ලෙඩ රෝග රැසකට ඔසු ගුණ සපයන දිව්‍යමය ශාකය මුරුංගා

නොවැම්බර් 13, 2020

මුරුංගා (Moringa Oleifera) කියන්නේ අපි කවුරුත් දන්නා ගස් වර්ගයක්. ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල මුරුංගා ගහක් හෝ ගස් කීපයක් නැති ගෙවත්තක් නැති තරම්.

අපිට මතකයි අපි පොඩි කාලේ ඉඳන් අපේ අම්මලා මුරුංගා කරල් වෑංජන හෝ කොළ මැල්ලුම් හෝ හොදි වරින්වර අපේ ආහාර වේලට එක් කළා. ඒ වගේම මඤ්ඤොක්කා තම්බනකොට මුරුංගා කොළ ටිකකුත් මුට්ටියට දානවා. ඉස්සන් දැල්ලන් හා දෙල් කරියටත් මුරුංගා කොළ මිටක් එකතු කරන එක අපේ අම්මලාගේ පුරුද්දක්. මෙහි අරමුණ එම ආහාරවල අඩංගු විෂ සහ ඌෂ්ණ ගතිය අඩුකර ගැනීමයි.

ලංකාවේ අපි මේ විදිහට අවුරුදු දහස් ගණනක් තිස්සේ මුරුංගා ගැන දැනගෙන හිටියා. මුරුංගා කියන්නේ මේ පෘථිවි තලයේ වැඩෙන ආහාරයට ගන්නා ඔනෑම ගසකට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථයන් රාශියක් ලබාදෙන, ලෙඩ රෝග බොහෝ ගණනක් සුවකළ හැකි, බහුකාර්ය සුපිරි ආහාරයක් (Multi-purpose super food with endless health benefits) බව ඔබ දැන සිටියාද?

ප්‍රභේද තුනක්.

අපේ ආයුර්වේදය අනුව මුරුංගා ප්‍රභේද තුනක් ඇත. මල් රතුපාට මුරුංගා, මල් නිල්පාට මුරුංගා, මල් සුදුපාට මුරුංගා,එම මුරුංගා ප්‍රභේද තුනයි. රතු හා නිල් පැහැති මල් මුරුංගා දුර්ලභ මුරුංගා විශේෂයන්ය. එවැනි මුරුංගා ශාක ඇත්නම් ඒවා ආරක්ෂා කර ගන්න.

පෝෂණ ආකරයක්.

ආයුර්වේද වෙදකමට අනුව මුරුංගා වලින් ලෙඩ 300කට වැඩි ගණනක් සුවකළ හැකි බව කියවෙනවා. ඒ විතරක් නොවෙයි මුරුංගා මන්දපෝෂණය දුරු කිරීමට උපකාර වෙනවා. මුරුංගා කොළවල ප්‍රෝටීන් බහුලයි.ප්‍රෝටීන්, විටමින් C, B, කැරොටින්, බීටා කැරොටින්, කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ, පොස්පරස් වැනි ඛනිජ ලවණ වලින් බහුලය.

ඒ ව‌ගේම මස් මාළු ආදියෙන් ලැබෙන ශරීරයට අත්‍යවශ්‍ය යයි කියන ඇමයිනෝ අම්ල වර්ග සියල්ලම වාගේ මුරුංගා වල අන්තර්ගත වන අතර මුරුංගා යනු නිර්මාංශිකයන්ට මස් මාළු ආදියට විකල්පයක් ලෙස ගත හැකි ආහා රයක්. මේ තත්ත්වය වෙනත් කිසිම ශාක එළවළුවක නැති බව ද සොයාගෙන තිබෙනවා. නොමිලයේම වාගේ අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ බොහෝමයක් ලබාදෙන විස්මිත ආහාරයක් තමයි මුරුංගා. බටහිර රටවල් මුරුංගා යනු ලෝකයේ ආශ්චර්යමත්ම ගස (Miracle Tree) ලෙස හඳුන්වන්නේ මේ කරුණු නිසයි.

මුරුංගා කොළවල විශ්මිත ගුණ.

මුරුංගා කොළ නොයෙක් ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අමුකොළ යුෂ පානය කරන්න පුළුවන්. කොළ මැල්ලුම්, ව්‍යාංජන හෝ හොදි ලෙස සකසා ගන්න පුළුවන්. අල, පරිප්පු, බිත්තර හොද්ද, කිරි හොද්ද, මස්, මාළු වැනි සෑම ව්‍යාංජනයකට අමු කොළ එකතු කරන්න පුළුවන්. ඒ වගේම කොළ වේලා කුඩුකර වතුරේ දියකර පානයක් ලෙස හෝ තේ ලෙස හෝ භාවිතයට එක්කර ගන්න හෝ පුළුවන්.

මුරුංගා කොළ දෙඹර, බඹර, ගෝනුසු විෂ නසන ඖෂධයකි. මුරුංගා කොළ දෙහි ඇඹුලෙන් අඹරා එම සත්ත්වයා දෂ්ට කළ ස්ථානයේ ආලේප කිරීමෙන් විෂ මැරීම සිදුවෙයි. කායික ශක්තිය වර්ධනය සඳහා මුරුංගා කොළ මැල්ලුම මෙන්ම මුරුංගා කොළ අඹරා යුෂ පානය කිරීමද සුදුසුයි.

මුරුංගා කොළ වල ආහාර දිරවීමේ විශේෂිත හැකියාවක් ඇත. එම නිසා මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් වෙයි. එපමණක් නොව පණු රෝග හා මුත්‍රා ආශි‍්‍රත රෝග මුරුංගා කොළ මැල්ලුම් දිනපතා අනුභව කිරීමෙන් වැළකී යයි. ආහාර ජීර්ණය හේතුවෙන් බොහෝ අය පීඩා විඳීයි‍. ඒ සඳහා මුරුංගා කොළ අමුවෙන් ගෙන කොටා‍, මිරිකා ඉස්ම ගෙන යුෂ තේ හැඳී 2කට මී පැණි තේ හැන්දක් සමඟ තැඹිලි ගෙඩියකට කවලම් කොට උදෑසන, දහවල් සහ සවස එය පානය කිරීමෙන් මෙම අපහසුතා දුරලිය හැකියි.

මුරුංගා කොළ හා කරල් හොදි හෝ මැල්ලුම් ලෙස අනුභව කිරීමෙන් හෘදරෝග හා හෘදය ආශි‍්‍රත රෝග හා මුත්‍රා ගල් දියවෙයි. මෙමඟින් මුත්‍රා ආශි‍්‍රත රෝග සුවවන බව නූතන ලෝකයේ පරීක්ෂණ පවා සනාථ කරයි. මුරුංගා කොළ එළඟි තෙල් හෝ බටර් සමඟ තෙම්පරාදු කොට ආහාරයට ගැනීම මුත්‍රා ගල් හා හෘදරෝග වලට ගුණදායකයි.

කැල්සියම් ඌණතා වලින් පෙළෙන රෝගීන් සඳහා මුරුංගා කොළ ඉතා හොඳ ආහාරයකි. මුරුංගා කොළ කුඩා ළමුන්ටද, ගැබිනි මාතාවන්ටද පෝෂ්‍යදායී ආහාරයකි. අස්ථි දුර්වලතාවයන්ගෙන් පෙළෙන රෝගීන්ට සුප් එකක් ආකාරයට මුරුංගා කොළ සකස් කරදිය හැකියි. මුරුංගා කොළ ග්‍රෑම් 60කට වතුර අඩු කෝප්පයක් සහ ලුණු, ගම්මිරිස් එකතු කොට තම්බා දෙහි යුෂ එකතු කර පානය කිරීමෙන් අස්ථි රෝග වළකාගත හැකියි.

මුරුංගා කොළ වියළා හොඳීන් තේ කුඩු ආකාරයට කුඩුකර තේ වෙනුවට පානය කිරීමෙන් ශ්වසන ආබාධ දුරු කරගත හැකියි.

ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා මුරුංගා කොළ මිටක් ගෙන හොඳීන් අඹරා එයට මුදවපු කිරි මේස හැඳී 2ක් දමා දිනපතා හිස්බඩ ආහාරයට ගන්න. නොකඩවා දින කිහිපයක් මෙය ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් තත්ත්වය සුවවනු ඇත.‍

උතුරු මැද පළාත්වල ජීවත් වන ගැමියන් සවසට නිවස අවට මුරුංගා කොළ පොඩිකර තැනින් තැන ඉසිනු ලබයි. එයට හේතුව වන්නේ මුරුංගා කොළ සුවඳට විශේෂයෙන් පොළොන් වර්ගයේ සර්පයන් නිවසට පැමිණීමේ අවදානමෙන් මිදී යන නිසයි. පැරණි ගැමියන් වැට සඳහා මුරුංගා හිටෙව්වෙත් මේ හේතුව නිසයි.

අධික ලෙස මුත්‍රාදැවිල්ල ඇති රෝගීන් සඳහා පුහුල් යුෂ හෝ කැකිරි යුෂ වීදුරුවක් ගෙන එයට මුරුංගා කොළ තලා ඉස්ම තේ හැඳී 2ක් එයට මිශ්‍ර කර පානය කරන්නට දීමෙන් මුත්‍රා පහවීමද ක්‍රමවත් කරයි.

උෂ්ණාධික කාල වලදී ශරීරයේ දහඩිය බිබිලි හට ගනියි. මුරුංගා කොළ හා කොහොඹ කොළ සම සමව ගෙන හොඳීන් අඹරා එයට දෙහි යුෂ එකතු කොට නැවත අඹරා එම බිබිලි මත ආලේප කර පැය 2කට පසු නෑමෙන් එම තත්ත්වය සුවපත් කරගත හැකිය. කුරුළෑ, ලපකැළැල් සඳහා මුරුංගා කොළ යුෂ අඬු කෝප්පයක් ගෙන එයට දෙහි යුෂ මිශ්‍රකර වතුර බඳුනකට දමා උදෑසන මුහුණ සේදීමෙන් ඔබට කුරුළෑ නොමැති සමක් ලබාගත හැකියි. සැරව ගලන තුවාල වලට මුරුංගා කොළ අඹරා ඒ සමඟ තලතෙල් හෝ එළඟිතෙල් කලවම් කොට තුවාල වූ ස්ථානයේ ආලේප කරන්න. දින කිහිපයක් මෙය කළ යුතුවෙයි. තුවාලය පිරිසුදු වී ඉක්මනින් සුවය ගෙනෙනු ඇත.

මුරුංගා පොතු, මල් සහ ඇට වල ඔසු ගුණ.

පිරිසුදු ජලය පවිත්‍ර කිරීමට මුරුංගා ඇට භාවිත කරයි. අපේ මුතුන්මිත්තන් ලබු කැටයට මුරුංගා ඇට තලා එකතු කොට මඳ වේලාවක් තබා පෙරා ජල‌‌ය පානය කළේ අපිරිසුදු ජලය පවිත්‍ර කිරීමේ හැකියාව මුරුංගා ඇට සතු නිසාය.

මුරුංගා මල් සහ කරල් වෑංජන ලෙස පිළියෙල කර ගන්නා බව අපි දැනටමත් දන්නවා. ඒ වගේම වියළි මුරුංගා කරල්වල ඇට තෙලෙන් බැද කෑමට ගන්න පුළුවන්. මුරුංගා ඇටයෙන් ලබා ගන්නා තෙල් කෑම පිසීමට ගත හැකිවා පමණක් නොවෙයි. එය රූපලාවණ්‍ය කටයුතු සහ සමේ ආලේපයක් ලෙස ද පාවිච්චි කරන්න පුළුවන්. ‍

මුරුංගා පොතු වියළා කුළුබඩුවක් වශයෙන් භාවිත කළ හැකියි. මෙම කාරණාව අපි බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. අප සියලු දෙනාම පුරුදුව සිටින්නේ තුනපහ වෙළෙඳපොළෙන් මිලදී ගෙන භාවිත කිරීමටයි. නමුත් මුරුංගා පොතු හොඳීන් වියළා කුඩුකොට හෝ කුරුඳු භාවිත කරන ආකාරයට සෑම වෑංජනයකටම කුළුබඩුවක් ලෙස භාවිත කළ හැකියි. එමඟින් අප නොදැනුවත්වම රෝග රාශියකින් අපිට අත්මිඳීය හැකියි. මුත්‍රා ගල්, පණු රෝග, හෘද රෝග, අස්ථි ආබාධ, ශ්වසන ආශි‍්‍රත රෝග හා ඇදුම, කැස්ස වැනි රෝග රැසකට මහඟු ඖෂධයකි. මුරුංගා පොතු වියළා කුඩුකර තේ මෙන් පානය කිරීමද ඉතාම යහපත්ය.

මුත්‍රා ගල් අපිට නිතර අසන්න ලැබෙන රෝගයකි. මෙය බොහෝ දෙනා ශල්‍යකර්ම මඟින් සුවපත් කිරීමට යොමු වී ඇත. නමුත් මුරුංගා පොතු මේ සඳහා හොඳම ඖෂධයකි. මුත්‍රා ගල් දිය කිරීමට වියළා ගත් මුරුංගා පොතු මිටක් ගෙන මැටි මුට්ටියකට දමා වතුර පත හතරක් එකතු කොට එය එක් පතකට සිඳුවා උදෑසන කොටසක්ද, සවසට කොටසක්ද වශයෙන් පානය කිරීමෙන් මුත්‍රා ගල් දියවී යනු ඇත. හොඳීන් මුත්‍රා පිට වී මුත්‍රා දැවිල්ල වැනි රෝගද මෙමඟින් සුවපත් කරයි.

හන්දිපත් වේදනාව, තැලුම් වේදනාව, හන්දි ඉදිමීම සඳහා ලුණු වරණ පොතු, අමුකහ සමව ගෙන මුරුංගා පොතු ඉස්මෙන් සියුම් ලෙස අඹරා ගන්න. එම සාදාගත් මිශ්‍රණය තැලුම්, ඉදිමුම් හා වේදනා ඇති ස්ථාන වල කීපවතාවක් ආලේප කරන්න. එම වේදනා සුවපත් වෙයි.

උදේ සවස සෙම රෝග වලින් පෙළෙන අයට මුරුංගා මුල්වල පොත්තේ යුෂ, බුලත් කොළ යුෂ හා අමු ඉඟුරු යුෂ තේ හැන්ද බැගින් ගෙන මීපැණි තේ හැන්දක් සමඟ දින 10ක් පමණ එක දිගටම ගැනීමෙන් සෙම තත්ත්වය ඉක්මනින් දුරුවී යනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.