ඔසු ගුණ සපිරි රන්කිරිගොකටු

සැප්තැම්බර් 4, 2020

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හා දේශීය වෛද්‍ය ක්‍රමයේ විවිධ වු ඖෂධ යෝගයන් සඳහා යොදනු ලබන ද්‍රව්‍යයක් වශයෙන් ‘රන්කිරිගොකටු’ හැඳීන්විය හැකිය. ලේ පිරිසිදු කරන ගුණයෙන් යුතු බැවින් සමේ රෝග සඳහා හිතකාරි ඖෂධ ද්‍රව්‍යයක් වන මෙය සන්ධිවාත රෝග,ක්‍රිමිරෝග,මුත්‍රා රෝග ආදි වූ රෝග රාශියකට ප්‍රයෝග කරනු ලබයි.

මෙහිදී රන්කිරිගොකටු යනුවෙන් අරුත් දක්වන්නේ රන්වන් කිරි සහිත ගොකටු විශේෂයක් බව දක්වා ඇත. තවද ‘ස්වර්ණක්‍ෂීර’ යන සංස්කෘත නාමයෙන් කියවෙන්නේ ද මෙම අරුතමය. එසේම මෙහි ඇති කිරිවල පවතින රන්වන් පැහැය දැක්වීම සඳහා යෙදෙන පර්යාය නාමයන් වන ස්වර්ණ, හේම, කනක, කංචන ආදී වූ විශේෂණ පද සහිතව පර්යාය නාමයන් යෙදී ඇත. බොහෝ රටවල විවිධ ඖෂධ යෝග සඳහා රන්කිරි ගොකටු යෙදෙන අතර, මෙහි මල්වල මත් බව ඇතිකරන රසායනික ද්‍රව්‍ය අඩංගු වන බවට මතයක් ද වේ. මෙය අඩංගු වන්නේ ද අබිං අඩංගු වන පොපි හෙවත් අභිඵෙන කුලයටයි.

රන්කිරි ගොකටු වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන් : නිවර්තන ඇමරිකාව නිජබිම වන මෙම ශාකය ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව, පීජි, දකුණු අප්‍රිකාව, කෙන්යාව ආදි රටවල හොඳීන් වැවේ. ඉන්දියාවේ සියලුම ප්‍රදේශවල වැවෙන අතර, බිහාරයේ ගංගානම් ගඟ ආදී ගංගා නිම්නවල බහුලය.

දේශීය වශයෙන් : ශ්‍රී ලංකාවේ මීටර් 1500 දක්වා ප්‍රදේශවල වැවෙන අතර, සාගර කලාපය ආශ්‍රිත ප්‍රදේශවල සහ මුඩුබිම්වල සිසිල් දේශගුණයක් යටතේ සරුවට වැඩෙන ශාකයකි. මුහුදුබඩ දුම්රිය මාර්ගය දෙපස සමහර තැන්වල දැකිය හැකිය.

රන්කිරි ගොකටු ශාකය පිළිබඳව

විවිධ භාෂාවලින් හඳුන්වන නම්

පොදු සිංහල නාමය : රන්කිරිගොකටු, කොතටිය, ගොකටු ආදිය වන අතර

සංස්කෘත බසින් : ස්වර්ණක්‍ෂීර , කනකක්‍ෂීර, හේමදුග්ඩි, හේමාහ්ව, හේමක්‍ෂීරි, කටුපර්ණී පීතදුන්ධා, කංචන ක්‍ෂීරි ආදි නාමයන් රාශියක් වේ.

හින්දි බසින් : සත්‍යානාශීවන අතර

වංග බසින් : ශියාල්කංටා නම් වේ.

දෙමළ බසින් : කුඩියෝට්ටි, පොන්නුම් මට්ටායි, යන නාමයන් යෙදේ.

ඉංග්‍රීසි බසින් : Mexican poppy නම් වේ-

රන්කිරි ගොකටු වල උද්භිද විද්‍යාත්මක නාමය :Arrgemone Mexicana.L, වන අතර කුලය : PAPAVERACEAE හෙවත් අභිඵෙන කුලය වේ-

රන්කිරිගොකටුවල ස්වරූපය :

මෙය සෙ.මි.- 60 - 120 ත් පමණ උසට වැඩෙන පැළෑටියකි. බහු වාර්ෂික ශාකයකි. සිත් ඇදගන්නා සුළු ඉතා අලංකාරවත් ශාකයක් වන මෙහි ශාකය පුරාම කටු දක්නට ලැබේ. මෙහි ශාක කඳ අළුපැහැයට හුරු කොළ පැහැතිය. ඍජුව වැඩෙන ශාක කඳ සෙ.මි. 6 - 7 පමණ වන ප්‍රමාණයකින් හෝ සෙ.මී.- 1 - 2 පමණ විෂ්කම්භයකින් යුතුය. මෙම ගසේ පොත්ත සිදුරු කළ විට පිටතට ගලන කිරි රන්වන් පැහැතිය. එනිසා මෙයට ස්වර්ණ ක්‍ෂීර යන සංස්කෘත නාමය ලැබී ඇත. මෙහි පත්‍ර සරල වන අතර දිගැතිය. පත්‍ර මණ්ඩිකාවලට බෙදී ඇත්තේ දැති සහිතවය. පත්‍ර මත ඇති නාරටි සුදු පැහැතිය. මෙම ශාකයේ හට ගනු ලබන මල් තද කහ පැහැති වන අතර සාමාන්‍යයෙන් මල් හටගැනීම ජූනි සහ අගෝස්තු මාස වල සිදුවන අතර, බීජ මේරීම ජූලි හා සැප්තැම්බර් අතර සිදු වේ. මෙම ශාකයේ හටගන්නා ඵල මෝරනවිට දුඹුරු පැහැයට හැරේ.ඵලයක් කාමර පහකට බෙදී පවතින අතර කේතුවක පෙනුමෙන් යුතුය. මෙම ඵල මත තියුණු කටු ඇති අතර ඵල තුළ කළු පැහැ බීජ පවතී.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.