ඇසූ පමණින් කරන බියකරු මමයි රවිගේ පුත්‍ර සෙනසුරු

නොවැම්බර් 13, 2020

පුරාණාචාර්යයන් සෙනසුරුගේ ගතිගුණ නියම වශයෙන් දැනගෙන තිබෙන බව පෙනෙන්නේ ඔහුට වෙන් කර තිබෙන අපගේ ගතිගුණවලිනි. දිළිඳුකම, අවාසනාවන්තකම, කෙළවරක් නැති දුක් විඳීම, දුක් විඳිද්දී තව තවත් දුක් දීම, මහ කම්මැලිකම, සීමාවක් නැතිව කටයුතු කල් දැමීම, කටයුතු බාධා, අධෛර්යය, බලාපොරොත්තු සුන්වීම, තද දුක් විඳින, සුව වූවායින් පසුත් ලකුණ ඉතිරිවන රෝග, බර කටුක වැඩ, ශරීරය කෙට්ටු වීම, දුර්වර්ණ වීම, ඇට බිඳීම, බල වීර්යය අඩු වීම ආදිය පමණක් නොව මරණය පවා සෙනසුරාට අයිතිකර තිබේ. මහලු වයසට සෙනසුරු අධිපති වෙයි.

 

මේ ලෙසින් දක්වන්නට යෙදුණේ. සෙනසුරුගේ අනිටු විපාක ජන්මීය වශයෙන් අපට උර්ම කර දෙන ආකාරයයි. නමුත් ඒ අප සෙනසුරු පිළිබඳ දක්නා එක් දිශානතියක් පමණි. සෑම නරක දෙයින්ම හොඳක්ද ගන්නට හැකිවාක් මෙන්ම සෙනසුරාගෙනුත් ලැබෙන යහපත් දේ නැත්තා නොවේ. ඊට සෙනසුරා බලවත්ව ශුභ දෘෂ්ටි ලැබ හොඳ තැනක සිටිය යුතුයි. දුක් විඳීමේදී ඇති ඉවසීම, පිරිමසාගෙන කටයුතු කිරීම, කටයුතු සිදු කිරීමේ ශක්තිය, රහස් එළි නොකිරීම, සිතූ දේ ජය පරාජය නොසලකා එසේම කිරීම, ආත්ම දමනය, ආගමික භක්තිය, විපතට කලින් බියවී සූදානම් වීම ආදී ලක්ෂණයන් ශනිගේ හොඳ ගති ගුණ වේ. බලවත් වූ ශනි කේන්ද්‍රයේ බලවත් තැනක සිටියදී උපන් අය සත්‍යවාදී වෙයි. පුණ්‍ය කටයුතුවල යෙදීම, භාවනායෝගී වීම, චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම, ඉතා කරුණාවන්ත වීම, තාපස ජීවිත මෙන් ගත කිරීම, කල්පනා කර බලා කටයුතු සිදු කිරීම, රෝගීන්ට අසරණයන්ට සංග්‍රහ කිරීම ආදී ධන හානි වන මෙලොව පිණිස නොව පරලොව පිණිස වූ උසස් ගුණධර්මවල ප්‍රමුඛව යෙදෙති.

එහෙත් බලවත් ශුභ දෘෂ්ටි ලැබ සිට සෙනසුරා, මනුෂ්‍යයා වස්තුවෙන් හා කීර්තියෙන් උසස් කරයි. නමුත් එසේම නැති කර දමයි. එම නිසා සෙනසුරාගෙන් වඩා ලැබෙනවාට වඩා ටිකක ලැබීම හෝ නොලැබීම හොඳය. සෙනසුරාට සූර්යයාගේ පුත්‍රයා යැයි කියනු ලබන්නේ ද එහෙයින් බව දත යුතු ය. තවත් සමහර තැනෙක නපුංසකයෙකු ලෙසද හඳුන්වයි.

සෙනසුරාගේ මේ තද ගති නිසාම ස්වර්ගයේ හෝ අපායේ යතුර තිබෙන්නේ සෙනසුරු අතේ යයි ව්‍යවහාර කරගෙන සිටින මතයක් ද වේ. උසස් වුවොත් රාජ්‍ය පාලකයෙකු හෝ එවැනි තත්ත්වයක විශාල බලයක් ධනයක් ඇත්තෙකු කරයි. පහත් වූවොත් අන්තකාලකණ්ණි හිඟන්නෙකු හෝ කරයි. නැත්නම් ඉතා ගුණවත් මහා ධාර්මිකයෙකු හෝ නින්දිත අපරාධකාරී මහා පාපතරයෙකු හෝ කරයි. කොටින්ම කියතොත් මොහු නිකන් සිටින ග්‍රහයෙකු නම් නොවේ. හොඳ හෝ නරක හෝ කරන්නට අවස්ථාව පැමිණි විට කිරීම ඔහුගේ සිරිතයි. එම නිසා අන්‍ය සෑම ග්‍රහයෙකුටම වඩා යමෙකුගේ කේන්ද්‍රයේ සෙනසුරා යහපත්ව බලවත්ව සිටීම යෙහෙකි. මහ දශාවේ දී පලදීම අන්තිම කොටසේදීම මෙන්ම, චාරයේ දී ද රාශියේ අග කොටසේ දී ගුණ හෝ අගුණ දෙනු ලබයි.

මනුෂ්‍ය ශරීරයේ දකුණු කන, මුත්‍රාශය, වාත නහර, දත්, ඇට, ඇල දිව, පිටි කොඳු ඇටය, ශනිට හිමි වේ. වම් පයද සෙනසුරුගේ බව කිව යුතුව තිබේ. ප්‍රධාන වශයෙන් නරක ශනි මහ දශාවේ දී හෝ නරක ග්‍රහයෙකුගේ ශනි අන්තර් දශාවේ දී හෝ වම් පය බිඳියි. එසේ නැතිනම් තුවාල කරයි. කොර කරයි. බැරිමනම් උළුක්කුවත් කරයි. සියලු අඩස්සි රෝග, සියලු වාත රෝග, සියලු දත් රෝග, දෙකන් බිහිරි කරවීම, උගුරේ රෝග, යටි බඩ කොරවීම වැනි තද වේදනා රෝග, කල් ගත වන මෙන්ම දුක් දෙන කාශ මෙන්ම පිළිකා, ගෙඩි වවමන, ඔක්කාරාදී රෝග ද, කුෂ්ට රෝග, පක්ෂගාත රෝග ආදියද ශනිගේ මුල් වීමෙන් සෑදෙන රෝගයන් වෙති. එසේම ශනි ජන්මියෙකුගේ කේන්ද්‍රයේ පිහිටන ස්ථාන අනුවද විවිධ බලපෑම් ගෙන එනු ලබයි. ශනි ලග්නයේ සිටියදී උපන් අයගේ ශරීර කෘෂ වේ. පසු වයසේ හිසේ තට්ටය පෑදෙයි. මහත් වූ රෝග සහිත වූ ද, දත් වේ. තනිව වාසයට පි‍්‍රය වේ බර වැඩෙහි යෙදෙන්නට සිදු වේ. නැතිනම් ඇවිදිලි අධික වේ. දියුණුව ප්‍රමාද වේ. නමුත් මකර, කුම්භ, තුලා, ධනු යන රාශියක්ව ශනි ලග්නයේ සිටියොත් සම්පූර්ණ ශරීරයෙන් යුත් ශෝභ සම්පන්න ගතියෙන් යුත් ධනවත් ප්‍රසිද්ධ කෙනෙක් වෙයි.

එසේම ශනි දෙවැන්නේ සිටියදී උපන්නේ නම් වස්තුව ශනි දශාවේදී විනාශ වෙයි. භාර්යාවට සහ සැප ජීවිතයට හානි කරයි. දිළිඳු වෙයි. ගෘහ ජීවිතය එපා වෙයි. ඉතිරි කිරීමට ඉඩ නොදෙයි. හදිසියේ ලද ධනයක් වුවත් නොදැනී විනාශ වීමට බලපායි. ශනි තෙවැන්නේ නම් සතුරන් නසා ජය ලබා දෙයි. සහෝදර නෑදෑයින් විරුද්ධ වෙයි. නමුත් වික්‍රමය අතින් බලවත් වෙයි. සිව්වැන්නේ නම්, ස්ථිර වාසස්ථාන නැති කරයි. තැනින් තැන කලින් කල ජීවත් වෙන්න සිදුවේ. නෑදෑයින් නිසා වස්තුව විනාශ වී දිළිඳු බවට පැමිණීමට ද හේතු වේ. නමුත් අවුරුදු හැටෙන් පමණ පසු කලකිරුණු ජීවිතයකට හිමිකම් කියයි. දරුවන් අඩු කරන, නැති නම් දරුවන් රෝගී කරන තත්ත්වයන් ශනි පස් වැන්නේ දී බලපවත්වයි. එසේම නිතර දුක් කරදරවලට මුහුණ පාන, බිඳෙන සුළු ආලයකට හිමිකම් කියන තත්ත්වයක් උරුම කර දේ. ශනි හයට උපචය ස්ථානයක් බැවින් අධික ගුණ කියා ඇති නමුත් කල් පවතින දුක් විඳින රෝග සාදයි. නරකට සිටියොත් උපන් ගෙයි ලෙඩෙකු වන ලක්ෂණද පෙන්නුම් කරයි. නැතිනම් කැළැල් නොමැකෙන කාලයක් දුක් විඳින තුවාල සෑදීමටද සෙනසුරු හයේ පතිත වීමෙන් සිදුවිය හැකිය.

ශනි හතට දික්බල ස්ථානයයි. විවාහය ප්‍රමාද වීමටත්, රෝගී වූ ඉන්ද්‍රියන් සහිත වීමටත්, භාර්යාවට හෝ ස්වාමියාට හානි ගෙන දීමත් හේතු වේ. නමුත් මෙහිදී ශනි බලවත් වූ විට අන්‍ය සෑම තැනකටම වඩා ශුභපල දෙන බවත් දත යුතු ය. ශනි අටට ඉතාම නරක තැන බව දත යුතු ය. දරුණු රෝග පීඩා ගෙන දෙනු ලබයි. නොයෙක් විපත්තිවලට මුහුණ පාන්නට සිදුවේ. නින්දා අපහාස විඳීමටද සිදු වේ. දුක් විඳ විඳ ඇදෙන පැදෙන මරණයකට මුහුණ පාන්නට සිදු වේ. නමුත් ශනි අටේ බලවත්ව ශුභ දෘෂ්ටි ලැබ සිටියොත් හෝ උච්ච හෝ ස්වක්ෂේත්‍රව සිටියොත් ඒවායින් වළකී. එසේම ශනිට පමණක් නොව කිසිම ග්‍රහයෙකුට නවය නරක නැත. ශනිට නවය නම් විශේෂයෙන්ම යහපත්ය. නමුත් නවයේ ශනි තපස් ජීවිතයකට පි‍්‍රය කරවයි. දර්ශන න්‍යාය හා ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට ආශා කරවයි. ශනි දහයේ දී නම් ස්වකීය දශාවේදී හෝ නරක ග්‍රහයෙකුගේ මහ දශාවේ දී අන්තර් දශාවේ දී හෝ චාරයෙන් දහයට පැමිණි විට රැකී රක්ෂා කර්මාන්තාදිය විනාශ කර දමයි. සමහර විට බොහෝ වස්තුව හා බලය ලබා දී පසුව නැත්තටම නැති කර දමයි. චර රාශියක් නම් බොහෝ විට එසේම වෙයි. එකොළහේ ශනි පවිටු මිත්‍රයන්ට රැවටී පාඩු විඳින්නට සිදු කරවයි. එකොළහේ සිටි ශනිගේ දශාව මාරක දශාවකි. එකොළහ අයිතිව එහි සිටි ශනි තම දශාවේ දී බොහෝ විට මරා දමයි. ශනි දොළහට ද ශුභ නැත. නිතර රෝග සාදයි. ශනි දශාවේ දී නඩු හබවලට පටලවයි. නරකට සිටියොත් හිර අඩස්සී වල පසුතැවීමට ද හේතුවන පිහිටීමකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.