ඔසු ගුණයෙන් හා පෝෂණ ගුණයෙන් පිරිපුන් කොක්මොට

සැප්තැම්බර් 18, 2020

ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ද වැදගත් වන ශාකයක් ලෙස ‘කොක්මොට’ හැඳීන්විය හැකිය. ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් ලෙස හඳුන්වනු ලබන මෙම ශාකය රතු දත්ත පොතට අනුව වඳවීමේ තර්ජනයට බඳුන් වූ ශාකයකි. දැනට මෙම ශාකය වඳවීමේ තර්ජනයට භාජනය වී ඇත්තේ බොහෝදෙනා මෙය වල් පැළෑටියක් ලෙස සලකා වල් නාශක යොදා විනාශ කරනු ලබන හෙයිනි. මෙහි ඇති ඖෂධීය හා ආහාරමය වටිනාකම පිළිබඳව අවබෝධ කරලීමෙන් මෙම විනාශය බොහෝ දුරට වළක්වාගත හැකිය.

 

කොක්මොට ඖෂධිය වශයෙන් බොහෝ සෙයින් වැදගත් වනුයේ දේශීය වෛද්‍ය ක්‍රමයේදීය. අතීතයේ සිටම පාරම්පරික වෛද්‍යවරුන් විවිධ ඖෂධ යෝග සඳහා කොක්මොට භාවිතා කර ඇත.

කොක්මොට වැවෙන ප්‍රදේශ

ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් ලෙස සැලකේ.

ආසියානු කලාපයට අයත් නිවර්තන දේශගුණයක් සහිත ප්‍රදේශවල බහුල වශයෙන් දැකිය හැක. ඒ අනුව ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, මැලේසියාව සහ ශ්‍රී ලංකාවේ හොඳීන් වැවේ.

මීටර් 2000 - 2500 ක් දක්වා පමණ උස් වූ දියමුසු බිම්වල විශේෂයෙන් වගුරු සහිත තෘණබිම් ආශ්‍රිතව ද වැව් සහ අගල් ඇළ මාර්ග දෙපස ද දක්නට හැක.

කඳුකර ප්‍රදේශයේ විශේෂයෙන් මහනුවර, රත්නපුර, නුවරඑළිය, හෝර්ටන්තැන්න, අඹේවෙල, ඔහිය, කඳපොළ ආදී  ප්‍රදේශවල දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ කුඹුරුවල දැකිය හැකිය.

කොක්මොට පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නම් :-

සිංහල භාෂාවෙන් : කොක්මොට වන අතර

කොක්මොටවල උද්භිද විද්‍යාත්මක නාමය : Eriocaulon ceylanicum kornicke වෙයි.

කුලය: ERIOCAULACEAE 

කොක්මොට පැළෑටියේ ස්වරූපය :

දිය මිශ්‍ර බිම්වල වැවෙන කූඩා පැළැටි විශේෂයක් වන කොක්මොට ඒක බීජ පත්‍රී ශාකයකි. කෙටි කඳක් සහිත බහුවාර්ෂික ශාකයකි. මෙම ගසේ කඳේ විශ්කම්භය සෙ.මී. 2 ක් හෝ ඊට අඩු වේ. මෙම ශාකයේ හට ගනු ලබන කොළ පැතලිය. ඒවා දිගින් සෙ.මී. 15 - 45 ක් පමණ ද, පළලින් සෙ.මී. 1 -15 පමණ ද වේ. මෙම කොළ ක්‍රමයෙන් සිහින් වී අගින් උල් වු ස්වරූපයක් ගනු ලබයි. මෙම කොළ දම් පැහැති කොළ පැහැයෙන් යුක්තය. මෙම කොළ හතරක් පහක් පමණ වූ පඳුරු ආකාරය දක්නට ලැබෙන අතර කෙන්දක් ලෙස ඉහළට නැඟුණු කීලයක අග සුදු පැහැති පබලුවක් මෙන් ආකාරයේ මලක් පිපී තිබෙනු දැකිය හැක. පඳුරු ආකාරයෙන් මෙසේ මල් පිපී ඇති විට කුඹුරු සුදු පැහැයෙන් බබළයි. ගසේ මුල රතු පැහැ ගනියි. කුඩා මුල් වටේට විහිදෙයි. පායන කාලයට වුව ද මෙම පැළෑටි ඔරොත්තු දෙයි. මේවා කුඹුරුවල විශාල ලෙස පැතිරීම ගොයම්වලට අහිතකර වේ.

ව්‍යවහාර අංග 

සම්පූර්ණ පැළෑටියම ගනු ලබයි.

ත ප්‍රභේද :-

මෙහි ප්‍රභේද 2 කි.

1. කොළ මදක් විශාල වර්ගය

2. කොළ කුඩා වර්ගය

කොක්මොටවල ඖෂධීය ගුණ කර්ම :-

මෙය,

රසයෙන් :- කටුක හා තිත්ත වන අතර

ගුණයෙන් :- ලඝු හා රූක්‍ෂ වේ.

ත වීර්යයෙන් :- ශීත වන අතර

ත විපාකයෙන් :- කටුක වේ.

දෝෂ අනුව සැලකීමේදී 

මෙහි ඇති කටුක සහ තිත්ත රස නිසා සෙම සමනය වන අතර,

ශීත වීර්ය නිසා පිත් සමනය වෙයි.

ප්‍රධාන කර්ම

කොක්මොටවල ඇති ගුණ අතර ඉදිමුම් නසන ගුණය ද, ලේ වඩන ගුණයද, දැවිලි නසන ගුණය ද, පණුවන් නසන ගුණය ද, අක්මා රෝග නසන ගුණය ද වේ.

යෙදෙන රෝග අවස්ථා 

අක්මාරෝග , පිලාව, ඉදිමීම, සෙංගමාලය, මූත්‍ර දැවිල්ල, ශ්වේත ප්‍රදරය (සුදයාම) , ශරීරයේ උෂ්ණය අධික බව, පාණ්ඩුව, රත්පිත, පිපාසා, දැවිලි, වාත රෝග, උන්මාද, අපස්මාරය (මීමැස්මොරය) ප්‍රමේහ, අතුල් පතුල් දැවිලි සහ කාන්තා රෝග ආදියට කොක්මොට අඩංගු ඖෂධ යොදනු ලබයි.

විශේෂයෙන් ඖෂධීය කෂාය වර්ග සහ කැඳ සකස් කිරීම සඳහා කොක්මොට ශාකය උපයෝගී වේ.

කොක්මොට අඩංගු ඖෂධ යෝග :-

ප්‍රමේහ රෝග හා ලිංගික දුබලතා සඳහා :- කොක් මොට කැඳ ඉතා ගුණදායකය.

සෙංගමාල රෝගයට :- කොක්මොට කැඳ යෝග්‍ය වේ.

පාණ්ඩුවට : කොක්මොට කැඳ හීනටි හාලෙන් සාදා බීම ගුණදායක ය.

කුඩා දරුවන්ගේ කුරුමිණි මාන්දමට :- කොක්මොට කැඳ ගුණදායකය

කුෂ්ඨ, දද ආදිය නිසා ඇතිවන දැවිල්ල

කොක්මොට තැම්බූ ජලයෙන් සේදීම ගුණදායක වන අතර, කොක්මොට යුෂ වෙනත් ඖෂධීය යුෂ සමඟ මිශ්‍රකර ආලේප කිරීම ද ඉතා ගුණදායකය.

තවද වාත රෝග සහ හිසේ ආබාධ සඳහා ගනු ලබන පාරම්පරික ඖෂධ යෝගවල එක් උපාදනයක් වනුයේ ද කොක්මොට යි.

මේ අතර අක්මාව හා ප්ලීහාව ඉදිමීම, කහ උණ සහ අධිකව මත්පැන් බොන අයට කොක්මොට කෂාය සහ කැඳ ඉතා ගුණදායකය.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.