ඔසු ගුණ පිරුණු අපගේ ප්‍රධාන ආහාරය වී

අගෝස්තු 14, 2020

පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරි සමතුලිත ආහාරය ශරීරයේ ප්‍රාණවත් බව, පුෂ්ටිමත් බව, ශරීර බලය, බුද්ධිමත් බව, සතුටට මෙන්ම නිරෝගී බවද ලබාදෙන අතර ආහාර විධිමත් ලෙස නොගැනීම බොහෝ රෝග ඇතිවීමට ද හේතු වේ.

මෙසේ අප ගනු ලබන ආහාර අතුරින් ප්‍රධාන ආහාර වනුයේ ධාන්‍ය වර්ගයි. එම ධාන්‍ය වර්ග අතුරිනුත් වී ප්‍රධාන වන අතර එමගින් සකස්කර ගනු ලබන බත් අපගේ ප්‍රධානතම ආහාරයයි. මෙසේ වී වලින් ගනු ලබන සහල් මඟින් බත් ඇතුළු විවිධ ආහාර සංස්කරණ රාශියක් භාවිත කරයි. එමඟින් ශාරීරික පෝෂණය මෙන්ම ශාරීරික නිරෝගීතාවයද ලබාදෙන බව ඒවායේ ඇති ගුණාගුණ අනුව පැහැදිලි වේ.

ඉතා ඈත අතීතයේ සිටම අපගේ ප්‍රධාන ආහාරය ‘බත්’ වූ අතර ඒ සඳහා යොදා ගත් වී වර්ග ද විශාල ප්‍රමාණයක් වූ බවද ව්‍යවහාරයේ දැක්වේ. එසේ වුවද වර්තමානයේ එම පැරණි වී වර්ග බොහෝමයක්ම අභාවයට ගොස් ඇති අතර අද දක්නට ලැබෙන වී වර්ග බොහෝමයක්ම නවීන පර්යේෂණ මඟින් නිෂ්පාදනය කරනු ලැබූ ඒවා ය.

ධාන්‍ය ජාතීන්ගේ ප්‍රභේද සම්බන්ධව සීමාවක් දැක්විය නොහැකි වූවත් ශාලීධාන්‍ය, ව්‍රිහී ධාන්‍ය, ශුක ධාන්‍ය, ශිම්බීධාන්‍ය සහ ක්‍ෂුද්‍ර ධාන්‍ය යනුවෙන් ධාන්‍ය පංචකයක් පැරණි ග්‍රන්ථවල දැක්වෙයි. ඒවා අතුරින් රක්තශාලී (රත් ඇල්) ආදිය ශාලී ධාන්‍ය ලෙසද ෂෂ්ටිකාදිය (හැටදා වී) වි‍්‍රහී ධාන්‍ය ලෙස ද දක්වයි. තවද ධනවන්තරී නිඝණ්ඩුවේ දී ඇල් නාමයෙන් ගනු ලබනුයේ රත් ඇල්, සුවඳ ඇල් ආදියයි. ඖෂධීය වශයෙන් ද රත් ඇල් සහ සුවඳ ඇල් ශ්‍රේෂ්ඨ වේ. එසේ වුවද වර්තමානයේ ඒවා නොමැති නිසා හීනටි, හාතිලී වැනි අමිශ්‍ර (දෙමුහුං නොකළ) ව්‍රිහී ධාන්‍ය ගැනීම යෝග්‍ය යයි දක්වා ඇත. තවද මා වී ගත යුතු යැයි දක්වා ඇති විට මා වී නමින් ප්‍රසිද්ධ වර්ගය හෝ දෙවරැද්දිරි, ගැනීම සුදුසු යයි දක්වයි.

ශාලී ධාන්‍ය(ඇල් වී) ද ගොඩ හා මඩ වශයෙන් වර්ග දෙකකි. මෙයින් ගොඩ ඇල් අතුරින් තුන් දොසටම හොඳ නිසා ‘රත් ඇල්’ ශ්‍රේෂ්ඨ වේ. අප රටේ ‘ඇල්’ ගොවිතැන බස්නාහිර පළාතේ සහ සබරගමුව පළාතේ සරුවට පවතියි. එසේම ඉන්දියාවේ මගධ දේශයේ ‘දවුල් බානි චාවුල්’ ලෙස ප්‍රසිද්ධ මේ වර්ගය කල්කටා ආදි නගර වල පායාස (කිරිබත්) සෑදීමට ගනු ලබයි. ‘කලමඩු’ සහ පොලයැල් ආදී ඇල් වී වර්ග ආශාවටත් කෑමට මෙරටින් සොයා ගැනීමට නැත. මඩ ඇල් (කෙත් වී)ගොවිතැන දියුණුවේගෙන යන නිසා පෙර තරම් වී වර්ග නැති වුවද සාමාන්‍ය වී වල බත එතරම් හිඟ නැත. මෙකී මඩ ඇල් අතුරින් සැටදා වී උතුම් බව කියතත් ඒවාද ඇල් වී මෙන් දැන්වඳ වී යයි. අප රටේ කැකුළු සහ තැම්බූ සහල් යන දෙවර්ගයම ව්‍යවහාර වේ. එසේම දකුණු පළාතේ වැවෙන ‘වී’ වල පිටි සහ තෙල් ගතිය අඩු නිසා කැකුලෙන්ම ආහාර සඳහා ගනු ලබයි. එහෙත් මේ වර්ග දෙකේම පෝෂ්‍ය ගුණයේ වැඩි වෙනසක් නැත. මේ ආදි වශයෙන් අතීතයේ වේද කාලයේ සිට මේ දක්වාම වී වර්ග රාශියක් භාවිත කර ඇති නමුත් වර්තමානයේ එම වටිනා පෝෂ්‍යදායි හා ගුණදායී වී වර්ග අභාවයට ගොස් ඇත. වර්තමානයේ බහුලව දක්නට ලැබෙනුයේ විවිධ පර්යේෂණ වලින් නිපදවන ලද දෙමුහුං වී වර්ගයි. වී වර්ග 3000 කට වඩා ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පර්යේෂණායතන අංශයේ පළවූ ලිපියක දක්වා තිබිණ.

වී සඳහා විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන් සැලකීමේදී,

පොදු සිංහල නාමය - ඇල් වී වන අතර

සංස්කෘත බසින් - ශාලී, ව්‍රිහි ආදි         නාමයන් ද

හින්දි බසින් - චාවල් ධාන් ශාලීධාන් ද,

වංග බසින් ශාලී ධාන්‍ය චාවල් ධාන් යන නාමයන්ද,

දෙමළ බසින් - අරිසි

ඉංග්‍රීසි බසින් - ඍසජැ නම් වේ.

වී වල උද්භිද විද්‍යාත්මක නාමය

Oryga Sativa Linn ය. මෙහි කුලය Gramineae  හෙවත් යව කුලය වෙයි.

ව්‍යවහාර අංග :-

ආහාරමය වශයෙන් සහල් සහ ඒවායින් සකස් කරනු ලබන ආහාර වර්ග

ඖෂධීය වශයෙන්

ඇල් වී වලින් හෝ වී වලින් ගනු ලබන සහල්, මුල් සහ ක්‍ෂාර පරිභාෂාවෙන් සැකසු ක්ෂාරද වෙයි.

වී වල අඩංගු රසායනික උපාදාන

වෙනත් ධාන්‍ය වලට වඩා මෙහි කාබෝහයිඩ්‍රේට් අධිකව පවතින අතර තෛල පදාර්ථ සැලකිය යුතු ප්‍රමාණයකට නැත. ලෝහ පදාර්ථ ඉතා අඩු ය. විටමින් බී පදාර්ථය නිවුඩු ශුද්ධ නොකළ සහල්වල ඇත. වඩාත් සේදීමෙන් සහ වඩාත් සහල් පෑහීමෙන් මෙම විටමින් බී පාදාර්ථය නැති වී යයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.