ගොපලු ගුලියේ එන අගනා ඔසුව කෝන්තාලම් හෙවත් මූදු දෙළුම්

ඔක්තෝබර් 23, 2020

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මෙරට ප්‍රචලිත වීමට පෙර සිටම අප රටටම ආවේණික වූ ඉතා සාර්ථක වෛද්‍ය ක්‍රමයක් මෙරට පැවතුණි. රාවණා රජු සමයේ පටන් ඉතා දියුණු වෛද්‍ය ක්‍රමයක් මෙරටේ පැවති බවට සාක්ෂි ඕනෑතරම් පෙන්විය හැක. රාවණා රජු මෙන්ම බුද්ධදාස රජු ද ඉතා විශිෂ්ඨ වෛද්‍යවරු වූහ. එසේම කපුරුනාද වැනි ඉතා දක්ෂ විෂ වෛද්‍යවරු ද මෙරටේ සිටි බව පත පොතේ සඳහන් වේ.

කැඩුම් බිඳුම් වෙදකම, විෂ වෙදකම, ගෙඩිවන, පිළිකා වෙදකම, උමතුරෝග වෙදකම, ඇස් වෙදකම ඇතුළු රෝගාබාධ රාශියකට විශිෂ්ඨ ගුණ ලබා දෙන වෙදකම් රාශියකින් පිරිපුන් දේශීය වෛද්‍ය ක්‍රමයක් අතීතයේ පටන්ම පැවත එයි. මෙවන් අති විශිෂ්ඨ වෛද්‍ය ක්‍රමයක් වූ දේශීය වෛද්‍ය ක්‍රමයේ යෙදුණු වෛද්‍යවරුන් රාශියක් සෑම පළාතකම සිටි අතර, වර්තමානයේ ද එවන් වෛද්‍යවරු රාශියක් දක්නට ලැබේ. මෙම දේශීය වෛද්‍ය ක්‍රමයට ආවේණික ඖෂධ යෝග රාශියක් ද දක්නට ලැබෙන අතර ඒවා සඳහා විශේෂ වූ ඖෂධීය ශාකයන් ද විය.

දේශීය වෛද්‍ය ක්‍රමයේ විශිෂ්ට ගුණ පෙන්වන එවන් ඖෂධ යෝගයක් ලෙස “ගොපලු ගුලිය” හැඳින්විය හැකි අතර, ඒ සඳහා යොදා ගනු ලබන ප්‍රධාන ඖෂධාංග ලබාගත්තේ “කෝන්තාලම්’ නම් ශාකයෙනි. මෙම කෝන්තාලම් ශාකය දැනට ඉතා කලාතුරකින් දක්නට ලැබෙන ශාකයක් වන අතර මුහුදු බඩව බහුල ලෙස තිබෙන්නට ඇති බව සිතිය හැක. එසේ වුවද දැනට දක්නට ඇත්තේ එකක් හෝ දෙකක් පමණය.

වැවෙන ප්‍රදේශ

මෙය මුහුදු වෙරළ අසබඩ වැවෙන ශාකයකි. දැනට ගාල්ල ,උණවටුන වැල්ලේ දේවාලය අසළ ගසක් දක්නට ලැබේ. එසේම ගාල්ල, මාතර මහා මාර්ගයේ උණවටුන දලවැල්ල ප්‍රදේශයේ ශාන්ති නිවාඩු නිකේතනය පිහිටි ස්ථානයේ ද කෝන්තාලම් ගසක් ඇති අතර, එය අවුරුදු 200 කට වඩා පැරණි යැයි පැවසේ. දැනට එහි ඇත්තේ වට ප්‍රමාණය සෙ.මී.120 ක් පමණ විශාල ගසක කපාපු මුල කොටසින් පැළ වූ එකක් වේ. වට සෙ.මී. 45 ක් පමණ ද උසින් මීටර් 6 ක් පමණ ද වන ගසකි.

මෙයට අමතරව සීනිගම දේවාලය ළඟ ගසක් තිබී ඇති අතර එය දැනට දක්නට නැති බව පවසයි. එසේම මාතර පල්ලිමුල්ලේ ද ගසක් ඇතැයි කියතත් එය හරි හැටි නිශ්චිත නැත.

ස්වරූපය

මෙය ඉතා ලොකුවට වැවෙන ගසකි. මීටර් 4-12 පමණ උස වන ගසකි. කඳ විශාලය. රළු ගතියෙන් යුතුයි. මුල් ඉතා ලොකුයි. එම මුල් මුහුද දෙසට ගමන් කරයි. මෙහි පත්‍ර මනහර කොළ පැහැ ගනු ලබන අතර කොළ ඉතා ගහණව ඇත. මල් කුඩා සහ සිනිඳුය. ගෙඩි ගොඩපර. ගෙඩි පමණ වෙයි. නිල් පාටයි. එය ඇතුළේ කෙඳි සහිත කෝෂ 3 කි. මෙම කෝෂවල ලොකු මද 3 ක් වේ. කපා පෙති කර එළකිරෙන් තම්බා වේලා චූර්ණ කර ඖෂධ සඳහා ගනු ලබයි.

මදය ඉතා තද තික්ත රසයෙන් යුතුයි. මෙය කඩොලාන ශාකයකි.

කෝන්තාලම් සඳහා විවිධ භාෂාවලින් යෙදෙන නාම

පොදු සිංහල නාම – ගොපලු සමුදුරු, කෝන්තාලම්. කඩුල්ගහ, මූදු දෙළුම් ආදී නාම වෙයි.

දෙමල බසින් – කන්දලන් නම් වේ.

වංග බසින් – පුසුර යන නාමය වේ.

කෝන්තාලම් වල උද්භිද විද්‍යාත්මක නාමය - (ඬධඵබඥත) ර්චඡඡ යන අතර කුලය ර්ඥතඪචජඥචඥ හෙවත් නිම්බි කුලය වෙයි.

මේ ආදි නාමයන් කෝන්තාලම් සඳහා විවිධ භාෂාවලින් යෙදෙතත් ඒ සඳහා සංස්කෘත නාමයක් දක්නට නැත. එනිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙම ශාකයේ උපයෝගීතාවය නිශ්චය කළ නොහැක.

කෝන්තාලම්වල ඖෂධ සඳහා ගනු ලබන අංග

කෝන්තාලම් ගෙඩියේ මදය සහ පොත්ත ඖෂධ සඳහා යොදා ගනී

ඖෂධීය ගුණ කර්ම

මෙහි ගුණකර්ම සහ දෝෂකර්ම පිළිබඳව විස්තර දක්වා නොමැති අතර ප්‍රධාන ක්‍රියා ගැන ද සඳහන් කර නොමැත.

මේ අතර කෝන්තාලම් ගෙඩියේ මදයෙන් සකස් කළ ගොපලු ගුලිය බොහෝ රෝගාබාධයන් සඳහා විවිධ අනුපාතවලින් යොදනු ලබන බව දක්නට ලැබේ.

මෙහිදී උණ ප්‍රධාන රෝග රාශියකටද , වකුගඩු ආශි‍්‍රත රෝග , සංක්‍රාමික රෝග, විසර්ප , සරම්ප, පැපොල, කම්මුල්ගාය, ආමාශ ප්‍රදාහය. රක්ත දෝෂවලින් හටගත් තුවාල, අර්ශස් සහ එහි දැවිලි රක්ත අතීසාරය, රක්ත ප්‍රදරය, මධුමේහය, වස විෂ කැවීම ආදී රෝග රාශියකට ගොපලු ගුලිය යොදනු ලබයි.

ප්‍රතිශ්‍යාවට

ගොපලු ගුලිය කොත්තමල්ලි තැම්බූ වතුරින් දෙනු ලබයි.

වේදනා ආදියට – නික කොළ යුෂින් ගොපලු ගුලිය දෙයි. වාත රෝග සඳහා , ගොපලු ගුලිය නිකමුල් තැම්බූ වතුරින් දෙයි.

උදරාබාධ සඳහා දෙහි ඇඹුල් යුෂයෙන් ගොපලු ගුලිය දෙනු ලබයි

විෂ සඳහා – සුදුහඳුන් ගලගා තැඹිලි වතුරට මිශ්‍රකර දෙහි ඇඹුලින් ගලගා පිට ගායි.

මත් විෂට – ගොපලු ගුලිය කොත්තමල්ලි තැම්බූ වතුරින් දෙනු ලබයි

මේ ආදි වශයෙන් රෝගාබාධ රාශියකට ගොපලු ගුලිය යොදනු ලබන බව පෙනේ.

 

දේශීය චිකිත්සාවේ එන විශිෂ්ඨ ඖෂධයක් වන කෝන්තාලම් මද අඩංගු ගොපලු ගුලියේ වට්ටෝරුව මෙසේ දැක්විය හැක.

 

තිපල තිකුළු තිවග ඉවද අසමොද වදකස සමගින

නිමල අබද මේකුළු සහ දෙදුරු ලඝුනු කොට්ටම ගෙන

ලකල කෙළිඳ ඇට මෙම සැම බරට වලඟසාල් රැගෙන

සියල මෙකී බරට කිරෙන් තම්බාගත් සමුදුරු ගෙන

 

නැවත සියලු සුනුකර ගෙන දියර නුමුසු නික යුසයෙන

සමන පොරණ ඇදුරු සිරිත විලස තෙදින අඹරා ගෙන

වමත නොගෙන සුරතින් තම ගුලි කර රට මුගු ඇට මෙන

නියත පවන වියග සෑම ලෙඩටම දෙනු ඇඳුරු බසින

 

උණට පිතට කිපුනු සෙමට දීපන් කොතඹුරු වතුරෙන

වසට සඳුන් ගලගා ඉන් දීපන් කසපන් යොදමින

විසට සියලු දෙහි ඇඹුලෙන් ගාපන් නිසිතැන දැනගෙන

මතට සියලු කොරඹුරු ඈ දීපන් අලකැරෙන් යුසෙන

 

මෙම ගොපලු ගුලි වට්ටෝරුවේ එන සමුදුරු නාමය කෝන්තාලම්වලට යෙදේ.

මේ අනුව පැහැදිලි වනුයේ ‘කෝන්තාලම්’ යනු අති විශිෂ්ඨ ඖෂධීය ශාකයක් බවයි.

එසේ වුවද මෙම ශාකයේ ඇති දුර්ලභ බව නිසා මෙමඟින් සාදනු ලබන විශිෂ්ඨ ඔසුව වන ‘ගොපලු ගුලිය’ සෑදීමේ දුෂ්කරතා මතුව ඇත. එනිසා මෙවන් වටිනා ඖෂධීය ශාක වඳවී යාමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ ආයුර්වේද දෙපාර්තමේන්තුව හා දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය පතන ඔබ සැමගේ යුතුකමක් හා වගකීමකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.