වකුගඩු රැකගන්න මුල සිටම දැනුම්වත් වෙමු!

සැප්තැම්බර් 10, 2021

වකුගඩු නරක්වන්නේ ඇයි ? එවැනි තත්ත්වයක් හඳුනාගත හැක්කේ කෙසේද ? ශරීරයට ඉතාම අවශ්‍ය ප්‍රධාන ඉන්ද්‍රියයක් වන වකුගඩු ආරක්ෂා කරගත හැක්කේ කෙසේද ? මේ පිළිබඳව විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

අපේ ශරීරයේ වකුගඩු පිහිටා ඇත්තේ උදරයේ පිටුපස බිත්තියට ආසන්නවය.වම්පස වකුගඩුව දකුණු පසට වඩා තරමක් ඉහළින් පිහිටා තිබේ.වකුගඩුවල ව්‍යුහය තරමක් සංකීර්ණය.එයට වඩාත් හොඳ රුධිර සැපයුමක් ඇති අතර රුධිරය පෙරීම සඳහා පෙරහන් කිහිපයක්ද ක්‍රියාත්මක වේ.සිරුරේ සෛල තුළ සිදුවන ක්‍රියාවන්හිදී පිටවන අපද්‍රව්‍ය හා අප ගන්නා ආහාරයේ ඇති යම් යම් රසායන ද්‍රව්‍ය ආදී ජලයේ දියවෙන බොහෝ දේ මගින් අපේ ශරීරයට නොයෙකුත් හානිකර තත්ත්වයන් ඇතිවේ.වකුගඩු නරක් වීම යැයි හඳුන්වන්නේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය දුර්වල වීමය.වකුගඩු ක්‍රියාකාරීත්වය සඳහා මූලිකවම බලපාන්නේ එහි ඇති ගුජ්ඡිකා සහ නාළයන් වල ක්‍රියාකාරීත්වය නැවතීමයි.මෙම තත්වය වකුගඩු නරක්වීම ලෙස හඳුන්වයි.වකුගඩු ක්‍රියාකාරීත්වය ඇනහිටීම ක්‍රම දෙකකට සිදුවිය හැකියි.

තාවකාලිකව එකවර නැවතීම.

දිගු කාලීනව වකුගඩු ක්‍රියාකාරීත්වය නැවතීම.

වකුගඩු තාවකාලිකව එකවර නැවතීම

වකුගඩුවල ක්‍රියාකාරීත්වය එක්වර කාවකාලිකව නවතින අවස්ථා තිබේ.ඒ විවිධ හේතු නිසාය.එහෙත් රෝග තත්ත්වය හෝ ඊට බලපෑ හේතුව යථා තත්ත්වයට පත් වූ පසු එහි ස්වාභාවික ක්‍රියාකාරීත්වය පටන්ගනී.

තාවකාලිකව වකුගඩු ක්‍රියාකාරීත්වය නතර වීමට හේතු

විවිධ බෙහෙත් වර්ග විෂ වූ විට, සර්ප දෂ්ට කිරීම් නිසා, රුධිර ගමනාගමනය අඩු වූ විට, හෘදයාබාධ වලට ගොදුරු වූ විට, මී උණ රෝගයට ගොදුරු වූ විට ශරීරයේ විෂබීජ රැඳී තිබෙන විට, වෛරස් උණ උදාහරණ වශයෙන් ඩෙංගු උණ වැනි තත්ත්වයන්වලදී වකුගඩුවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව ඇණ හිටී.

දිගුකාලීනව වකුගඩු අක්‍රීය වීමට බලපාන හේතු

වකුගඩු දිගු කාලීනව නරක් වූ විට එය යථා තත්ත්වයට පත් කළ නොහැකිය.එසේ වකුගඩු නරක් විය හැකි හේතු කීපයක් මෙසේය.

වසර පහකට වඩා වැඩිකාලයක් දියවැඩියාවට ගොදුරුව සිටීම.

අධික රුධිර පීඩනය.

නෙප්‍රයිටිස් රෝගයට ගොදුරු වීම.

නෙප්‍රයිටිස් රෝගයට ගොදුරු වූ විට බොහෝ විට හඳුනාගත නොහැකිය. රෝගියා සාමාන්‍ය වෛරස් උණ රෝගියෙකු ලෙසට සිට සුවවෙයි.එහෙත් එම වෛරස් නිසා නොදැනුවත්වම වකුගඩු නරක්වීමට පටන්ගනී.මෙම රෝගයේදී ඇඟ ඉදිමීම, ඇස් කැසීම වැනි රෝග ලක්ෂණ පහළ වන්නේ සුළු පිරිසකටය.එනිසා මෙය බරපතල රෝගී තත්ත්වයකි.

පෙලිසිස්ටින් රෝගය

උපතින්ම ජාන මගින් සෑදෙන රෝගයකි. එයින්ද දිගුකාලීනව වකුගඩු අකර්මන්‍ය වේ. පිරිමින්ට සෑදෙන පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත රෝග හා මූත්‍රගල් ඇතිවීම.-මෙහිදී මූත්‍ර පහ කිරීමේ බාධක ඇතිවේ.එයින් දිගුකාලීනව වකුගඩු අකර්මණ්‍ය වේ. කුඩා දරුවන්ට උපතින් ඇතිවන ආබාධ නිසා. මූත්‍ර ආසාදන වලට නිතර ගොදුරු වීම නිසා නිතර විෂ බීජ රැඳී තිබීමෙන් වකුගඩු නරක්වීමටද පුළුවන.

වකුගඩුවල ආරක්ෂාවට පිළිවෙත්

තරුණ වියේ සිට දියවැඩියාව, අධික රුධිර පීඩනය තිබේ නම් එය හොඳීන් පාලනය කරගත යුතුය.දියවැඩියා රෝගය තිබෙන විට කලක් යනවිට බොහෝ විට වකුගඩු නරක්වීමට ඉඩ තිබේ.එනිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය.වකුගඩුවක් නරක් වීමට පෙර ඒවා රැකගැනීමට සෑමවිටම උනන්දු විය යුතුය.

සුළුවෙන් හෝ වකුගඩු අක්‍රීය නම් එය රැකගත හැක්කේ කෙසේද

වකුගඩු නරක්වීමට පත්වීමට පෙර එය රැකගැනීමට යහ පිළිවෙත් අනුගමනය යුතුය. එහෙත් සුළු හෝ දුර්වලතාවක් තිබේ නම් පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් වන්න.

 ඔබ දියවැඩියා රෝගියෙකු නම් මාස හයකට වරක් බැගින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍යය.හැකි පමණ හානිකර ඖෂධ ගැනීමෙන් වළකින්න.උදාහරණ වශයෙන් වේදනා නාශක ඖෂධ නොගත යුතුය.

 විජලනයෙන් වැළකිය යුතුය.

 ප්‍රවේශමින් ආහාර ගත යුතුය.

කොලෙස්ටරෝල් පාලනය කළ යුතුය.

 

මූත්‍ර නොයන තත්ත්වයක් ඇතිවීම

මූත්‍ර නොයන තත්ත්වයක් නම් ජලය අඩුවෙන් පානය කළ යුතුවේ.මූත්‍ර නොයන තත්ත්වයට පත්වන්නේ වකුගඩු 85 % ක් තරම් නරක් වූ විටය.එවිට ජලය පානය වෙද්‍ය උපදෙස් අනුව පාලනය කළ යුතුය. එවැනි තත්ත්වයක් හඳුනාගත හැක්කේ රෝගියාගේ ශරීරයේ ජලය රැඳීම නිසා සිරුර ඉදිමීමෙනි. දුර්වල වකුගඩුවක් තිබෙන්නේ නම් අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීම අපහසු නිසා පොටෑසියම්, පොස්පේට්, ලවණ ආහාර නොගත යුතුය.ඊට හේතුව පොටෑසියම් මට්ටම වැඩි වීමෙන් ක්ෂණිකව රෝගියා මිය යා හැකි නිසාය

පොටෑසියම් බහුල ආහාර

පොටෑසියම් බහුල ලෙස තිබෙන්නේ පලතුරුවලය. එනම් කෙසෙල්, දොඩම්, පැඟිරි කුලයේ පලතුරුවල පොටෑසියම් බහුලව තිබේ.ඒනිසා වකුගඩු රෝගීන්ට මෙවැනි පලතුරු ඉතාම හානිකරය.පොටෑසියම් මට්ටම වැඩිවීමෙන් ක්ෂණිකව හෘදය නැවතීමට ඉඩ තිබේ.

පොස්පේට් බහුල ආහාර

එළවළු, අලවර්ගවල හා මස්, මාළු, කජු, පරිප්පු වල පොස්පේට් බහුලය.වකුගඩු රෝගියෙකුගේ ශරීරයේ පොස්පේට් රැඳී තිබුණොත් තයිරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය වේ.එයින් අස්ථි දුර්වල වේ.දිගුකාලීනව ඇටකටු වල කැල්සියම් රැධිරයට එකතු වේ.එයින් රෝගියාගේ ශක්තිය පිරිහේ.

වකුගඩු රෝගීන්ට හෘදයා බාධ අනතුරු සුලබයි

වකුගඩු දුර්වල වූ රෝගීන්ට හෘදයාබාධ සෑදීමේ ප්‍රවණතාව වැඩිය. ඊට හේතුව ශරීරයට යකඩ පදාර්ථ උරාගැනීම හා රුධිර වර්ධනයට අවශ්‍ය හෝමෝන නිපදවන්නේ වකුගඩු වලින් නිසාය.එය දුර්වල වීමෙන් මෙම අවශ්‍ය පදාර්ථ හිඟවේ. එයින් රෝගියා රක්තහීනතාවයට පත්වේ.රක්ත ඌණතාව දිගුකාලීනව පැවතීමෙන් හෘදය දුර්වල වේ. එයින් හෘදයාබාධ වලට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩිවේ.එපමණක් නොව රෝගියා මෙම දුර්වලතාව නිසා හුස්ම ගැනීමේ අපහසුතාවට ද පත්වේ.

වකුගඩු දුර්වලතාව මොළයට බලපානවාද ?

වකුගඩු නරක්වීමෙන් මොළයට ඍජු ලෙස බලපෑම් ඇතිවේ.අම්ල ශරීරයේ රැ‍ඳෙන නිසා සිහිය විකල් වෙයි.මේවා රුධිරය පිරිසිදු කිරීමෙන්ද පවිත්‍ර නොවේ.එනිසා වකුගඩු 15 % ක් පමණ දක්වා ක්‍රියාකාරිත්වය ඉතිරි වී තිබෙන රෝගියකුට නිතර වලිප්පුව පවා ඇතිවිය හැකිය.එහෙත් එවැනි තත්ත්වයක් ඇතිවන්නේ රෝගය උපරිම තත්ත්වයට පත්වූ විටය.

වකුගඩු රෝගීන් සුලභ පළාත්

අපේ රටේ වැඩි වශයෙන් අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශවල වකුගඩු හානි වූ රෝගීන් හමුවේ.එහෙත් අද එය සෑම පළාතකින්ම දක්නට ලැබේ. අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට බහුලව වකුගඩු රෝගය වැලඳීමට හේතුව එම ප්‍රදේශ වල ළිං ජලයේ බැරලෝහ බහුලව අඩංගු වී තිබීමයි. කෘත්‍රීම පොහොර , කෘමි නාශක,වල් නාශක බහුල ලෙස කෘෂි කාර්මික වගා බිම් සඳහා භාවිත කිරීම අධික බැවින් භූ ගත ජලය (ළිං ජලය)අපවිත්‍ර වී තිබීම ඊට හේතුවයි

වකුගඩුවක් බද්ධ කළ පසු සාමාන්‍ය ජීවිතයක් ගතකළ හැකිද ?

බද්ධකළ පසු දිගු කාලීනව ඖෂධ ගත යුතුය.එය මුල් කාලයේ බොහෝදුරට ශරීරයෙන් ප්‍රතික්ෂේප කරන නිසා රෝගවලට ගොදුරු නොවී විවේකීව සිටිය යුතුය.එහෙත් එම රෝගියාට පසු කාලීනව ඖෂධ ගනිමින් සමාජයට ආ හැකියි. සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි.එහෙත් එවැනි අය සෑමවිටම නිරෝගීව ජීවත්වීමට සිතට ගත යුතුය.

වකුගඩු නරක් වූ බව හඳුනාගැනීම පහසුද

වකුගඩු දිගුකාලීනව නරක් වූ බව හඳුනාගැනීම අපහසුය.එහෙත් තාවකාලිකව වකුගඩු නරක් වීම හඳුනාගත හැකිය.ඊට හේතුව එසේ වන්නේ යම් රෝගයක් හෝ යම් හේතුවක් නිසා එවිට රෝගියා රෝහල් ගතකරන නිසාය.මේ හැර දිගුකාලීනව වකුගඩු නරක්වීම අන්තිම අවස්ථාවට වනතෙක් හඳුනාගැනීම අපහසුය.එනම් එවැනි තත්ත්වයක් බොහෝදුරට හඳුනාගන්නා විට වකුගඩු 15 % ක් පමණ වනතෙක් නරක් වී අවසානය. ඒ වනවිට රෝගියාට මෙවැනි රෝග ලක්ෂණ පහළ වේ.

මූත්‍ර අඩුවෙන් පහවීම.

ඇඟ ඉදිමීම.

මූත්‍ර සමග පෙන වශයෙන් පිටවීම.

සුළු දෙයටත් දැනෙන මහන්සිය.

කලාතුරකින් මූත්‍ර සමග රුධිරය පිටවීම.

කෑම අරුචිය

මෙම තත්වය තවත් වැඩි වන විට රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ.වකුගඩු වල ක්‍රියාකාරීත්වය 15 % ක් තරම් අඩු වූ විට කළ යුත්තේ ලේ ශුද්ධ කිරීම සහ අවසාන වශයෙන් වකුගඩුවක් බද්ධ කිරීමය.

රුධිර කාන්දු කරණය හෙවත් - ඩයලයිසිස් (ච්ඪචතරඵඪඵ)

ඩයලයිසිස් කිරීම යනු වකුගඩු ක්‍රියාකාරීත්වය තාවකාලිකව යන්ත්‍රයකට සම්බන්ධකර රුධිරය පිරිසිදු කිරීමය.එයින් පිරිසිදු කරන රුධිරය යන්ත්‍රය මගින් ශරීරයට යවයි.මෙම පිරිසිදු කිරීම පටන් ගත් පසු සතියකට තුන්වරක් කළ යුතුවේ.

රුධිරය පිරිසිදු කිරීමෙන් වකුගඩු යථා තත්ත්වයට පත් වේද ?

වකුගඩු පිරිසිදු කිරීමෙන් ක්‍රියාකාරී වන්නේ 15% - 20% ක් පමණය.ඒ හැර එයින් සම්පූර්ණ පවිත්‍රතාවයක් වන්නේ නැත.දිගුකාලීනව ඩයලයිසිස් කිරීමෙන් ශරීරයේ අපද්‍රව්‍ය නිසි ආකාරයට ඉවත් නොවන තත්ත්වයකට පත්වේ.එනිසා රෝගියාට වෙනත් රෝග ලක්ෂණ පහළ විය හැකිය.එහෙත් අපේ රටේ ඒ සඳහා නව තාක්ෂණ ක්‍රම උපයෝගී කරගිනිමින් රුධිර පිරිසිදු කිරීම් කිරීමට කටයුතු කර තිබේ

 

කෑගල්ල ශික්ෂණ රෝහලේ කායික රෝග අංශයේ ජ්‍යෙෂ්ඨ වෙද්‍ය

රුවන් ලාල් උදය බණ්ඩාර

 

රඹුක්කන

කීර්ති එස් කුමාර

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.