචාර් ප්‍රභාත් ඩී.ඒ. ගමගේ

කඹුරුගමුව, මාතර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.