දරුවන්ගේ අස්ථි වර්ධනයට මාංශපේශී වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දෙන මුරුංගා කොළ මැල්ලුම

ජනවාරි 8, 2021

රෝග රැසකට ගුණ ගෙන දෙන මුරුංගා කොළ මැල්ලුම දරුවන්ගේ අස්ථි වර්ධනයට මාංශ පේශි වර්ධනයට මෙන්ම සිරුරට අවශ්‍ය ප්‍රෝටීන්ද ලබාදෙන මහඟු ඖෂධයකි. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් ,ඛනිජ, කැල්සියම් ,ෆොස්පරස් ලෝහ, තඹ, අයඩින්, කැරොටින්, නිකොටින් අම්ලද විටමින් පදාර්ථ ද රැසක්ම ලබාදෙන මුරුංගා කොළ මැල්ලුමේ ඖෂධීය ගුණ බොහෝ ය.

 

විටමින් ඒ ,විටමින් බී, විටමින් බී 2, විටමින් බී 3 හා විටමින් සී යන පදාර්ථ අන්තර්ගතවන මුරුංගා ගසේ කොළ පමණක් නොව ගසේ පංචාංගයම ඖෂධ සඳහා යොදා ගනිති. විශේෂයෙන්ම මුරුංගා කොළේ ඖෂධීය ගුණයෙන් ප්‍රයෝජනය ගන්නා අපේ ගෘහණියන් ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ පිසින වළඳට මුරුංගා කොළ මිටක් දැමීමට ද අමතක නොකරති. අප මැල්ලුමට ගන්නා මුරුංගා කොළ ග්‍රෑම් සියයක පෝෂණ ගුණය මෙසේ දක්වා ඇත. ශක්තිය කිලෝකැලරි හැට හතර ද ප්‍රෝටීන් ග්‍රෑම් නවයයි හතරක් ද ජලය ග්‍රෑම් හැත්තෑඅටයි හැටහයක් ද මැග්නීසියම් මිලිග්‍රෑම් එකසිය හතළිස් හතක්ද පොටෑසියම් මිලිග්‍රෑම් තුන්සිය තිස්හතක්ද විටමින් ඒ මයික්‍රොග්‍රෑම් තුන්සියහැට අටක් ද පොස්පරස් මිලිග්‍රෑම් එකසිය දොළහක් ද යකඩ මිලි ග්‍රෑම් හතරක් ද පවතී.

මුරුංගාකොළ ශීත ගතියෙන් යුක්තය. ඇසට ගුණවත්වන අතර වා, පිත්, සෙම් නැතිකරයි. තරකරයි. ශුක්‍ර වඩයි. රුචිකරයි.

දොඩම් ගෙඩියක ඇති විටමින් සී ප්‍රමාණය මෙන් හත් ගුණයක් මුරුංගා කොළවල ඇත. මුරුංගා කොළ පිළිකා නාශක ඖෂධයකි. විටමින් ප්‍රතිඔක්සිකාරකයක් ලෙස කටයුතු කරමින් පිළිකා මර්ධනය කරයි. එමෙන්ම පිළිකා වැළැක්වීමට ද ක්‍රියා කරයි. දරුවන්ගේ අස්ථි වර්ධනයේදී මුරුංගා මැල්ලුම දැඩි මෙහෙයක් කරයි. සමාජයේ අද කොන්දෙ අමාරු රෝගීන් වැඩිවෙලා වැඩිහිිටිවියේදී ඇතිවන ඔස්ටියෝපොරෝසිස් රෝගීන් දැන් දැන් වැඩිවෙමින් පවතිනවා වැඩිහිටි වියේදී එය ආරම්භවීම නිසා එය සුවකිරීමට යම් කලක් ගතවෙනවා. අපේ වර්තමාන සමාජය ඉන් ගලවා ගැනීමට නම් කුඩා කාලයේ සිටම හොඳ ආහාර පුරුදු ඇති කළ යුතුයි. සමබර ආහාර වේල දරුවන් එයින් මුදවාගත හැකි ප්‍රතිකර්මයක්. ඒ සඳහා මුරුංගා කොළ මැල්ලුම අනිවාර්ය කළ යුතුයි. අධික රුධිර පීඩනය කියන්නෙත් බරපතළ රෝගයක් ඒ සඳහා ඉතාම පරිස්සම් විය යුතුයි. මුරුංගා කොළ මැල්ලුම හෝ මුරුංගා කොළ ව්‍යාංජනය අධිරුධිර පීඩනය වළක්වන ඖෂධයක්. එසේ වන්නේ මුරුංගා කොළ වල තිබෙන පොටෑසියම් වලිනුයි.

අනෙකුත් ඖෂධීය ශාකවල කොළවලට වඩා ඖෂධීය ගුණයක් මුරුංගා කොළවල පවතිනවා. මුරුංගා කොළවල ඇති යකඩ ගතිය නිසා ශරීරයේ පවතින යකඩ ඌණතාවය ද මගහැරී යනවා .විෂ නැසීමේ ගුණයක් ඇති මුරුංගා වේදනානාශක ගුණයෙන් ද ඉහළයි. මුත්‍රාගල් නැසීමේ ගුණයක් ඇති මුරුංගා මුත්‍රා පිටකිරීමේදී ඇතිවන අපහසුතාව ද මගහරවයි. සෙම ප්‍රබල වූ විටද මුරුංගා ආහාරයට ගැනීමෙන් යම් සහනයක් ලබාගත හැකයි. පිත අධිකවීමෙන් හටගන්නා වූ රත්පිත් ශරීරික වේදනාවට තොල් පැලීම, කකුල්වල විලුඹ පැළීම ආදි රෝගී අවස්ථාවලදී ද මුරුංගා ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය. එහෙත් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට මුරංගා කොළ කිරිහොද්දට සාදා ආහාරයට දීම ඉතාම ගුණදායකය. කිරිදෙන මවුවරුන්ට දරුවන්ට නිසි සේ කිරි උරා බීමට සැලැස්වීම සඳහා මුරුංගා මල් එළකිරිට දමා උණුකර බීමෙන් දරුවන්ගේ අවශ්‍යතාවය සපුරා ලිය හැකිය. ආහාර රුචිකාරක ගුණයෙන් යුත් මුරුංගා ආහාරයට ගැනීමෙන් ආහාර ගැනීමේ පි‍්‍රයක් ඇති කෙරේ. බෙහෙවින් යෞවන යෞවනියන්ට මුරුංගා ආහාරයට ගැනීම සුදුසු වන්නේ මුරුංගා කොළවල ඇති ඉඡ්ඒඊධ්ව් නම් ප්‍රතිඔක්සිකාරකය තරුණ බව රැකීමට උපකාරි වන බැවිනි.

කිරිදෙන මව්වරුන්ට ඉතාම ගුණදායකවන මුරුංගා කොළ ව්‍යාංජනය හෝ මැල්ලුම කිරි වැඩි කිරීමට හේතුවක් වේ. ගර්භණී මවුවරුන් ද මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනයට උපකාරි වේ. උෂ්ණාධික ආහාරයක් ලෙස සැළකෙන මුරුංගා ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන්නන්ට එතරම් සුදුසු නැත. එමෙන්ම මුරුංගා සමඟ තක්කාලි කෑමට ගැනීම ද අහිතකරය. ශරීරයේ ලේ හිඟකම නිසා හටගන්නා නීරක්තියට ප්‍රබලතම ඖෂධයක් ලෙසට මුරුංගා හඳුනාගෙන ඇත. සමාජයේ වැඩිහිටියන් අතර බෙහෙවින් පවතින දියවැඩියාවට අධිරුධිර පීඩනයට හා හෘද රෝග වලට සුදුසු ආහාරයකි. මුරුංගා මල් වියළා කුඩුකර තේ මෙන් සකස්කර බීමෙන් දියවැඩියාවට ගුණයක් ඇති කෙරේ. මන්දපෝෂණයට ද මුරුංගා කොළ කිරි වෑංජනය ගුණදායකය. මුරුංගා කොළවල විෂ නැසීමේ ගුණයක් ද පවතී. මුරුංගා ශාකයේ පංචාංගයම ඖෂධවලට යොදාගනිති. එනම් මුල්, මල්, කොළ පොතු හා මුරුංගා කරලේ ඇට ද වේ.

ජලය පිරිසුදු කර ගැනීම සඳහා ද මුරුංගා කරලේ වියළි ඇට ප්‍රයෝජනයට ගැනීම අතීතයේ දි සිදුකරනු ලැබූ තවත් විශේෂත්වයකි. විසි වැදෑරුම් ප්‍රමේහ වාතරක්ත ප්‍රමේහ අග්නිමාන්ද්‍ය, අර්ශස් ග්‍රහණි ක්ෂය ආදී රෝගවලට දෙනු ලබන ප්‍රමේහ ගජාංකුශයට ද මුරුංගා ඇට සංයෝග කරගනී. මුරුංගා ඇට, කෝමාරිකා යුෂ, හාතාවාරිය යුෂ, කඵ උක්යුෂ අමු නෙල්ලි, කීකිරිඳිය, කිරිබදු අල යුෂ, පුහුල් යුෂ, තැඹිලිවතුර, අබිං, එළඉඹුල්, සෙන්කොට්ටම්, අසමොදගම්, වසාවාසි, වැල්මී, වලගසාල්, කලුදුරු , රතුලූනු, ගම්මිරිස්, බෝ ඇට කටුකරෝසන, කලාදුරු, ඉරමුසු, අමුක්කරා, කොහොඹපොතු ඇතුළු තවත් ඖෂධ විසිහයක් පමණ යොදා ගනියි. සියලු ශෝථවලට ආමවාතජ සන්ධි ආදි රෝග වලට දෙනු ලබන දෝසන ලේපය මුරුංගා පොතු, සාරණමුල්, දේවදාර යන ඖෂධ චූර්ණකර දියෙන් අඹරාගත යුතුවේ. සියලු වාත රෝගවලට දෙනු ලබන පක්ෂාගාත ආමවාත ආදි රෝගයන්ට විශේෂයෙන් දෙනු ලබන රාශ්නා ශික්රූක්වාථය මුරුංගා මුල්, අරත්ත අල, සාරණමුල්, අගිල්, හිඟුරුපියලි, නිකමුල්, සිවිය මුල්, බැබිල මුල්. එරඬු මුල්, සිරිතේක්කු , සුදුලූනු, සුවඳකොට්ටන් , වියළි කහ, කටුකරඬු මුල්, ඉඟුරු, රත්නෙටොල්, දසමුල දේවදාර ආදි ඖෂධයන් ගනු ලබයි. ආයුර්වේද ඖෂධ රැසකටම ගන්නා මුරුංගා පංචාංගයේ කොළ ප්‍රබල විෂනාශකයක් බැවින් ආයුර්වේදයේ රස ඖෂධවන රසදිය, ගෙන්දගම් ආදි ඖෂධ සංයෝග කරමින් සාදාගන්නා ඖෂධයන්හි පැවතිය හැකි විෂ නැසීමේ ඖෂධයක් ලෙසින් මුරුංගා කොළ භාවිත කෙරේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.