ශාරීරික ශක්තිය මෙන්ම ධාතු ශක්තිය පෝෂණය කරන ශාකමය ආහාර

නොවැම්බර් 27, 2020

අප එදිනෙදා ආහාරයට ගනු ලබන එළවළු, පලතුරු, ධාන්‍ය, කුළුබඩු, පළාවර්ග මෙන්ම අල වර්ග ආදී ආහාර බොහොමයක අපේ ශරීර ශක්තිය හා ධාතු ශක්තිය වඩන පෝෂණ කොටස් බොහොමයක් ම ඇත.

ඒවා එක් එක් ආහාර වේලට නිසි අයුරින් සකස්කොට ආහාරයට ගැනීම වැදගත් වේ. එදිනෙදා ආහාරය සඳහා එළවළු, කොළ, පළා වර්ග, ධාන්‍ය වර්ග හා කුළුබඩු සූදානම් කර ගැනීමේ දී ඒවායෙහි පවතින නිසි විටමින් හා පෝෂණය රඳවා ගැනීම සඳහා බොහෝ වේලාවක් සේදීමෙන් වැඩි වේලාවක් තැම්බීමෙන් හා අධික මිරිස් තුනපහ යෙදීමෙන් වැළකිය යුතු ය. තම්බාගත් නිවුඩු සහලේ බත් පෝෂණ ගුණයෙන් ඉහළ ය. වැඩි වාර ගණනක් නෑඹිලියේ දමා සේදීමෙන් එහි ඇති පෝෂ්‍යගුණය ඉවත් වේ. සහල්වලට වැඩිපුර ජලය යොදා ඉතිරියෑමට සැළැස්වීමෙනුත් බත් ඕනෑවට වඩා තැම්බීමෙනුත් ගුණාත්මක භාවය නැතිව යයි. බතට ලුණුවතුර හා සීනි මිශ්‍ර කිරීම එතරම් සුදුසු ක්‍රියාවක් නොවේ. අල වර්ග තැම්බීමේ දී ඒවායෙහි පොත්ත ඉවත් නොකර තම්බා ගැනීමෙන් එහි ඇති පෝෂණ ගුණය රැකගත හැකි ය.

එළවළු වර්ග පිසීමට සූදානම් කර ගැනීමේ දී ඒවා වැඩිපුර සේදීමෙන් වැළකිය යුතු ය. එළවළු වර්ග කුඩාවට කපාගැනීමෙනුත් හා නිතර නිතර සේදීමෙන් ගුණාත්මක භාවය හීන වේ. පොළොස් තම්බන විට ද ලොකු කෑලි කපා තම්බා පසුවට කුඩාවට කැපීමෙන් එහි පෝෂණ ගුණය රැකගත හැකි ය. ධාන්‍යවර්ග තැම්බීමේ දී පවා වතුර වැඩිපුර දමා වතුර පෙරා යැවීමෙන් එහි ඇති ගුණාත්මක භාවය අඩු වේ. මස් මාළු, කරවල පවා ලොකු කෑලිවලට කපා සෝදා කුඩා කෑලිවලට කපා ගැනීමෙන් එහි ඇති පෝෂණය ආරක්ෂා කර ගත හැකි ය. හාල් මැස්සන්, කරවල බොහෝ වේලාවක් දියේ දමා තිබී අතුල්ලා සේදීමෙන් එහි ඇති පෝෂ්‍ය පදාර්ථ ඉවත් වේ. එළවළු හා මස් මාංශ කරවල පිසින විට තෙල් යොදා පිසීමෙන් හා තෙම්පරාදු කිරීම සීමා කළ යුතු ය. එයට හේතුව ඒවායෙහි ගුණාත්මක භාවය නැති වී යනවා මෙන්ම පිත්තාශයේ ගල් ඇතිවීමට ප්‍රධානම හේතුව තෙල් අධික කෑම බහුල ලෙස ආහාරයට ගැනීමයි.

ශරීර ශක්තිය මෙන්ම ධාතු ශක්තිය වර්ධනය වන ශාක ආහාර බොහොමයක් අතරින් එළවළු, තුඹ කරවිල, බණ්ඩක්කා, තිබ්බටු, වම්බටු, ලීක්ස්, කරවිල, මුරුංගා, කොස්, දඹල, වට්ටක්කාවල ඇති කාබොහයිඩ්‍රේට් වල ඇති දුෂ් ස්‍රාවිකව නිසා සිරුරට එක්වන සීනි ප්‍රමාණය අඩු කරයි. බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් ලිංගික ආශාව වැඩි කරයි. සමද සිනිඳු වේ. බණ්ඩක්කාවල ග්‍රෑම් සියයක ඇති පෝෂණ ගුණය සළකා බැලීමේ දී ශක්තිය 35 වන අතර, ප්‍රෝටීන් ග්‍රෑම් 1.9 ද මේදය ග්‍රෑම් 0.2 ද කැල්සියම් මිලිග්‍රෑම් 66 ද, පොස්පරස් මිලිග්‍රෑම්56 ද යකඩ මිලිග්‍රෑම් 1.5 ද විටමින් සී 13 ද අන්තර්ගතව ඇත. පෝෂණ ගුණයෙන් සපිරි දිය ලබු මධුර හා ස්නින්ධ නිසා ශුක්‍ර වර්ධක ගුණයක් පවතී. දියලබු ග්‍රෑම් සියයක අඩංගු පෝෂ්‍ය ගුණය ශක්තිය කැලරි 12 ද ප්‍රෝටීන් ග්‍රෑම් 0.2 ද කැල්සියම් මිලි ග්‍රෑම් 20 ද යකඩ මිලිග්‍රෑම් 7 ද විටමින් සී මිලිග්‍රෑම් 20 ද කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 2.5 ද ඇත. නිවිති උෂ්ණාධික ශරීරවලට ගුණවත් වේ. ඇඟ නිවන අතර මුත්‍රාබාධ නිමවයි. ලේ ධාතුව වර්ධනය කෙරෙන අතර, රක්තහීනතාවයටද හොඳ ඔසුවකි. නිවිතිවල යකඩ මිලිග්‍රෑම් දහයක් ද කැල්සියම් මිලිග්‍රෑම් හැත්තෑ තුනක් ද ඇත.

මුරුංගා කොළ කිරිහොද්ද මෙන්ම මුරුංගා කොළ මැල්ලුම ඉතා ගුණවත් ඖෂධයක් අධික රුධිර පීඩනයටත් දරුවන්ගේ අස්ථි වර්ධනයටත් මාංශ පේශි වර්ධනයටත් ඉතාම හොඳයි. විටමින් හා ඛනිජ පදාර්ථ රාශියක්ම අන්තර් ගත මුරුංගාවල විටමින් ඒ, විටමින් බී, විටමින් බී 2 විටමින් සී පදාර්ථයන් අන්තර් ගතයි. කැල්සියම් හා යකඩ ද බොහෝ ය. තන්තුවල සෙම හා වාතය අඩු කරයි. ශරීර ශක්තිය වඩන ලේ සහ ශුක්‍ර ධාතු වඩන ආහාරයකි ශරීර ශක්තිය දුර්වල අයගේ ශක්තිය ඇති කරලීමට හේතුවන කංකුං ආහාර ගැනීම යෙහෙකි. පූවාළු කෙසෙල් ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුත් පූවාළු දේහ ශක්තිය වඩවාලයි. සීනි කෙසෙල් පුරුෂ ශක්තිය ඇති කරන අතර, කුඩා දරුවන්ට ද ගුණදායක සීනි කෙසෙල් සෙම් රෝග ඇති නොකරයි. නෙල්ලි ප්‍රතිශක්ත කරන පද්ධතිය ශක්තිමත් කිරීමට, ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට සමේ ලප කැළැල් නැති කිරීමට කාන්තාවන්ට ඇතිවන ඔසප් වේදනා අඩු කිරීමටත් දියවැඩියාව, පිළිකා, අජීර්ණ ආදී රෝග සඳහා ප්‍රතිකාරවලට බෙහෙවින් නෙල්ලි යොදා ගනී. දඹල කරල්වල ප්‍රෝටීන්, යකඩ, පොටෑසියම් සහ බී කාණ්ඩයේ විටමින් ද සී විටමින් ද ඇත. දඹල කොළවල විටමින් ඒ බොහෝ ය. දඹල කොළ මැල්ලුම විටමින් ඒ අගය බෙහෙවින් සම්පූර්ණ කරයි.

වැල් පෙනෙල අතිශයින් පුරුෂ ශක්තිය වර්ධනය කරනු ලබන අතර ලිංගික දුබලතා ද නැති කරයි. එමෙන්ම ධාතු වර්ධනයට හා ස්නායු දුබලතා ද ඉවත් කරයි. වැල් පෙනෙල කොළ ද ධාතු වර්ධනයට ශුක්‍ර මේහයට කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදරයට ඉතා ගුණදායකය. හුලංකීරිය ප්‍රෝටීන් බහුල ආහාරයක් වන අතර බඩවැල ආශි‍්‍රත තුවාල සුව කිරීමේ ගුණයක් ඇත. ලේ පිටවන අර්ශස් රෝගීන්ට ද ගුණදායකය. එමෙන්ම අම්ල පිත්ත රෝගයටද ගුණදායක ඖෂධයකි. මොනරකුඩුම්බිය අක්මාවේ ක්‍රියාකාරීත්වය දියුණු කරන ශරීරගත විෂ ඉවත් කරන පළා වර්ගයකි. ශරීරයේ දැවිල්ලට ළදරු මාන්දමටද ගුණදායකය. මාන්දමට පාණ්ඩුවට අලුහම් ආදී රෝගවලටද මොනරකුඩුම්බිය ගුණාත්මක ඖෂධයකි. රණවරා වාත රක්තයට දියවැඩියාවට මුත්‍රා දැවිල්ලට සම පැහැපත්වීමට සෙම් රෝග පිත් රෝග ප්‍රමේහ රෝගවලට ගුණවත් වේ. විශේෂයෙන් ශුක්‍ර මෝචනයට ප්‍රමේහ රෝගවලට බෝ වන ඇස් රෝගවලට අජීර්ණයට මෙන්ම වමනයට කුෂ්ටයට ආදී රෝගවලට ද ගුණදායක ය.

හාතාවාරිය ශරීරයේ උෂ්ණ සමනයට සෝම රෝගයට සර්ප විෂට සිරුර පුෂ්ටිමත්වීමටත් ධාතු ශක්තිය වර්ධනය වීමට ශරීර වර්ණය ගෙන දීමට පාණ්ඩුවට ඉදිමුමට අර්ශස්වලට ධාතු දුර්වල තාවයට සුදු බිංදුමට ප්‍රමේහ රෝගවලට වාත නාශකයක් ද වන හාතාවාරිය හෘදයට හිතකර වේ. තරුණ බව රකියි. ගර්භනී මව්වරුන්ට හා කිරි දෙන මවුවරුන්ට ගුණදායක වේ. මුත්‍රා දැවිල්ලට ශරීරයේ ඇතිවන දැවිල්ලට වේදනාවට ඉතාම ගුණදායක ය. ගොටුකොළ ශරීරයට අවශ්‍ය යකඩ බහුලව පවතී. බුද්ධි වර්ධක ඖෂධයකි. ස්මරණ ශක්තිය වර්ධනය කරන මව්කිරි ශක්තියක් ඇති අර්ශස් රෝගීන්ටද ගුණවත්වන ගොටුකොළ මතක ශක්තිය ඇති කරලීමේ ප්‍රබල ගුණයක් ඇති හිසකෙස් රෝගවලට ඇස් රෝගවලට, ඇස් දැවිල්ලට ද ඉතා හොඳ ඖෂධයකි. ඇඹරැල්ලා හර්දය ශක්තිමක් කරන ශරීරගත මේදය දිය කරයි. සෙම් රෝගින්ට ගුණවත් වේ. ආහාර රුචිය ඇති කරයි.

දොඩම් හෘදයට හිතකර පලතුරකි. බඩගිනි ඇති කරයි. ශක්ති ජනක වේ. මානසික පීඩාව සන්සිඳුවයි. කැස්සට ගුණවත් වේ. ආහාර අරුචිය නැති කරයි. වෙහෙසක් පිපාසයක් දුරු කරයි. ප්‍රබෝධමත් ගතියක් ඇති කරයි. පැපොල් හෙවත් ගස්ලබු මළ බද්ධයට මහඟු ඖෂධයකි. සම අවපැහයෙන් වීම වළක්වාලයි. සමේ රැලි වැටීම මෙන්ම ආහාර ජීර්ණයේ දී ඇතිවන බාධක අවහිරතා මඟ හරවාලයි. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරේ. ඊට අමතරව රට ඉඳි කාමරංගා, දිවුල්, අඹ, දූරියන්, හීං නාරන්, අලිගැට පේර, වරකා, කොමඩු, කරවිල, මුරුංගා, වම්බටු, ලීක්ස්, වට්ටක්කා, තෙබු, නීරමුල්ලිය, කීකිරිඳිය, බතල, කංකුන්, කෝමාරිකා, කොස්, රටකජු, මුං ඇට, කවුපි, කුරක්කන් ද විටමින් ඒ සහ ඩී තිබෙන එළවළුවල සහ පලතුරුවල තිබෙන කැල්සියම් මඟින් රෝග රැසක් වළක්වාලීමේ හැකියාව පවතී. ශරීරය නිරෝගීව හා ලස්සනට තබා ගැනීමට හා ශක්තිමත් වීමට එළවළු පලතුරු හා කොළකැඳ උපකාරී වේ.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ, ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

එම්.පී. සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.