දේශීය බිම්මල්

අප්‍රේල් 19, 2019

පැරැණි සිංහල ජීවිතය බෙහෙවින් සරල හා චාම් විය. ආහාරය කුඹුරෙන් ලැබෙන වී, හේන්වල එළවළු, ගෙවතුවල ඕවිටිවල කුඹුරුවල පළා ගංඟා ඇල දොළවල මිරිදිය මසුන්, ආදී සමබර මිශ්‍ර පෝෂ්‍යදායක එකක් විය. ගෙදරදී කොටා ගත් නිවුඩු සහිත හාල්, කුරක්කන් හේන්වල දේශීය එළවළු, වැල් අල, කටු අල, කැලෑවේ අල, කැලෑ බිම්මල්, එළකිරි, උදය කැඳ ආහාරයට එකතු විය. ඒවා ආහාර මෙන්ම ඖෂධ ද විය.

උදෑසන භික්ෂූන්ට පවා පිදුවේ කැඳයි. බෙලි, ඉරමුසු, පොල්පලා, රණවරා පාන ලෙස සකස් විය. සිංහල අවුරුද්දට එළවළු වර්ග කිහිපයක් මිශ්‍ර කොට හත් මාළුව සකස් විය. අවට පරිසරයෙන් මුදලක් නැතුව ලබා ගත් ඉතා පෝෂ්‍යදායී සමබල ආහාර වේලට බිම්මල් එකතු විය. මේවා එක් කාලයකට වර්ග රැසක් ලෙස එදා ගැමි පරිසරයේ බහුල විය. එක දිගට පවතින තද වර්ෂාව නිම වූ පසු පිට්ටනි, කමත්, දෙනි, වෙල් එළි, උස් ඇලි, හුඹස් අද්දර මේ බිම්මල් දින කිහිපයක් පොළොවෙන් මතු වෙයි. ඒවා පිපෙන තැන් පිපෙන කාලය කෑමට ගත යුතු වර්ග ගැමියෝ ව්‍යවහාර ගුණයෙන් දැන සිටියහ. දිගු නියඟ හමාර වී තද වැහි වැටුණු විට බිම්මල් බහුලව පිපෙයි. එක තැන එක යායට කූඩයක් පමණ ගැලවිය හැකි කුඩා සුදු බිම්මල් පොළොවෙන් මතු වෙයි. ඒ ඉතා සුන්දර දර්ශනයකි.

දේශීය පැරැණි බිම්මල් භාවිතයේදී සැලකිය යුතු කරුණු කිහිපයකි.

පවිත්‍ර ස්ථානවල පිපෙන වර්ග කඩාගත යුතුය.

කෑමට යෝග්‍ය වර්ග තෝරාගත යුතුය

ශරීරයට අහිතකර විෂ සහිත වර්ග හඳුනාගත යුතුය

පිපුණු විගස උදයවරුවේ කඩාගත යුතුය

හවස් වනවිට භාවිතයට නුසුදුසු වෙයි.

කඩාගත් පසු මැනවින් සෝදා ලුණු වතුර මිශ්‍ර කර ජලයේ බහා තැබිය යුතුයි

“ සූකර මද්දව“ නමින් බුදුහිමි භාවිතා කළ අන්තිම දානයට ලැබුණේ බිම්මල් විශේෂයක් බව හැඟෙයි. එහෙත් බුදුහිමිට ඒවා වයස හා ගිලන් බව නිසා ජීර්ණය වූයේ නැත. මෙයින් පෙනී යනුයේ බිම්මල් ආහාරයට ගත යුතු අවස්ථා හා කාලගුණික තත්ත්ව, වයස මෙන්ම ජීර්ණ ශක්තිය ද වැදගත් බවයි. පැරැණි අය තුළ මේ ආහාර හා ඖෂධ ගැන පාරම්පරික ගැඹුරු අත්දැකීම් සමුදායක් පරම්පරාවෙන් අත්දැකීමෙන් එකතු වී තිබුණි. අද ඒ දැනුම සමාජයෙන් තුරන් වෙමින් පවතී. බිම්මල් හඳුනා ගැනීම, විෂ වර්ග භාවිතයට නොගැනීම පිළිබඳ දැනුම තුරන් වෙමින් පවතී. අනෙක බිම්මල් පිපෙන පරිසර පද්ධති දැඩිලෙස විනාශ වෙමින් පවතී. එදා පිදුරු ඉබේ දිරා ගිය කමත් අද භාවිතයෙන් ඉවත් වෙමින් පවතී. සමහර කමත්වලට සිමෙන්ති දමා ඇත. කුඹුරු යායවල දෙනි, ඕවිටි අද දැකිය නොහැක. ඒවා සරු කළ ගව සම්පත අද විරලය. කෘමිනාශක එකතු වීමෙන් පරිසරය අපවිත්‍ර වී ඇත. බිම්මල් හඳුනා ගැනීමේ හැකියාව අලුත් පරපුර තුළ නැත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

එස්.කේ.ජයවර්ධන“සොමිකැළුම්” , නාපාන,

ගුන්නෑපාන.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.