කුළුබඩු වල ඇති විස්මිත ගුණ

ජනවාරි 15, 2021

නිරෝගී දිවිපැවැත්මක් සෑම කෙනෙකුගේ පැතුමයි. මේ සඳහා අපට සහාය වනුයේ අප ගන්නා දෛනික ආහාරයි. ආහාර රස ගැන්වීමේදී යොදාගන්නා කුළුබඩු ආහාරයට එක් කිරීම මගින් විවිධාකාරයෙන් ඇතිවන රෝග පීඩා මර්දනය වනවාසේ ම බොහෝ රෝග වලින් වැළකී සිටීමට හැකියාව ලැබේ.

 

ඉවුම් පිහුම් කටයුතුවලදී කුළුබඩු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අපි අද කුළුබඩුවල ගුණා ගුණ සොයා බලමු.

කහ

ලේ වල ඇති විෂ කොටස් නැති කරන අතර, මවුකිරි පිරිසුදු කරයි. එසේම මල මුත්‍රා පිටකිරීම පහසු කරයි. වැඩිපුර කොලෙස්ටරෝල් අඩු කරයි. සමේ රෝග සුව කරයි. ආහාර රුචිය වැඩි කරයි. ආහාර රසවත් කිරීම වර්ණවත් කිරීම හා සුවඳවත් කරයි.

කොත්තමල්ලි

වකුගඩු ඇතුළු මුත්‍රා පද්ධතිය හොඳින් පිරිසුදු කරන අතර, ශරීරයේ දැවිල්ලට, උණට, සෙමට ,පීනස, හතිය යනාදී රෝග සුවපත් කරයි. කාන්තාවන්ගේ මාස් ශුද්ධියේ වේදනාව අඩු කරයි.

කුඩා අයට කොත්තමල්ලි දෙන විට කබලේ බැද තම්බා දීම සුදුසුය. බඩයාම හා පිපාසය ඇතිවූ විට කොත්තමල්ලි කබලේ බැද තම්බාගත් වතුර බීම අත්බෙහෙත් වශයෙන් ගුණාත්මක බවක් ගෙන දෙයි. පණු රෝගයට ඉතාමත් ගුණදායකය. පිපාසය සංසිඳුවයි.

දහදිය පිටකරන නිසා උණ රෝගීන්ට හොඳයි. මුත්‍රා වැඩිපුර පිටකරයි. බඩ පිපුම දැවිල්ල ඇති වු විට කොත්තමල්ලි තලා සීතල වතුරට දමා රැයක් තබා පෙරා සීනි දමා බීම සුදුසුයි.

කරපිංචා

රුධිරයේ ඇති විෂ කොටස් පිරිසුදු කරන අතර අකලට හිසකෙස් වැටීම සහ පැසීම අඩු කරයි. අජීර්ණ රෝග, පණු රෝග, සමේ රෝග, අර්ශස් රෝග සුව කරයි. රුධිරයේ ඇති වැඩිපුර කොලෙස්ටරෝල් අඩු කරයි.

කරාබු නැටි

දත් කැක්කුම අඩු කරයි. බඩගිනි වැඩිකරන අතර, ආහාර හොඳින් ජීර්ණය කරයි. පණු රෝග සුව කරයි. බඩ පුරවා දැමීම සුව කරන අතර, අක්මාව හා හෘදයේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි. මවුකිරි වල කිරි එරෙන ගතිය වැඩි කරයි.

සුදුලූනු

ස්නායු දුර්වලතා වළකන අතර කොන්ද, තුනටිය , දණහිස් සන්ධී ඇතුළු ශරීරයේ වේදනා දුරු කරයි. ධාතු වර්ධනය සහ දීර්ඝායුෂ ලබාදෙන අතර, අකලට මහලුවීම නැති කරනු ලබයි.

බුද්ධිය වර්ධනය කිරීමට උදව් වන අතර පිළිකා ඇතිවීම වළක්වයි. බඩ පිපුම බඩ රිදුම් සඳහා ඉතාමත් යෝග්‍යය යි.

හවසට සුදුලූනු තලා දමාගත් තේ කහට පානය මගින් දවසේ වැඩ හමාර කර නිවසට පැමිණි සියලුම අයගේ හිසේ සහ සිරුරේ මෙම පානය වේදනා නාශකයක් ලෙස කදිම ඔසුවකි.

මහදුරු

මවුකිරි වැඩිකරන අතර අක්මාවේ රෝග සඳහා යෝග්‍යයයි. වකුගඩු රෝග සඳහා සුදුසු අතර මුත්‍රාගල් සෑදීමට ඉඩ නොතබයි. ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන රෝගාබාධ දුරු කරයි.

උළුහාල්

අධික තරබාරුව අඩුකරන අතර ශරීරයේ සන්ධිවල වේදනාව අඩු කරයි. හිස් සොරි සඳහා යෝග්‍යයයි.ආහාර රසවත් කිරීම හා සුවඳවත් කිරීමට භාවිත කරයි. රුධිරයේ ඇති වැඩිපුර කොලෙස්ටරෝල් අඩු කරන අතර අධික රුධිර පීඩනය සඳහා යෝග්‍යයයි

රතුලූනු

රතු ලූනු ධාතු වර්ධනය කරන අතර වේදනාව සමනය කරයි. ආහාර රසවත් කරයි.

පණු රෝග අර්ශස් රෝග මුත්‍රා රෝග සඳහා සුදුසුය. රුධිරයේ විෂබීජ නාශනය සිදුකරයි. බඩගිනි වැඩි කරයි. සෙම් රෝග සඳහා ඉතා සුදුසුය.

ගොරකා

බඩ පිපුම, බඩ රිදුම, නැති කරන අතර, රුධිරගත විෂ පදාර්ථ පිරිසුදු කරයි. බඩගිනි වැඩි කරයි. කොලෙස්ටරෝල් නැති කරයි.ආහාර ජීර්ණය පහසු කරයි. රසායන ගුණ ඇති නිසා දීර්ඝායු ලබාදේ. ආහාර නරක් නොවී කල්තබා ගැනීමට යොදාගනී. හෘදයට ඉතාමත් ගුණය.

ලුණු

ආහාර රසවත් කරන අතර ආහාර රුචිය ඇති කරයි. බඩගිනි වැඩි කරයි. හෘදයේ ක්‍රියාකාරිත්වය උද්දීපනය කරයි. රුධිරගත අපිරිසුදු පදාර්ථයන් පිරිසුදු කරයි. මුත්‍රා පිරිසුදු කරයි.

මිරිස්

විෂබීජ හරණය කරන අතර සෙම් රෝග වාත රෝග අඩුකරයි. හෘදය උත්තේජනය කරයි. ආහාර රුචිය වැඩි කරයි. ආහාර රසවත් කිරීම වර්ණවත් කිරීම ඇති කරයි.

අබ

මාංශපේශි ශක්තිමත් කරන අතර රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කරයි. හෘද රෝග අක්මාවේ රෝග සඳහා යෝග්‍යයි. ආහාර ගැනීමේ රුචිය වැඩි කරයි. අබ තැම්බූ වතුරෙන් හිස සේදීමෙන් උකුණන් වඳ වේ.

දෙහි

ආහාර රසවත් කරන අතර ආහාර රුචිය ඇති කරයි. බඩගිනි වැඩි කරයි. හෘදයේ ක්‍රියාකාරිත්වය උද්දීපනය කරයි. රුධිරගත අපිරිසුදු පදාර්ථයන් පිරිසුදු කරයි. මුත්‍රා පිරිසුදු කරයි.

 

උපදෙස්

වැල්ලම්පිටිය – කැඩුම් බිඳුම් බෙහෙත් ශාලාවේ වෛද්‍ය ඩඩ්ලි චන්ද්‍රසේකර, ස්වර්ණා චන්ද්‍රලතා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.