ආයුර්වේද අත් බෙහෙත්

ජුනි 28, 2019


අමුකහ

ප්‍රබල විෂබීජ නාශකයකි. හමේ රෝග සඳහා තම්බා හම සේදීම මඟින් තුවාල වියලී යයි. හම පිරිසුදු කරයි. එසේම තැල්මට අමුකහ, බැලතණ, පොල් සමඟ කොටා බැඳීමෙන් තැල්ම සුවකරයි.

බැබිල

ශාරිරික වේදනාවන්ට මෙන්ම අධිරුධිර පීඩනයට තම්බා බීමට ගැනීමෙන් වේදනා නැතිකරයි. එසේම හෘදයේ වේදනාවන්ට කුඹුක්පොතු, සුදුලූණූ, බැබිල මුල් තම්බා බීම මගින් හෘද රෝග අඩුකරයි.

විෂ්ණුක්‍රාන්ති

මොළයේ සෛල වර්ධනය කරයි. අමතක වීම මෙන්ම ඇතිවන සියලුම ස්නායු රෝග සඳහා තම්බා බීම ගුණදායකය.

ලුණුවිල

හමේ රෝග සඳහා ගුණදායකය. එසේම ස්මරණ ශක්තිය වැඩිකරයි. කුඩා දරුවන්ගේ හමේ රෝග සඳහා තම්බා බීමට සහ සේදීමට භාවිතා කරයි.

දෙහි

වමනයට. අජීර්ණයට,උදරගත වේදනාවන්ට දෙහි ඇඹුලින් මිරිකාගෙන පානය කිරීමෙන් වේදනාවන් නැති කරයි. එසේම ප්‍රබල විෂබීජ නාශකයක් වේ.

සුදුහඳුන්

ශාරිරික දාහය නැතිකරයි. හමට මෙන්ම රක්තශෝධකයකි. ඇඟ නිවීමටත් ගර්භාෂයේ උෂ්ණාධික රෝග සඳහාද තම්බා පානය කරයි.

ආඩතෝඩ (පාවට්ටා)

ශාරිරික වේදනාවන්ට මෙන්ම සෙමටද තම්බා බීමට හොඳයි. එසේම සියලුම වාත රෝග සඳහා ගුණදායකයි.

එළබටු

සෙම් රෝගවලට ගුණයි. එළබටු කැඳ මේ සඳහා ගුණයි

කටුවැල්බටු

සියලුම සෙම් රෝග සඳහා මෙන්ම උණ, සෙම, කැස්ස ආසාධන තත්ත්ව ඇති අයට එළබටු මුල්, වියලි ඉඟුරු , පත්පාඩගම් , තිප්පිලි සමඟ තම්බා බීමට ගනී.

ඉගිනි ඇට

මුත්‍රා පිරිසුදු කරයි. තැඹිලි ගෙඩියකට දමා බීමෙන් මුත්‍රා රෝග නැති කරයි. දාහය පිපාසය සන්සිඳවයි.

නික

වාත රෝග සඳහා තම්බා බීමට ගනී. කර්ණාබාධ සඳහා මෙන්ම හිසේ ආබාධ සඳහා භාවිතා කරයි.

බෙලි

උදරගත රෝග සඳහා විශේෂයි. උදරයේ සියලුම විෂබීජ විනාශ කරයි. දියවැඩියාවට ගුණදායකයි. බෙලි පොතු අතීසාරයට ගුණදායකයි.

 

වෛද්‍ය
නිරූපා සංජීවනී රත්නායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.