හෘද රෝග වලට හිතකර මාදං (රාජ ජම්බු)

අගෝස්තු 21, 2020

රාජ ජම්බු ලෙස පෙර රජදරුවන් ඉතාමත් ආදරයෙන් වැලැඳ ගත් පලතුරකි. ලංකාවේ සෑම වනාන්තරයකම වැවේ. 

තවද පහත රට තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේද දක්නට හැකිය. පුරාතනයේ පටන් මා දං ගසට තිබූ ඉහළම ඉහළ ගරුත්වය නිසා භාරතයට ජම්බුද්වීපය යන නම ලැබීය. මෙය ඉන්දියානු මහද්වීපයට ආවේණික වු පලතුරු ගසකි. හොඳින් වැඩුණු මාදං ගසක අලංකාරය ඉස්මතු වී පෙනෙන්නේ ගී‍්‍රෂ්මය නිමාවන කාලයේදීය. මේ කාලයට මාදං ගසේ දම් පැහැති ගෙඩි පිරී තිබෙනු දක්නට ලැබේ. කුඩා    ළමයින්ගේ මෙන්ම කුරුල්ලන්ගේ ද පි‍්‍රය උපදවන පලතුරක් වන්නේය. මාදං ගෙඩි පිරිපුන් මාංශලය. මේ ගසට ගරු කිරීම වශයෙන් “විෂ්ණු පුරාණයේ” සඳහන් කර ඇත. 

ඉන්දියාව පාලනය කළ ධර්මාශෝක රජතුමන් උයන් කෙළියේ යන විට රජ කුමරුවන් සහ රජ කුමරියන් ජල ක්‍රීඩාවෙන් පසු “රාජ ජම්බුල”, “නදීප ජම්බුල” වළඳ ගත් බව ඉතිහාසයේ සඳහන් වේ. මීට දශක කීපයකට පෙර සිටම ග්‍රාමීය දරුවන් උණ බට මගින් සාදාගනු ලැබූ තුවක්කු සඳහා උණ්ඩ ලෙස මාදං ඇට යොදා ගෙන තිබුණි. මෙම ක්‍රීඩාව ද කුඩා උණ බට යොදා දැන්ද සිදු කරයි. මාදං ගසේ පොතු මෙන්ම ගෙඩිත් පත්‍රත්, මුල්ද ඖෂධ ගුණයන්ගෙන් යුක්ත බැවින් මේවාද යොදා ගනු ලැබේ. 

ප්‍රභේද 

රාජ ජම්බු, නදිජ ජම්බු, ක්ෂුද්‍ර ජම්බු, ගුමි ජම්බු 

උද්භිද විද්‍යාත්මක නාමය :–Syzygium Cumini   ය.

සංස්කෘත නාමය :– ජම්බු 

හින්දි නාමය :– ජමන් 

දෙමළ නාමය :– නවල් 

පර්යාය නාම :– රාජ ජම්බු, රාජවල, මාදම්, මහදන් 

කුලය :– Myrtaceae 

රස :– කෂාය ,අම්ල ,මධුර 

ගුණ :– ලාසු, රූක්ෂ

වීර්ය :– ශීත 

විපාක :– මධුර, අම්ල 

වැවෙන රටවල් 

ශ්‍රීලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව, චීනය, ඕස්ට්‍රේලියාව, අපි‍්‍රකානු රටවල්, වියට්නාමය රටවලට ව්‍යාප්ත වී ඇත. 

ශ්‍රී ලංකාවේදී , බිබිල, කතරගම, බලංගොඩ, පැල්මඬුල්ල, අනුරාධපුරය, කුරුණෑගල, දඹුල්ල, ගලෙන්බිදුණුවැව ආදී ප්‍රදේශවල ස්වභාවික වනාන්තරවල හමුවේ. පේරාදෙණිය උද්‍යානයෙහි ඔසු උයන්වලදීත් සජීවීව දැක බලා ගත හැකිය. 

කඵ හා පිත සමනය කරන ඔසුවක් ලෙස සැලකේ. රුධිරයේ සීනි පාලනය සඳහා මාදං පොතු තම්බා සාදන පානය ගුණදායකය. මාදං ඇට චූර්ණය කෝපි මෙන් සකස් කර පානය කිරීම ද දියවැඩියාවට ප්‍රතිකාරයකි. 

මෙම ශාක වර්ගීකරණයට අනුව ශාක විශේෂ 1100 ක් පමණ ඇත. ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්තිය අනුව මෙම ගස් මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ දක්වා වූ උස් බිම්වල වැඩේ. ඉහළ ඖෂධීය වටිනාකමක් ඇති ශාකයක් ලෙසින් මාදංවලට ඉහළ ප්‍රමුඛත්වයක් හිමි වේ. සාමාන්‍යයෙන් උස මීටර් 15 ක් පමණ උස අපිළිවෙළට අතු විහිදුණු ගසක් වේ. 

ක්‍රමානුකූලව පොතු ගැලවී ගිය ගස රත් පැහැයක් ගනී. වාතයේ ඇති ඔක්සිජන් සමඟ ක්‍රියාකර රතට හුරු දුඹුරු පැහැයට හැරේ. ගෙඩි හටගත් පසුව මාදං ගස අලංකාරව දිස්වේ. ගසකට වසර 150 පමණ නොනැසී පැවතිය හැකිය. මාදං ගසේ හටගන්නා දළු ළා කොළ පාටය. පසුව තද කොළ පැහැයට පත්වේ. තරමක් දිගැති පත්‍ර ඕවලාකාර හැඩයක් ගනී. පත්‍රවල අග කෙළවර තරමක් උල්ය. මාදං ගස්වල හටගන්නා මල් සුදු පාටය. සාමාන්‍යයෙන් මාර්තු හා අපේ‍්‍රල් මාසවලදී මල් හටගනී. මල් පරාගනය වී ඵල හටගනී. ඉඳුණු ගෙඩි කළු දම් පැහැයෙන් දක්නට පුළුවන. ඉඳුණු ඵල සිනිඳුය. මාංශලය. එක ගෙඩියක ඇත්තේ එක බීජයකි. 

අතීතයේ හින්දු කෝවිල් බිම්වල ක්‍රිෂ්ණා දෙවිඳුන් පිදීම වෙනුවෙන් මාදං ගස සිටුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ ගස් යට දේව ඇදිහිලි ක්‍රම ඉතා සාර්ථකව දැකීමට පුළුවන. මාදංගස සෞභාග්‍යය ළඟාකර දෙන ගසක් ලෙසත් කෝවිල්වලට දේව ශක්තිය ලැබෙන ගසක් ලෙසත් ප්‍රකටය. හිමාලයේ සිට දකුණූ ඉන්දියාව දක්වා පූජනීය ස්ථානවල බහුලව දක්නට ලැබේ. 

මාදංවල ගෙඩි ග්‍රෑම් 100 අඩංගු පෝෂණීය අගයන් දළ වශයෙන් පහත දැක්වේ. 

ශක්තිය කැලරි = 251.00

ජලය ග්‍රෑම් = 84.00

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් = 13.00

මේදය ග්‍රෑම් = 0.23

ප්‍රෝටීන් ග්‍රෑම් = 1.0

දැල් තන්තු  ග්‍රෑම් = 0.6 

විටමින් සී. 

විටමින් ඕ-6 

  

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.