දේවාශිර්වාදය ලබාදෙන ඖෂධීය ගුªණ රැසක් ඇති රන්තැඹිලි

අගෝස්තු 27, 2021

ඈත අතීතයේ සිටම දිව්‍යමය ඖෂධ ගුණ රැසක් ඇති ඉතා වටිනාකමකින් යුත් ඖෂධයක් ලෙස රන්තැඹිලි භාවිතා කෙරේ. අප රටේ තැඹිලි වර්ග කිහිපයක්ම ඇත. ඒ අතර ගොන් තැඹිලි, රන්තැඹිලි, රෝසතැඹිලි, රන් පොල්, නවසි, අඩාරම් සහ බෙහෙත් තැඹිලි ද වේ. හින්දු දේව පුරාණයට අනුව නම් ගණ දෙවිඳුගේ හිස කඳෙන් වෙන් වී හිමාල වනයට වැටුන බවක් එතැනින් මෙම පොල් සහ තැඹිලි වර්ග හටගත් බව පැවසේ.

 

මෙම තැඹිලි අතරින් රන් තැඹිලි ඉතාම දුර්ලභ වේ. රන් තැඹිලි ගෙඩියේ හැඩය අනුව එය රවුම් ගෙඩියකි. පිටු පසින් කොන්ඩ කැවුමක් වගේ ය. අතින් ලෙලි ඉවත් කළ හැකි ය. ඒ තරමටම රන් තැඹිලි ගෙඩියේ ලෙලි සියුමැලිය. ගෙඩි 3 - 4 කට වඩා හට ගන්නේ ද නැත. තවත් සුවිශේෂී කරුණක් වන්නේ රන් තැඹිලි ගසේ අතු කපුටන්ගේ පි‍්‍රයතම ආහාරයක් වීමයි. රන් තැඹිලි ගෙඩිය රතු පාට හෝ රෝස පාට නොවේ. එය රන්වන් පාටය. එවැනි රන්තැඹිලිවල පමණය නියම ඖෂධ ගුණය ඇත්තේ. ඒ අනුව රන්තැඹිලිවලට සුවිශේෂී වූ ස්ථානයක් අතීතයේ සිට වර්තමානය දක්වාම හිමි වේ. පුරාණයේ සිටම දේශීය සිංහල වෙදහෙදකම් සඳහා රන්තැඹිලි නැතුවම බැරි ඖෂධයක් විය. ඒ වගේම ගුප්ත ශාස්ත්‍රයේ එන යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ක්‍රියාවේදී ද රන්තැඹිලි යොදා ගැනේ. මිනිසාගේ යහපත උදෙසා දෙවියන්ගේ ආකර්ෂණය සහ ආශිර්වාදය ලබා ගැනීමට පවත්වන පුද පූජාවේ දී රන්තැඹිලි බහුලව භාවිතා කරනු ලබයි.

රන් තැඹිලි තෙල් සිඳ ගැනීමේ දී ගින්දර අවුළුවා තෙල් සිඳ ගන්නවාට වඩා යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නේ අව් රශ්මියෙන් තෙල් සිඳ ගැනීමට හැකිනම් ය. එසේ නැතිනම් ගසකින් බිම නොදා කඩා ගන්නා ලද රන්තැඹිලි ගෙඩියක් හෝ කිහිපයක් යකඩයක් සම්බන්ධ නොකර ලී උලකින් ලෙලි ඉවත් කර ලී හිරමණයකින් පොල් ගා එම වතුරද පිරිසුදු පෙරන ලද වතුර ද එක්කර පොල් මිරිකා කිරිගෙන උඩු වියන් බැඳ උසකින් ලිපක් සාදාගෙනන සුවඳ දර වර්ග යොදා පළමුව ස්නානය කර පිරිසුදු වී මල් පහන් පුදා තුණුරුවන් වැඳ දෙවියන්ට පින් අනුමෝදන් කර තම කාර්යය ඉටු වේවායැයි ප්‍රාර්ථනා කරමින් සුබ හෝරාවෙන් ගිනි අවුළුවාගෙන රන්තැඹිලි තෙල් සිඳ ගැනීම ඉතා යහපත් ය. ලිපට කටින් පිඹින්නේ නැතුව පවන් සලා ගිනි අවුළුවා ගත යුතු ය. සැව්න මුල්, සුදුහඳුන්, කපුරු, දේවදාර, සුවඳ කොට්ටන්, නාමල් රේණු, නෙලුම් රේණු යොදා ගැනීමෙන් ප්‍රසන්න සුගන්ධය ඇති වේ. මෙසේ පිරිසුදුව සිඳින ලද රන්තැඹිලි තෙල් රාජ වශීයට, සම්මුඛ පරීක්ෂණයට, ස්ත්‍රී පුරුෂ වශීයට, ව්‍යාපාර දියුණුවට, සර්වජන වශීයට මෙන්ම සර්ව ශරීර ආරක්ෂාවටද ජීවම් කරනු ලැබේ. නිවාස, ව්‍යාපාර, පතල් කර්මාන්තය සහ වාහන ආරක්ෂාවට ද මෙම රන්තැඹිලි තෙල් ඉතාම යහපත් වේ. නඩුහඹ ජයග්‍රහණයට, සතුරන් මිතුරු කර ගැනීමට, සතුරු පරාජයට ද රන්තැඹිලි තෙල් ජීවම් කර රන් සුරයක ද, ගෙල පැලඳවීමද යහපත් ය. රන්තැඹිලි ගෙඩියක් ගෙන කපා එයට සුදු හඳුන් කුඩු කලං 02ක් සහ ඉඟිණි ඇට කුඩු කලං 02 ක් යොදා සරස්වතී දැහැනෙන් ජීවම් කර රාත්‍රී පින්නේ තබා උදෑසන හිස් බට පානය කිරීමෙන් ගිලිහි යන මතක ශක්තිය හා බුද්ධි වර්ධනය ඇති වී අධ්‍යාපන කටයුතු සාර්ථක වන බව පැවසේ.

රන්තැඹිලි තෙල් ජීවම් කර සරස්වතී දැහැනෙන් රන් සුරයක ද, ගෙල පැඳවීමද යහපත් ප්‍රතිඵල ගෙනදේය. නොයිදුල් රන්තැඹිලි තෙල් ගෙන ධන ලක්ෂ්මි මෑණියන්ට පහන් දල්වන්නේ නම් ධනය, සැපත, සම්පත හා සෞභාග්‍යය උදාවේ. අෂ්ඨපල බෝධීන් වහන්සේට රන්තැඹිලි මලක් පූජා කිරීමෙන් ග්‍රහ අපල සහ පෙර අකුසල් දුරුවෙන බව සඳහන් වේ. විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, කතරගම දෙවියන්ට, ගණ දෙවියන්ට, පත්තිණි මෑණියන්ට සහ සමන් දෙවියන්ට රන්තැඹිලි මල් පූජා කිරීමෙන් දේව ආශිර්වාදය සහ ආකර්ෂණය මෙන්ම දෙවියන්ගේ දේව ප්‍රසාදය ද හිමි වේ. ඉතා යහපත් ගුණ ඇති බලගතු දිව්‍යමය ඖෂධයක් වන රන්තැඹිලි පැළයක් ඔබේ ගෙවත්තේ රෝපණය කිරීමෙන් ඉතා යහපත් ප්‍රතිඵල ගෙනදේය. මෙය ගෙවත්තේ ඊශාන දිශාවේ රෝපණය කිරීම සුබය. වඳ වී යන මෙම දුර්ලභ ඖෂධීය ගුණ රැසක් ඇති රන්තැඹිලි රෝපණය කිරීමට අපි සැම පෙළ ගැසෙමු. රන්තැඹිලි යනු දිව්‍යමය ඖෂධයකි. ලක්ෂ සංඛ්‍යාත ‘සුබසෙත’ පාඨකයින්ගේ දැන ගැනීම සඳහා මෙම ලිපිය සකස් කරන ලදී.

 

පාරම්පරික යන්ත්‍ර මන්ත්‍රවේදී

එච්.විජිත කුමාර සිංදුරගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.