ගලගණ්ඩ සහ ගණ්ඩමාල රෝග තත්ත්වයන් නසන කොබෝලීල

දෙසැම්බර් 25, 2020

විශේෂයන් ගලගණ්ඩ, ගණ්ඩමාල ආදී රෝගයන් සඳහා විශිෂ්ට ගුණ ලබාදෙන වටිනා ඖෂධීය ශාකයක් වන කොබෝලීල ශාකයෙන් ලැබෙන ප්‍රයෝජන අති මහත් වෙයි. මෙනිසා පාරිසරික අලංකාරයට වඩා ඖෂධීය වටිනාකම ගැන සලකා කොබෝලීල ශාකය වැවීම හා ආරක්ෂාව වැදගත් වේ.

මෙම කොබෝලීල ශාකයේ හටගනු ලබන මල්වල වර්ණය අනුව ප්‍රභේද 3ක් දක්වා ඇති බව නිඝණ්ඩුකරුවෝ දක්වා ඇත. ඒවා

නම්,

රතු කොබෝලීල

සුදු කොබෝලීල

කහ කොබෝලීල යි.

මෙයින් රතු කොබෝලීල ‘ශෝණපුෂ්පක’ සහ ‘කෝවිදාර’ නමින් ද, සුදු කොබෝලීල ‘චමරික’ සහ ‘ශ්වේත කාංචනාර’ නමින්ද ,කහ කොබෝලීල තොවු පුෂ්ප හා පිත කෝවිදාර ලෙස ද හඳුන්වයි.

මෙයින් කහ කොබෝලීල වර්ගය පෙතං යනුවෙන්ද හඳුන්වනු ලබන අතර, මෙම වර්ගය ශ්‍රී ලංකාවේ දුර්ලභය.

මෙසේ කොබෝලීල විවිධ ප්‍රභේද ඇතත් ඒවා ගුණයෙන් බොහෝ සෙයින් සමාන යැයි ‘භාව මිශ්‍ර’ කියයි. එසේ වුවද රතු කොබෝලීල වර්ගය ගලගණ්ඩයට හිතකාරී නොවන බවද මතයකි.

වැවෙන ප්‍රදේශ:

විදේශීය වශයෙන් :

ගිණිකොණ දිග ආසියාව මෙහි නිජ භූමිය වන අතර ඉන්දියාව, බටහිර හිමාල ප්‍රදේශයේ සිට සීකිම් දක්වා ද මියන්මාරය, චීනය ආදී රටවල දක්නට ලැබේ.

දේශීය වශයෙන් :

ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ වල පාහේ දක්නට ඇත.

ශාකයේ ස්වරූපය :

මධ්‍යම ප්‍රමාණයේ පතනශීලී ගසක් වන මෙය ප්‍රභේද අනුව උස ප්‍රමාණය ද වෙනස්කම් සහිතය. ඍජු කඳක් ලෙස ආරම්භ වී ගසේ මුදුනින් අතු රිකිලි බෙදේ. කඳේ පොත්ත තද දුඹුරු පැහැයක් ගනු ලබන අතර, ඒකාන්තර හා හෘදයාකාරයි. පත්‍ර කෙළවර දෙකට බෙදී ඇත. මෙහි හට ගනු ලබන මල් ද්විලිංගික වන අතර, අක්‍රමවත්ය.

එසේම සුවඳින් ද යුතු අතර සුදු, රතු හෝ කහ පැහැතිය. මල් පිපීම පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වෙයි. මෙහි හටගනු ලබන ගෙඩි වල පැළෙන සුළු ගතියක් පවතී. එහි බීජ 6-15 පමණ තිබිය හැකිය.

කොබෝලීල පිළිබඳව විවිධ භාෂා වලින් හඳුන්වන පොදු නාමයන් පිළිබඳ සැලකීමේදී :

පොදු සිංහල නාමය:-

කොබෝලීල නම් වේ.

සංස්කෘත බසින්:-

කාංචනාර, කාංචනක, කාංචනාල, කෝවිදාර,ගණ්ඩාරී, යුගපත්‍රක කුංඩලී, අශ්මන්තක, ස්වල්පකේශරී අන්තක,යමලපුෂ්පක, තාමුපුෂ්ප ආදී නාමයන් රාශීයක් වෙයි.

මේ අතුරින්, කාංචනාර - කාංචනාල - රන් මෙන් බබළන යන ඇරුතින් ද කෝවිදාර - පොළොව පළන්නා යන අරුතින් ද ගණ්ඩාරී - ගණ්ඩ - මාලාවේ සතුරා යන අරුතින් ද

යුග පත්‍රක - දෙකට බෙදුණු පත්‍ර ඇති හෙයින් ද

කුංඩලී - කහ මල් කැකුළ කොඬලක හැඩය ගනු ලබන හෙයින් ද

අශ්මන්තක - පිපුණු මල චිමිනියක හැඩ ඇති නිසා ද

ස්වල්ප කේශරී - මඳවූ කේශර ඇති නිසාද යෙදෙයි.

මෙසේ සංස්කෘත බසින් අරුත් බර නාමයන් රාශියක් යෙදෙයි.

හින්දි බසින්

කාඩ්නාර් හා කනියාර් යනුවෙන් යෙදෙයි.

දෙමළ බසින්

මන්දරායි , ශෙම්මන්දරායි යන නාම යෙදේ.

වංග බසින් කොයිරාල් යනුවෙන් යෙදේ.

ඉංග්‍රීසි බසින්

Variegated Bauhinia , Bauhinia tomentosa Linn යනුවෙන් යෙදේ. මෙහි කුලය Leguminosae හෙවත් ශිම්බී කුලය වේ.

උපකුලය Caesalpinioideae වෙයි. මේ ආදී වශයෙන් විවිධ භාෂා වලින් විවිධ නාම රාශියක් කොබෝලීල ශාකය සඳහා වෙයි.

කොබෝලීල වල අඩංගු රසායනික උපාදාන පිළිබඳ සැලකීමේදී :

කොබොලීලපොතු වල Tanin ශර්කරා පදාර්ථ සහ මැලියම් අන්තර්ගතය.

ඖෂධීය ගුණකර්ම :

මෙහි කොළ, පොතු, මුල්, මල් සහ ඇටවල පොත්ත ඖෂධ සඳහා ප්‍රයෝග කරනු ලබයි.

කොබෝලීල රසයෙන් කෂාය වන අතර, ගුණයෙන් ලඝු වෙයි. වීර්‍යයෙන් ශීත වන අතර,

විපාකයෙන් කටුක වෙයි. එසේම ප්‍රභාවයෙන් ගණ්ඩමාල නාශක ගුණ ඇති කරයි.

දෝෂ අනුව සැලකීමේදී :

මෙහි ලඝු ගුණය හා කෂාය රසය ඇති නිසා සෙම ද, ශීත වීර්‍යය ඇති නිසා පිතද සමනය කරයි. සෙම් පිත් රෝග සඳහා ප්‍රයෝග කරනු ලබයි.

ව්‍යුහාගත ක්‍රියා සැලකීමේදී :

බාහිර වශයෙන්

කොබෝලීල ව්‍රණ ශෝධන ශෝථහර ව්‍රණ රෝපණ සහ ක්‍රෂ්ඨග්න ගුණ වලින් යුතු අතර මෙහි ක්වාථය ව්‍රණ සහ චර්ම රෝග වලදී සේදීම පිණිස යොදා ගනු ලබයි. කොබෝලීල

පොතු අඹරා ගණ්ඩමාලයේ ආලේප කරනු ලබයි. එසේම කොබෝලීල පොතු කෂාය මෑත්වූ ගුද නාළය පරිෂේක කිරීමට යොදා ගනියි.

අභ්‍යන්තර වශයෙන්

ආහාර පරිපචන ව්‍යුහාවේදී

මෙය කෂාය රස නිසා ස්තම්භන හා කෘමිස්න ගුණ යුතු අතර මෙහි අතිමාත්‍රා වාමන ගුණ යුතු අතර කොබෝලීල මල් මධුර රස නිසා අනුලෝමන ගුණ ඇත. මෙහි ස්තම්භන ගුණ නිසා ප්‍රවාහිතා, ගුදභ්‍රංශ රක්ත අර්ශස් සහ පක්වාතීසාර සඳහා යෙදේ. තවද වමන ද්‍රව්‍ය සමඟ සහායක වශයෙන් ද යෙදිය හැක. එසේම කොබෝලීල මල් සීනි සමඟ ලිප තබා පැසවූ මිශ්‍රණය බද්ධය සඳහා ඉතා හොඳය.

රුධිර සංසරණ ව්‍යුහාවේදී

මෙය කෂාය රස හා ශීත වීර්‍යය නිසා රක්ත ස්තම්භන ගුණ යුතු අතර රත්පිත සඳහා ප්‍රයෝග කරයි. එසේම රස ග්‍රන්ථි කෙරේ විශිෂ්ඨ ලෙස ක්‍රියා කරන නිසා අපචි ගංඩමාලා හා රස

ග්‍රන්ථි ශෝථයට හිතකාරීය.

ශ්වසන ව්‍යුහාවේදී

මෙය සෙම් නසන ගුණයෙන් යුතු නිසා කාස ආදියෙදී ප්‍රයෝග කරයි.

මුත්‍ර ව්‍යුහාවේදී

මෙහි මුත්‍ර සංගහණිය ගුණ යුක්ත නිසා ප්‍රමේහයේදී ප්‍රයෝග කරනු ලබයි.

ප්‍රජනන ව්‍යුහාවේදී

මෙය ස්තම්භන ගුණයෙන් යුක්ත නිසා රක්ත ප්‍රදරයෙහිදී යොදනු ලබන අතර ආර්තව ස්‍රාවයේ අලසතාව ඇති කරයි.

චර්ම ව්‍යුහාවේදී

මෙය කුෂ්ඨස්න ගුණයෙන් යුක්ත නිසා කුෂ්ඨ ආදියේදී ප්‍රයෝග කරයි.

එසේම කොබෝලීල වල ලේඛන හා මේදෝ මර්දන ගුණ යුතු නිසා මේදෝ රෝගයේදී ප්‍රයෝග කරයි. මේ ආදී වශයෙන් ශාරීරික ව්‍යුහා ආශ්‍රිතව ඉතා හොඳීන් ක්‍රියාකාරී ද්‍රව්‍යයක් වශයෙන් කොබෝලීල හැඳීන්විය හැකිය.

එසේම කොබෝලීල අඩංගු ඖෂධ යෝග රාශියක් විවිධ රෝග සඳහා යෙදේ. ඒ අතුරින් කිහිපයක් නම්,

අර්ශස් සඳහා

කොබෝලීල මුල් ඉතා සියුම් ලෙස චූර්ණ කර මෝරු සමඟ බීම

රත් පිතට

කොබෝලීල මල් චූර්ණය මී පැණි සමඟ ගෑම, පුෂ්ප ශාක බත් සමඟ කෑම

කුෂ්ඨ ව්‍රණ ශෝධනයට

කොබෝලීල පොතු තැම්බූ ජලයෙන් සේදීම ගණ්ඩ මාලයට

කොබෝලීල පොතු, සිද්ධි ඉඟුරු, දෙවගයේ චූර්ණය හාල්පානුවෙන් බීමට දීම, පොතු චූර්ණය හෝ කෂාය බීමට දීම, පොතු අඹරා ආලේප කිරීම.

මුඛ පාකයට

කොබෝලීල පොතු තම්බා කට සේදීම

බුද්ධි වර්ධනයට

කොබෝලීල පත්‍ර චූර්ණය ගිතෙල් සමඟ කෑම

සර්ප දෂ්ඨයට

කොබෝලීල මහිරි වරා හා කටරොළු සංයෝගය සෙවීම

බඩ පුරවා දැමීමට

කොබෝලීල මුල කෂාය කර බීමට දීම

මේ ආදී ඖෂධ ප්‍රයෝග රාශියක් කොබෝලීල සහිතව විවිධ රෝග සඳහා යෙදෙනු දක්නට ලැබේ.

කොබෝලීල වල ඖෂධීය මාත්‍රා පිළිබඳ සැලකීමේදී මුලේ පොතු රක්තිකා 6-24 දක්වා වෙයි. කොබෝලීල අඩංගු සංස්කෘතික ඖෂධ පිළිබඳ සැලකීමේදී,

1. කාංචනාර ගුග්ගුළු

මෙය ගලගණ්ඩ, ගණ්ඩමාලා යන රෝග සඳහා විශේෂ ගුණ දෙන අතර කොබෝලීල පොතු තැම්බූ වතුරින් දෙනු

ලබයි.මෙයට අමතරව චන්දනාසවය සහ උශිරාසවය ආදියේ එක් උපාදාකයක් ලෙසද කොබෝලීල පොතු ගනු ලබයි. මේ ආදී ඖෂධීය වශයෙන් ඉතා අගනා ප්‍රයෝජන ගෙන දෙන ද්‍රව්‍යයක් ලෙස කොබෝලීල ශාකය හැඳීන්විය හැක. තවද මෙයට අමතරව තවත් ප්‍රයෝජන රාශියක් කොබෝලීල වලින් ලැබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.