උපන් නැකත අනුව 2021 වසර

ජනවාරි 1, 2021

ඕනෑම අයෙක් මෙලොව එළිය දකින විට යම් ග්‍රහයෙකුගේ දශාවක් පවතිනු ඇත. එම දශාවට හිමි නැකත ජන්ම නැකත යනුවෙන් හඳුන්වයි. එක් ග්‍රහයෙකුට අයිති වන නැකැත් 03 ක් ඇත. උපදින විට චන්ද්‍රයා ගමන් කළ රාශිය අනුව තමාට හිමි නැකත ලැබෙනු ඇත. ජීවිතයේ ඕනෑම ශුභ කටයුත්තක් පටන් ගැනීමේදී තමාට හිමි නැකත අනුව ශුභ වේලාවල් සාදා ගැනීමද කරනු ලබයි. 2021 වසරේදී ඔබේ ජන්ම නැකත අනුව ඔබට හිමිවන ශූභ අශුභ තත්වයන් මෙසේ වනු ඇත.

අස්විද

අස්විද නැකතින් උපන් ඔබගේ ග්‍රහ තත්වය බැලීමේදී වසර උදාවන විට කුජට හිමි මේෂ රාශියේ ගමන් කරමින් සිටියි. වසර පුරාවටම එතරම් ශුභඵල ඇති නොකරයි. අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් උත්සාහයෙන් යුතුවම කටයුතු කරගෙන යාමට සිදුවන අතර රැකයා කටයුතු වල නිරත වන අයට ස්ථාන මාරු වැනි දෑ ඇතිවනු ඇත. කේතුට අයිති නැකතක් වන අතර මෙම වසර තුළා කේතු ග්‍රහයා වෘශ්චික රාශියේ ගමන් කිරීමත් මත හිතේ ස්ථිර ගතියක් ඇතිවනු ඇත. හමේ රෝග, උෂ්ණ රෝග වැනි අමාරු ඇති වීමටද ඉඩ තිබේ.

බෙරණ

සිකුරුට අයත් බෙරණ නැකතින් උපන් ඔබට සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇතිව කටයුතු කිරීමට ලැබෙනු ඇත. තම වැඩ කටයුතු සිතන අයුරින් ඉටුකර ගැනීමට ලැබෙන අතර අවිවාහක අයට මංගල යෝග උදාවන යහපත් වසරක් වනු ඇත. ඉඩකඩම් දේපළ වැනි දෑ ලැබීමට යහපත්වන අතර වසර අවසානය වන විට අසනීප නිසා ටික දිනක් හෝ එක තැනකට වී සිටීමටද සිදුවිය හැකිය.

කැති

රවිට අයත් කැති නැකතින් උපන් ඔබගේ රවි ග්‍රහයා ධනු රාශියේ ගමන් කරමින් උදා වන මෙම වසර ගුරුට අයත් නැකතක ගමන් කිරීම යහපත් වනු ඇත. නීතියට යුක්තියට සමාදානයට කැමති වසරක් වන අතර කරන කියන දෙයක් වුවත් එලිපිටම කරන ගතියක් ඇතිවේ. වැඩකටයුතුවලට දක්ෂ වන අතර කරන කියනදේ ඉතා හොඳින් කරයි. රැකියා කටයුතු වලටද යහපත් වේ. ඇස්වල උදරය ආශි‍්‍රත පීඩා ඇතිවිය හැකි අතර ගෘහ ජීවිතයේ යම් යම් කරදරද ඇතිවනු ඇත.

රෙහෙන

සඳුට අයත් රෙහෙන නැකතින් උපන් ඔබට මෙම වසර සතුට උපදවන වසරක් වනු ඇත. ආගම දහම කෙරෙහි ලැදි බවකින් යුතුව කටයුතු කරන අතර නිරත ගමන් බිමන්ද යෙදෙනු ඇත. අන් අයගේ දුකට පිහිට වීමෙන් සතුටක්ද ලබනු ඇත. දරුවන් බලාපොරාත්තුවන අයට වාසනාවන්ත දරුවන්ද ලැබෙනු ඇත. වරින් වර සෙම් අමාරු නිසා පීඩා ඇතිවන අතර ජලයෙන් ප්‍රවේශම් විය යුතු කාලයකි.

මුවසිරස

අඟහරුට අයත් මුවසිරස නැකත ආරම්භ වන මොහොතේ වෘෂභ රාශිගතව ගමන් කිරීම බාධක ජයගෙන ඉදිරියට යාමේ ශක්තියක් ලැබෙන අතර උත්සාහය උනන්දුව වැඩිවනු ඇත. මෙතෙක් තමාගේ කටයුතු වලට පැවති බාධා අවම වීම සිදුවන අතර සිතට සතුටක් ඇතිව කටයුතු කිරීමටද ලැබෙනු ඇත. පදිංචි ස්ථානයේ හෝ රැකියා ස්ථානයේ හෝ නිදා ගන්නා තැනවත් වෙනස්වන කාලයකි.

අද

රාහුට අයත් අද නැකතේ උපන් ඔබට යහපත් කාලයක් වන අතර නැකත් හිමි රාහු ග්‍රහයා තම උච්ච රාශිය වන වාෂභ රාශියේ ගමන් කිරීම මත ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අයට යහපත් කාලයක් වන අතර උසස් තත්වයක් ප්‍රසිද්ධියක් ලැබීමටද පුළුවන. ගෙදර දොර ජීවිතය සාර්ථක ලෙස පී‍්‍රතියෙන් ගත කිරීමට හැකිවන අතර සෙම කුපිත වීම නිසා සෑදෙන රෝග වලට පහසුවෙන් ගොදුරු වන කාලයක් වනු ඇත.

පුනාවස

ගුරු ග්‍රහයාට අයත් පුනාවස නැකතින් උපන් ඔබට මෙම වසර උත්සාහයෙන් යුතුවම තම කටයුතු සාර්ථක කර ගැනීමට සිදුවන වසරක් වන අතර වරින් වර යම් යම් සිත් පීඩා ගෙන දෙන සිදුවීම් වලටද මුහුණ දීමට සිදුවනු ඇත. තරමක ආත්මාර්ථකාමී ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. පහත් අයගේ ඇසුරට පවා යොමුවන අතර හදිසි වැටීම් තුවාල වීම් කැඩුම් බිදුම් වැනි දෙයින් උපද්‍රව ඇති වීමේ අවධානමක්ද පවතිනු ඇත.

පුෂ

පුෂ නැකතින් උපන් නැකතේ චන්ද්‍රයා බලවත්ව කටක රාශි ගතව ගමන් කරමින් ඇරඹෙන මෙම වසර ශුභදායක වසරක් වනු ඇත. ආගමික කටයුතු කෙරෙහි හිත යොමු වන අතර හිතේ චංචල බවකින් යුතුව කටයුතු කිරීමටද පෙළඹෙනු ඇත. දියුණුව තරමක් හෙමිහිට වුවත් ස්ථිර දියුණුවක් ලැබෙනු ඇත. සෙම් අමාරු නිසා පීඩා ගෙන දෙන කාලයකි.

අස්ලිස

අස්ලිස නැකතින් උපන් ඔබගේ නැකැත් හිමි බුධ ග්‍රහයා ධනු රාශිගතව ගමන් කරමින් ඇරඹෙන මෙම වසර ඔබට යහපත් වසරක් වනු ඇත. රැකියා කටයුතු වලට යහපත් වන අතර විශේෂයෙන් බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වලින් ජය ලැබීමට හැකිවනු ඇත. නිදහසට තදින්ම ගරු කරන කාලයක් වන අතර ඉක්මන්වී කලබලකාරි ලෙස කටයුතු කරන අවස්ථාවන්ද ඇතිවේ. අදහස් පතල කිරීමේ ශක්තියද ලැබෙනු ඇත.

මා

කේතුට අයත් මා නැකතේ උපන් ඔබට මෙම වසර ඥානය ගෙන දෙන වසරක් වන අතර ඉගෙනීමේ කටයුතු වල යෙදෙන අයට ශුභඵල අත්කර ගැනීමටද හැකිවන කාලයක් වනු ඇත. පොතට පතට ලිවීමට කියවීමට ආශාවක් දක්වන අතර ගුප්ත ශාස්ත්‍ර වැනි දැ ඉගෙනීමටද යහපත් වේ. හමේ රෝග ලේ වලින් පිටවිය යුතු විෂ හරියාකාරව පිට නොවීමෙන් සෑදෙන අමාරු සෑදීමටද ඉඩ තිබේ.

පුවපල්

ඔබගේ නැකැත් අධිපති සිකුරු ග්‍රහයා තමාට මිතුරු නැකතක ගමන් කරමින් ආරම්භ වන මෙම වසර යහපත් වන අතර පවුලේ දියුණුවට කටයුතු සිදුවනු ඇත. මිල මුදල් ලැබීමට යහපත් වුවත් වියදම් වැඩිකාලයක් වන අතර උසස් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සර්ථක කරගෙන යාමේ හැකියාවක්ද ඇතිවනු ඇත. ඉඩකඩම් දේපළ ලැබීමට යහපත් වන අතර යොදාගත් කටයුතු කීපයක්ම සාර්ථක ලෙස කරගෙන යාමටද හැකි වනු ඇත.

උත්‍රපල්

රවි ග්‍රහයාට අයත් උත්‍රපල් නැකත හිමි ඔබට මෙම වසර කරන දේ ඉතා හොඳින් කරගෙන යාමට ශක්තිය, ධෛර්ය ලැබෙන කාලයක් වනු ඇත. ආදායම් මාර්ග කීපයක්ම කරගෙන යාමට මාර්ගය සෑදෙන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන කාලයක් වනු ඇත. උෂ්ණ රෝග ලේ විෂවීම් නිසා වරින්වර පීඩා ගෙන දෙන කාලයක් වනු ඇත.

හත

ඔබගේ නැකත් අධිපති සඳු ග්‍රහයා ස්වක්ෂේත්‍රව තම රාශිය වූ කටකයේ ගමන් කරමින් සිටියදී ආරම්භ වන මෙම වසර තරමක හිතේ චංචල සහගත බවකින් කටයුතු කරගෙන යාමට සිදුවන වසරක් වනු ඇත. මංගල යෝග උදාවන කාලයක් බැවින් විවාහ වීමට බලාපොරොත්තුවන අයගේ අපේක්ෂාවන් මල්ඵල ගන්වන කාලයකි. ආහාර නොදිරවීමේ රෝග සෙම් අමාරු ආදියෙන් පීඩා ඇතිවන කාලයයි.

සිත

කුජට අයත් සිත නැකතේ උපන් ඔබ තම අදහස් අනුවම කටයුතු කිරීමට බලන වසරක් වන අතර සුළු දෙයට පවා කේන්ති යන ගතියක් ඇති වේ.අධ්‍යාපන කටයුතුවල නිරත වන දරුවන්ටද ඉගෙනීමේ කටයුතු සඳහා බාධක ගෙන දෙනු ඇත. තරමක කලබලකාරි ස්වරූපයකින් යුතුව කටයුතු කරන කාලයකි. උෂ්ණ රෝග, ලේ විෂවීම නිසා ඇතිවන පීඩා හමේ රෝග ඇතිවන අතර හම අවපැහැ ගැන්වෙනු ඇත.

සා

රාහු ග්‍රහයාට අයත් නැකතක් වන සා නැකතින් උපන් ඔබගේ මෙම වසර තරමක් දුරට ශුභඵල අත්කර දෙන වසරක් බව පෙනේ. අලුතින් කටයුතු ආරම්භකර කරගෙන යාමට හැකිවන අතර විදේශගතවීම් වලට ද කරුණු යෙදෙනු ඇත. අන් අය අතර හොඳ හිත දිනා ගනිමින් කටයුතු කිරීමට හැකිවන අතර පලක් නොමැති දෙයට පවා කාලය මිඩංගු කරයි. සෞඛ්‍ය තත්වය යහපත් වේ. තදබල රෝගයක් නැත.

විසා

උත්සාහයෙන් යුතුවම සෑම දෙයක්ම කරගෙන යාමට සිදුවන කාලයක්වන අතර පැවති උත්සාහය, උනන්දුව අඩුව යනු ඇත. නොකළ වැරදිවලට පවා චෝදනා එල්ලවන කාලයක් බැවින් කරන කියන කටයුතු වලදී බොහෝ ප්‍රවේශම් විය යුතුය. හදිසි අනතුරු, තුවාල කැඩුම් බිදුම් වැනි දෙයට පවා ලක්වීමට ඉඩ තිබේ.

අනුර

කුජට අයත් අනුර නැකතේ උපන් ඔබගේ උප්පත්ති ග්‍රහචාරය අනුව කරගෙන යන කටයුතුවලට විවිධ බාධා ගෙන දෙන අතර විවිධ ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. ඥාති වියෝවීමක් පිළිබඳ පුවතක් අසන්නට ලැබෙන අතර දරුවන්ගේ කටයුතු වලටද බාධා ගෙන දෙනු ඇත. පලක් නැති ගමන් බිමන් යෙදෙන කාලයක් උෂ්ණ රෝග, බඩේ අමාරු, මුත්‍රා අමාරු වැනි දෙයින් ද වරින් වර පීඩා ඇතිවනු ඇත.

දෙට

මෙම වසර ඔබට ද ශුභා ශුභ මිශ්‍රඵල ඇතිකරන වසරක් වන අතර දැඩි උත්සහයකින් යුතුව තම කටයුතු කරගෙන යාමට සිදු වනු ඇත. නිතර විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමට බලන අතර ගෙදර දොර කටයුතු වලටද විවිධ බාධා ගෙන දෙනු ඇත. වියදම් අධික කාලයක් වන අතර ස්නායු හෝ නහර සම්බන්ධ පීඩාකාරි තත්වයන් නිසා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවනු ඇත.

මුල

කේතු හිමි මුල නැකතින් උපන් ඔබට මෙම වසර ශුභා ශුභ මිශ්‍රඵල අත්කර දෙන වසරක් වනු ඇත. මුදල් ලැබීමට යහපත් වන අතර විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටින්නෙ නම් යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමටද හැකිවනු ඇත. කම්මැලි අලස ගතියක් ඇතිවන අතර නිතර නිදිමත ගතියක්ද ඇති වේ. ස්නායු සම්බන්ධව මෙන්ම ඇස් සම්බන්ධ පීඩාකාරි තත්වයක්ද ඇති කරයි.

පුවසල

සිකුරුට අයත් පුවසල නැකතින් උපන් ඔබට යහපත් වසරක් වන අතර අධ්‍යාපන කටයුතුවල නිරතවන අයගේ එම කටයුතු මෙන්ම තරග විභාග ආදියෙන් ද ජයග්‍රහණ අත්කර ගැනීමට හැකිවන කාලයක් වනු ඇත. ගෙදර දොර සාමකාමී බවක් ඇතිවන අතර නිතර විනෝදයෙන් කාලය ගත කිරීමට ද හැකිවේ. පි‍්‍රය සම්භාෂණ, මංගල උත්සව වැනි දෙයට පවා සහභාගි වීමට ඇරයුම් ලැබෙනු ඇත.

උත්‍රසල

රවිට අයත් මෙම නැකතේ සෙනසුරු ග්‍රහයා ගමන් කරමින් පවතින මොහොතක වසර උදාවනු ඇත. තරමක හිතුවක්කාර ගතියකින් යුතුව කටයුතු කරන කාලයක් වන අතර අන් අයට හොඳක් කලත් හොඳක් ඇසීමට පවා නොහැකි කාලයක් වනු ඇත.

හවුල් ව්‍යාපාර වැනි දෙයින් පාඩු ඇතිවන අතර ධාරණ ශක්තියද අඩුව යනු ඇත. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට බාධා ගෙන දෙයි. අතර උත්සාහයෙන්ම සෑම දෙයක්ම කර ගැනීමට සිදු වනු ඇත. ආගමානුකූල කටයුතුවල යෙදීමේ උනන්දුවක්ද ඇතිවනු ඇත.

සුවන

ධාර්මික සිතුවලි ඇතිව කටයුතු කරන කාලයක් වන අතර හදිසි ධනලාභ වලට ද හේතු වේ. අන් අය හා එකමුතුව කටයුතු කරන කාලයක් වේ. පවුලේ අයකු දරු සම්පතින් ආශිර්වාද ලබන කාලයක් ද වනු ඇත. හිතේ චංචල බවක් ඇති වුවත් එය මැඩගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඇති අතර සෙම් අමාරු නිසා පීඩා ඇතිවනු ඇත.

දෙනට

ඉක්මන් කේන්ති යන ගතියක් ඇති කර වන අතර එම නිසාම පාඩු කරදර ඇතිවනු ඇත. මා පිය උරුම ලැබීමට යහපත් වන අතර හිතවත් ඥාතියකුගේ අසනීප තත්වයක් ගැනද අසන්නට සිදුවේ. උත්සාහයෙන් යුතුවම කටයුතු කිරීමට සිදුවන කාලයකි. ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයයි

සියාවස

පදිංචි ස්ථානයේ වෙනසකට කරුණු යෙදෙන අතර තම අදහස් අනුවම කටයුතු කරන කාලයකි. පලක් නැති ගමන් බිමන් යෙදෙන නිසා එක දිගට එක තැනකට වී කටයුතු කිරීමටද අපහසු වේ. කොන්දේ අමාරු තුනටියේ අමාරු නිසා පීඩා ඇතිවන අතර වියදම් ද අධික වනු ඇත.

පුවපුටුප

ගුරුට අයත් පුවපුටුප නැකතින් උපන් ඔබගේ ග්‍රහචාර අනුව යහපත් ප්‍රතිඵල දෙන වසරකි. වසර මැද පදිංචි ස්ථානයේ දියුණුවකට කරුණු යෙදෙන අතර ස්ථාන වෙනසක්ද ඇතිවනු ඇත. නිතර වැඩකටයුතු වල යෙදී සිටීමට කැමැත්තක් දක්වන අතර විදේශ ගත වීම්වලට ද යොමුවනු ඇත. ඉගෙනීමේ කටයුතුවල නිරත වන අයට ඒ සඳහා බාධා ගෙන දෙනු ඇත.

උත්‍රපුටුප

සෙනුසරුට අයත් උත්‍රපුටුප නැකතේ උපන් අයට යහපත් කාලයක් වන අතර ආත්මාර්ථකාමී ගතියකින් යුතුව කටයුතු කිරීමට පෙළඹෙනු ඇත. උත්සාහයෙන් යුතුවම කටයුතු කරගෙන යාමටද ලැබෙන අතර අන් අයගේ වචනයට අහුම්කන් දී කටයුතු කිරීමෙන් යම් දියුණු තත්වයක පැමිණීමටද හැකි වනු ඇත.

රේවතී

බුධට අයට රේවති නැකතින් උපන් ඔබට මිශ්‍රඵල ගෙන දෙන වරසකි. වසර ආරම්භය ඉගෙනීමේ කටයුතු වලින් ජය ගෙන දෙනු ඇත. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවකින් යුතුව කටයුතු කරන අතර ක්‍රමානුකූල වැඩ කරගෙන යාමෙන් ජයග්‍රහණයක් අත්කර ගැනීමටද හැකිවනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.