ඔසු ගුණ සපිරි සාදික්කා

ජනවාරි 8, 2021

වර්තමානයේ බොහෝ සෙයින් කතා කරනු ලබන ද්‍රව්‍යයක් ලෙස ‘සාදික්කා’ හැඳීන්විය හැකිය. කුළු බඩු විශේෂයක් ලෙස ආහාර රසවත් කිරීමටත්, අරිෂ්ඨ, ආසව, ගුලි, තෛල, චුර්ණ ආදිය සංස්කරණයේ දී නැතිවම බැරි ඖෂධ ද්‍රව්‍යයක් ලෙසත් සාදික්කා බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගනු ලබයි. එසේම බොහෝ දෙනාට නැතිවම බැරි බුලත්විට සඳහා ද මෙය යොදාගනු ලබන්නේ මුඛය සුවඳවත් කිරීම මෙන්ම දත් දිරායාම හා දත් කැක්කුම මැඬපවත්වා ගැනීමට ද එමෙන්ම ආහාර දිරවීමේ පහසුව ඇතිකරලීම සඳහා ය.

 

මෙහිදී “ජාතීඵල” යන සංස්කෘත වචනය ‘ජාතික්කා’ වී ‘සාදික්කායි’ යන ද්‍රවිඩ ව්‍යවහාරය හෙළ බසට පැමිණ ඇත්තේ සාදික්කා යනුවෙන් යයි කියති. ජාතී යනු සමන්පිච්ච වල සුගන්ධය නිසා ඇති වූ විශේෂයකි. සාදික්කා වල ඇති සුගන්ධය සමන්පිච්ච සුවඳ හා සැසඳෙන හෙයින් ඊට අයත් සමාන නාම යෙදුණු බව පෙනේ.

ඖෂධයක් මෙන්ම කුළුබඩුවක් වූ සාදික්කා මෙන්ම එහි වටා ඇති ආවරණය වන වසාවාසි ද සැබෑ නියම බුලත්විටටද නිසා අප කා අතරත් ජනප්‍රිය වූ ද්‍රව්‍යයකි. කුඩා දරුවන් සිටින නිවසක සාදික්කා ගෙඩියක් නොමැති වනුයේ කලාතුරකිනි. කුඩා දරුවන්ට ඇති වන වමන, අජීර්ණ, බඩේ වේදනා, අතීසාර මෙන්ම පණු අමාරු ආදිය පවත්නා විට බොහෝදෙනා අත් බෙහෙතක් ලෙස සාදික්කා මදය දෙහි ඇඹුලින් ගලගා පෙවීම කරනු ලබයි.

උදර ආබාධ වලදී භාවිතයට ගැනෙන ප්‍රධාන ඔසුවක් වන සාදික්කා ආහාර රසවත් කිරීමට හා සුවඳවත් කිරීමට යොදා ගනියි.

සාදික්කා වැවෙන ප්‍රදේශ:

විදේශීය වශයෙන්:- මෙහි නිජබිම මොලුක්කා වන අතර මලක්කාද්වීප, සුමාත්‍රා,සිංගප්පූරුව මෙන්ම ඉන්දියාවේ මැලබාර් සහ නීලගිරි පර්වත ආදියේ වැවෙයි.

දේශීය වශයෙන්:- ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම මධ්‍ය කඳුකර ප්‍රදේශ වල මෙන්ම සෑම තැනකම පාහේ වගා කර ඇත.

මීටර් 9-18 හෝ ඊට වඩා උස් වූ ශාකයකි.

සාදික්කා පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම: පොදු සිංහල නාමය:- සාදික්කා වන අතර

සංස්කෘත බසින්:- ජාතීඵල, ජාතී කෝෂ, මාලතී ඵල, සොමනස්‍ය ඵල , මාලතී ඵල, ආදී නාමයන් රැසක් වේ.

හින්දි බසින්:- ජායාඵල වන අතර

වංග බසින්:- ජායඵල වේ.

දෙමළ බසින්:- සාදින්නායි නම් වන අතර

ඉංග්‍රීසි බසින්:- Nutmeg වේ. නම් වේ.

සාදික්කා වල උද්භිත විද්‍යාත්මක නාමය:- Myristica Fragrans Houtt වන අතර

කුලය:- MYRISTICACEAE හෙවත් ජාතීඵල කුලය වේ.

ඹෟෂධ අංග: වියළි සාදික්කා ගෙඩියේ මද සහ ගෙඩියේ පිටින් අවරණය වී ඇති ‘වසාවාසී’නම් වෙයි.

සාදික්කා වල අඩංගු රසායනික උපාදාන: වාශ්පශීලී සංයෝග ලෙස Eugenol , Methyleugenol සහ Methylisoeugenol
 

අඩංගු වේ. Myristicin සහ Safrol  ද අඩංගුය.

මාත්‍රා :-

චූර්ණය :- රක්තිකා 5-10 දක්වා

තෛලය :- බිංදු 5-10 දක්වා

සංස්කරණ විධි:

හොඳීන් පැසුණු සාදික්කා ගෙඩිය පැලූකල මනරම් දිලිසෙන සුළු තද දුඹුරු පැහැයෙන් යුතු ඝන ආවරණය සහිත බීජය සහ එය පිටතින් ආවරණය වී පවතින වසාවාසී ඇත. වසාවාසි ගලවා හොඳීන් වියලා සුලං නොවදින අසුරන වල බහා තබා ගත යුතුය.

බීජය වියළා සුලං නොවදින අසුරණ වල බහා තබා ගත යුතුය.

සාදික්කා ප්‍රභේද:-

1. සගන්ධ - ජාතීඵල

2. නිර්ගන්ධ - රාමඵල (වල් සාදික්කා)

සාදික්කා වල ඖෂධීය ගුණ කර්‍ම:

රසයෙන් :- කටුක, තික්ත හා කෂාය රසවන අතර

ගුණයෙන් :- ලඝු, ස්නිග්ධ හා තීක්ෂණ වේ.

වීර්‍ය්‍යෙයන් :- උෂ්ණ වන අතර

විපාකයෙන් :- කටුක වේ.

දෝෂ අනුව සැලකීමේ දී:

සෙම හා වාත සමන ගුණ යුතු අතර සෙම් හා වාත රෝග සඳහා යොදා ගනු ලබයි.

ශාරීරික ව්‍යුහා ආශ්‍රිතව:

බාහිර වශයෙන් :-

ඉදිමුම් නසන, වේදනා නසන ගුණ යුතු අතර කුෂ්ඨ නසන සහ දුර්ගන්ධ නසන ගුණ යුතුවේ. උත්තේජක ගුණ පවතී.

මෙනිසා සන්ධි ඉදිමුම්, හිසේ වේදනා සහ සමේ රෝග ආදියේ දී ආලේප ලෙස යොදනු ලබයි. එසේම ශීත අවස්ථාවල මෙම තෙල සමේ ආලේපය යෝග්‍ය වේ. දුගඳ යුතු තුවාල වලදී මෙහි කුඩු ඉසීම මඟින් දුගඳ නැසෙයි. ළමයින්ට ඇතිවන ප්‍රතිශ්‍යාවට

සාදික්කා අබතෙලින් ගලගා හිසේ ආලේපය යෝග්‍ය වේ.

අභ්‍යන්තර වශයෙන්:-

ස්නායු පද්ධතියේ:

මෙය වේදනා සමන ගුණ යුතු අතර වාත සමනයද ඇති කරයි. නින්ද නොමැතිකම, වේදනා සහ ආක්ෂේප ආදී රෝග අවස්ථා වල දී ප්‍රයෝග කරයි.

ආහාර ජීර්ණ පද්ධතියේදී:

මෙහි මුඛයේ දුගඳ නසන ගුණ යුතු නිසා මුඛයට හිතකරයි. බඩගිනි ඇති කරන ගුණ යුතු බැවින් අජීර්ණ හා බඩගිනි අඩුකම නසයි. අක්මා උත්තේජක ගුණ යුතු නිසා පණු රෝග වලට හිතකරයි. එසේම අතීසාර, ග්‍රහණි රෝග සඳහා ද ප්‍රයෝග කරයි.

රුධිර සංසරණ පද්ධතියේ දී:

මෙහි උත්තේජක ගුණ පවතින අතර හදවත් රෝග සඳහා යොදා ගනු ලබයි.

ශ්වසන ව්‍යුහාවේදී:

මෙය සෙම් නසන හා සෙම් පිටකරන ගුණ යුතුයි. පීනස්, කැස්ස, හික්කා, ඇදුම ආදී රෝග සඳහා උපයෝගී කරගනු ලබයි.

ප්‍රජනන ව්‍යුහාවේදී:

වෘෂ්‍ය ගුණය ඇති නිසා කාම උත්තේජනය සඳහා වාජිකරණ ඖෂධ සඳහා යොදා ගනු ලබයි. එසේම ඔසජ වැඩි කරන ගුණ යුතු නිසා ඔසජ දෝෂ සඳහා ද යෝග්‍ය වේ මේ අතර කුෂ්ඨ නසන ගුණ ද මෙහි ඇති නිසා සමේ රෝග සඳහා ද යොදා ගනු ලබයි.

තවද උදර වේදනා ආදිය සාදික්කා මද ගලගා බීම සුදුසු වන අතර පිපාසයට සාදික්කා තැම්බූ වතුර සිසිල් වූවාට පසු පෙවීම ද යෝග්‍ය වේ.

එසේම ශරීරයේ හා මුහුනේ ඇති වන ලප කැළැල් ආදියට සාදික්කා ගලගා ගනු ලබයි.

මේ ආදී වශයෙන් ඖෂධීය වශයෙන් විශිෂ්ඨ ගුණ ගෙන දෙන සාදික්කා වලින් ලැබෙන වෙනත් ප්‍රයෝජන රාශියකි.

ආහාර රසවත් කිරීම සඳහා සාදික්කා බීජ යොදා ගනු ලබන අතර සාදික්කා ලෙලි ජෑම් සෑදීම සඳහා යොදා ගනියි. තවද මුඛයේ දුර්ගන්ධය නැසීමට සාදික්කා සපනු ලබන අතර සබන්, සිගරට් සහ දත් බෙහෙත් වර්ග සුවඳ ගැන්වීමට සහ සුවඳ ද්‍රව්‍ය සඳහා ද භාවිතා කරයි.

එසේම හිස සෝදන ෂැම්පු වර්ග සඳහා ද ආලේප වර්ග සඳහා ද සාදික්කා යොදාගනු ලබන අතර සාදික්කා හා වසාවාසි වලින් ලබා ගන්නා තෙල් ආහාර රස ගැන්වීම සඳහා ද, මත්පැන් නිපදවීම සඳහා ද යොදා ගනියි.

මේ අනුව සලකා බලන විට පැහැදිලි වනුයේ සාදික්කා යනු ඔසු ගුණයෙන් සහ පෝෂණීය ගුණයෙන් පිරිපුන් සුවඳ ගෙනදෙන අගනා ඖෂධාහාරයක් බවයි.

තවද

ජාතීඵලාදී වටිය

ජාතීඵලාදී චූර්ණය

ජාත්‍යාදී තෛලය

යනුවෙන් සාදික්කා යොදා සකස් කල

නිෂ්පාදිත ඖෂධ ද වේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.