සුබ ග්‍රහ යෝග රැසකින් සමන්විත 2021 වසර

ජනවාරි 1, 2021

ධර්ම කර්මාධිපති යෝග බලයක්

නීච භංග රාජ යෝග බලයක්

ගජකේෂරි යෝග බලයක්

විපරිත රාජ යෝග බලයක්

 

මෙවර හිරු උදාවට අනුව 2021 ජනවාරි 01 වන දින උදේ 6.22 ට උදා ලග්නය වනුයේ ධනු ලග්නයයි. එහි ග්‍රහ චාරය මෙසේ දැක්විය හැක.

මෙදින තත්කාල ලග්නයේ රවි, මෙදිනට හිමි පුෂ නැකතකින් 4 වැනි නැකත වූ පුවසල නැකතේ ක්ෂේම අවස්ථාවේ ගමන් ගනී. බුධ ද එම නැකතේම ගමන් ගනී. මේ අනුව ප්‍රබල ධර්ම කර්මාධිපති යෝග බලයක් ලග්නයේ ශුභවාදීව පිහිටීම නිසා රටට මෙන්ම පොදු ජනතාවට ද සහන සහ සැනසිලි උදා වීමට හේතු වන වසරක් වනු ඇත. එමෙන්ම කිවි දිනය දිනාධිපති වීමද එම සිකුරු දිනයේ පැවති පුෂ නැකතේ සම්පත් අවස්ථා උදා කරන දෙට නැකතේ ගමන් ගැනීමද ශුභ ඵල උදා කරන්නකි.

මෙහිදී යුද හමුදාව සහ ආරක්ෂක අංශය නියෝජනය කරන අඟහරු නොහොත් කුජ මේෂ රාශියේ වර්ගෝත්තම බලයකින් ගජකේෂරී යෝගය උදා කරමින් සිටීම රජයට මෙන්ම ජනතාවටද ශක්තිමත් ආරක්ෂාවක් ලැබෙන බව නිසැකවම කිව හැක. ත්‍රිවිධ හමුදාව අභීතව ක්‍රියා කරනු ඇත. රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිතුමා ද ලග්නාධිපති අඟහරු නොහොත් කුජ හිමි වෘශ්චික ලග්නයෙන් ජන්මය ලබා තිබීම මෙහිදී සුවිශේෂි සිදුවීමක් සේ පෙනේ. තවදුරටත් පැවසුව හොත් එතුමාගේ 6 වැනි උපචය ස්ථානයක් වූ මේෂ රාශියේ ගජකේෂරී යෝග බලයද සරලා නැමති විපරිත රාජ යෝග බලයද උදා කරමින් නව වසර ඇරඹෙන නිසා රටේ ප්‍රධාන ආරක්ෂකයා වශයෙන් ජනාධිපතිතුමාද 2021 වසරේ අභීත තීන්දු තීරණ ගන්නා බව පෙනේ.

අගමැතිතුමා උපන් කන්‍යා ලග්නයේද අටවැන්නාධිපති වශයෙන් ගජකේෂරී යෝගය උදා කළ අඟහරු සරලා නැමති විපරිත රාජ යෝග බලයද උදා කරමින් ගමන් ගැනීමත් ලග්නාධිපති විසින් බලගතු බුධ ආදිත්‍ය යෝගයක් 4 වැන්නේ නිර්මාණය කිරීමෙන්ද නීච භංග රාජ යෝගයක් උදා කරමින් සෙනසුරු සහ ගුරු බලවත් වූ පස්වැනි ත්‍රිකෝණයෙන් ගමන් ගැනීමද අයස්ථානගතව සඳු බලවත්ව සිටීම ද යන මෙකී කරුණු මත අගමැතිතුමාටද වටිනා ජනතා සේවයක් කිරීමට 2021 නව වසර හේතු බව පෙනේ.

මෙදින සරලා නැමති විපරිත රාජ යෝගය උදා කරන සඳු කටක රාශියේ බලවත්ව සිටීමද මෙම චන්ද්‍රයාට නීච භංග රාජ යෝගය උදා කළ බ්‍රහස්පතිගෙන් සප්තම දෘෂ්ටිය වැටීමෙන් ගජකේෂරි යෝගය උදාවීමද සුවිශේෂි කරුණකි.

ගජකේෂරී යෝගයෙන්ම බලවත්ව සිටින අඟහරු සඳු දකින නිසා ගජකේෂරි යෝග බලයද සඳුට ලැබෙන නිසාද මෙම චන්ද්‍රයා නවාංශකයේද බලවත් වූ ගුරුගෙන් දෘෂ්ටියක් ලබන නිසාද බොහෝ දුරට මෙම වසරේදි ජනතාව සෞඛ්‍ය නීතිරීතිවලට ගරු කරමින් සරල ජීවිත ගත කිරීමටත් ලද දෙයින් සතුටු වීමටත් වෙර වීරියෙන් ස්ව උත්සහයෙන් ජීවන මාර්ග සකසා ගැනීමටත් යොමු වනු ඇත. ඉපැරණි දේශීය ඖෂධ වට්ටෝරු මෙන්ම දේශීය ආහාර වර්ග පිළිබඳව ද ජනතාව ජාති කුලමල භේදයකින් තොරව ඒවා ඇගයීමට ලක් කරමින් එදිනෙදා ජීවිත නැණ ගුණ පිරි සමාජ රටාවන්වලට බොහෝ දුරට නැඹුරු විය හැක.

මෙහිදී ප්‍රබල නීච භංග රාජ යෝග බලයක් ධනස්ථානගතව පවතින හෙයින්ද ආර්ථිකය යම් පමණකින් හෝ ශක්තිමත් වේ. විදේශ ආධාර රජයට ලැබීමටද රාජ්‍ය කාරක රවිගෙන් දෙවැන්නේ ධනස්ථානයේ මෙම නීච භංග රාජ යෝගය පැවතීම සුවිශේෂය. මෙම නීච භංග රාජ යෝගය නිර්මාණය කළ ගුරු ශනි සංයෝගය නවාංශකයේද දක්නට ලැබීමද සුවිශේෂි කරුණකි.

2021 අප්‍රේල් මාසයේ 6 දින ගුරු ග්‍රහයා නීචත්වයෙන් මිදී කුම්භ රාශි ගත වීම සුවිශේෂි ග්‍රහ ගමනක් වන අතර ලංකා කේන්ද්‍රයේ නොහොත් කුම්භ ලග්නයේ මිත්‍ර ග්‍රහයකු වශයෙන් ද, අයස්ථානය හා ධනස්ථානය හිමි ග්‍රහයා වශයෙන් ද එසේ ලග්නගත වීම තුළින් දැනට පැතිර පවතින වසංගත රෝග තත්ත්වයන් බොහෝ දුරට සමනය වනු දක්නට ලැබේ. ජනතාව තම තමන් අදහන ආගම දහමට අනුව කටයුතු කිරීමට පෙළඹීම ද මෙම ගුරු ලංකා කේන්ද්‍රයේ ලග්නගත වීම තුළින් පිළිබිඹු කෙරේ. ලෝක ජනතාව තුළ මානුෂික හැගීම් වර්ධනය වීමටද මෙම ග්‍රහ මාරුව හේතු වේ.

උදා ලග්නයේ හයවැන්නාධිපති 12 පිහිටීමෙන් හර්ෂ යෝගය ද, අටවැන්නාධිපති 8 ම සිටීමෙන් සරලා යෝග බලයක් ද, දොළොස්වැන්නාධිපති වූ අඟහරු යෝග බලයකින් හා රාශි බලයකින් බලවත් ව අටවැන්න දැකීමෙන් විමලා යෝගය ද උදා වීමෙන් තත්කාල ලග්නයේ පූර්ණ විපරීත රාජයෝග බලයක් උදාවන්නා සේම, නවාංශකයේ දීද හයවැන්නාධිපති සහ අටවැන්නාධිපතිගෙන් හර්ෂ හා සරලා යෝග බල ද, දොළොස්වැන්නාධිපති අටවැන්න දැකීමෙන් විමලා යෝග බලය ද උදා වීමෙන් විපරීත රාජයෝග බල උදා ලග්නයේ හා නවාංශකයේ පැවතීම නිසා ගුරු නීචත්වයෙන් මිදීමෙන් අප්‍රේල් මස 6 වැනි දිනයෙන් පසු රටට මෙන්ම ලෝකවාසී ජනතාවට ද නොසිතන විපරීත ශුභ ඵල උදා විය හැක.

ලංකා කේන්ද්‍රයේ මෙන්ම විශ්ව කේන්ද්‍රය වූ මේෂ රාශියේ අයස්ථානයට මෙම බ්‍රහස්පති පැමිණෙන්නේ භාග්‍යස්ථානාධිපති වශයෙන්ද සුර ගුරු නොහොත් යුක්තිය පසඳින්නා වශයෙන්ද සැලකෙන මෙම බ්‍රහස්පතිගේ කුම්භ රාශි ගමන සමස්තයක් ලෙස ලෝක ජනතාව තුළ ද යුක්තියට ගරු කරමින් තම තමන් අදහන ආගම් ඇදහිලිවලට අනුව කටයුතු කරමින් සමාජයේ සංවරශීලිව සිටින පිරිස්ද දක්නට ලැබේ. ලංකාවේ මෙන්ම ලෝක ජනතාව තුළ ද ප්‍රසිද්ධ චරිත කිහිපයක් ඉස්මතු වනු දක්නට ලැබේ. ඵෙතිහාසික නඩු තීන්දු අප රටේ මෙන්ම විවිධ රටවලද අසන්නට දකින්නට ලැබේ.

මෙසේ වූව ද වින්දනයට සැපයට කලාවට අධිපති සිකුරු කේතුගෙන් හා රාහුගෙන් පීඩා වීම නිසා ද නවාංශකයේ ද මෙසේ ම සිකුරු පීඩාවට පත්වීම නිසා ද සිතට හා සිතුවිලිවලට අධිපති සඳු සෙනසුරුගෙන් පීඩාවීම නිසා ද, පාප පීඩිත වූ සිකුරුගෙන් ත්‍රිකෝණ දෘෂ්ටියට හසුවූ නිසා ද, බොහෝවිට අමිහිරි දුක් වේදනා සහිත අවස්ථාවන්ට ජනතාවට මුහුණ දීමටද සිදුවේ. මේ හේතු මත ළමා අපචාර ස්ත්‍රී දූෂණ ඇති වීමටත් නොහික්මුණු සිත් ඇතිව විවිධ හේතු කාරණා මුල් කරගනිමින් අදූරදර්ශීව කටයුතු කරන පිරිස් ද අපරට මෙන්ම විදෙස් රටවලද මේ අතර දැකිය හැකි වේ. කලාකරුවන්ට ද මෙම වසර අපල සහිත කාලයකි. ප්‍රසිද්ධ චරිත හිමි කලාකරුවන් කිහිපදෙනෙක් දැයෙන් හා ලොවෙන් සමුගනු ඇත. දෙස් විදෙස් හි සුපතල චරිත මේ අතර දක්නට ලැබේ. කාලගුණ - දේශගුණ විපර්යාසවලින් ද නොසිතන පාඩු හා අලාභ හානි සිදු විය හැක.

සෙනසුරු බලවත් වසරක් නිසා ද, කුම්භ ලග්නයේ ලග්නාධිපති වශයෙන් මේ සෙනසුරු බලවත් නිසාද කම්කරු ජනතාවට සහන රැසක් හිමි වන අතර, මේ කම්කරු ජයග්‍රහණ ලෝකවාසී සියලුම කම්කරුවනට හිමිවනු ඇත. මේ අතර ලංකාවේ හා ලොව නන් දෙසින් නිල් මැණික් මතුවනු ඇත. මේ සමගම උදා ලග්නයේ කුජ

නොහොත් අඟහරු ගජකේෂර යෝගයෙන් බලවත් නිසා ආරක්ෂක අංශය ප්‍රබල වේ. එමෙන් ම ලොව නන් දෙසින් රන් ආකර මතු වීමද රතු මැණික් මතුවීමක් ද පෙන්නුම් කරයි.

මේෂ කටක මීන වෘෂභ සිංහ මකර තුලා යන ලග්නවලට ශුභ ඵල සහිතයි. උපතේ දී සඳු පිහිටීම සහ පවතින දසා අනු දසා අනුව මෙම ප්‍රතිඵල වෙනස් විය හැක. තවද 2021 අප්‍රේල් 06 වන දින ගුරු කුම්භ රාශි ගත වීමෙන්ද මෙම ප්‍රතිඵල වෙනස් වේ.

සැකසුම : හර්ෂණී විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.