කතුවැකිය

දරුවන්ට දිය යුත්තේ විනය මිස දඬුවම නොවේ

නොවැම්බර් 22, 2018
“හොඳම දේ දරුවන්ටයි” යනු ලොව ප්‍රචලිත කියමනකි. දිළිඳු පැල්පතේ සිට මහා මන්දිර දක්වා එය පොදු කරුණකි. මවුපියන් හැම දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ ඒ පැතුම ඉටුකරන්නටය. විශේෂයෙන් අපේ රටේ අම්මාවරු ඒ අතරින් කැපී පෙනෙයි.
 
 
මවුපියන්ගේ සෙනෙහස රැකවරණය තරමට කියැවෙන අනෙක් පාර්ශවය වන්නේ ගුරුවරු ය. බහ තෝරන වියේ සිට යෞවනත්වයට පා තබන තුරුම දරුවන්ගේ ජීවිතවලට සමීපතම සොයා බලන්න,... ආරක්ෂකයා වන්නේ මවුපියන් හැරුණු විට ගුරුවරයාය. මවුපියන් කියන දේ පිළිපදින්නට මැළිකමක් දක්වන දරුවෝ ගුරුවරු යමක් කීවිට හිස්මුදුනෙන් පිළිගන්නට තරම් ආදර භක්තියක් ඇත්තේ ගුරුවරු ඒ තරමට අපගේ ජීවිතවලට සමීප බැවිනි. පාසල දෙවැනි නිවෙස ලෙසටත් ගුරුවරු දෙවැනි මවුවරු, පියවරු ලෙස සලකන්නේත් ඒ උත්තරීතරත්වය නිසාවෙනි. පරාර්ථකාමී හැඟීමෙන් හිත් පුරවාගත්තු දයාව, කරුණාව සැමට එකසේ පැතිර වූ... දාරක ස්නේහයෙන් සංවේදී වූ එවන් ගුරුපරපුරක් සිටි අභිමානවත් ලක්දෙරණකි, මේ.
 
දේවත්වයෙන් ඇදහිය හැකි ගුරු උත්තමයන්ගේ දැනුම ලබන්නටත්, ජීවිතය ඉගෙන ගන්නට කළ ඒ ආදරණීය මඟ පෙන්වීම දරුවන් වූ අපගේ ජීවිතයේ ශක්තිමත්ම අඩිතාලම විය. කලෙක විවිධ අවධීන් පසුකරමින් ගොස් වෘත්තීය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ පියවරෙන් පියවර ඉදිරියට යන විට හිස උදුම්වා ගැනුම වෙනුවට නිහතමානී ගුණයේ වටිනාකමත්, බොහෝ දේ අහිමි වන විට ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටීමේ ජීවිත පාඩමත් කියාදුන් ඒ ගුරු මෑණිවරුන්, පියවරුන් අප කෙසේ නම් අමතක කරලන්නේ ද? රුපියල් සත මත සියලු දේ තීන්දු වන සමාජයක එදා අප දුටුවේ මානව දයාවෙන් උතුරා ගිය ගුරු පරපුරකි.
 
(වර්තමානයේ අමතර පන්තියකට...., ගෙවා ඉගෙනුම ලබන පාසලක නම් වාරයක්, දෙකක් මුදල් නොගෙවූයේ නම් පන්තියට හෝ පාසලට යන්නට දරුවන්ට අවසර නැත.)
 
අතීතයේ අපි දුටුවේ දේවත්වයෙන් පිදිය හැකි ගුරුභවතුන්ය. ඔවුන් පිළිබඳ සිතන විට අපගේ හිත තවමත් ආදරයෙන් ගෞරවයෙන් පිරී ඉතිරී යයි. එවකට මා සිටියේ අ.පො.ස. උසස් පෙළ හදාරමින්ය. අප පවුලේ පිරිස බොහොමයක් බැවින් දරුවන්ට ඉගැන්වීම අම්මාට තරමක බරක් විය. විශේෂයෙන් අප පවුලේ දරුවන් අමතර පන්ති යාමට පුරුදු නොවූයේ සියලු බර මවට තනියම දැරිය නොහැකි බව ඒ වන විට අප හැමෝම අවබෝධ කරගෙන සිටි හෙයිනි.
 
එවකට අප ප්‍රදේශයේ සිංහල පන්තියක් පවත්වා ගෙන ගිය ගුරුවරයකු වීය. ඔහුගේ ඉල්ලීම පරිදි මමත්, මට වැඩිමහල් සහෝදරියත් එම ගුරුවරයාගේ අමතර පන්තියට සිංහල ඉගෙනුමට ගියෙමු. මාස් පතා ගෙවන්නට මුදල් අපට තිබුණේ නැත. එහෙත් කිසිම දිනෙක එම ගුරුතුමා අපගෙන් මුදල් ඉල්ලා හෝ හිත රිදෙන වදනක් හෝ පැවසුවේ නැත. ඉඳහිට අප මුදල් දෙනවිට පවා එතුමා විමසුවේ “අම්මට සල්ලි තියෙනව ද?” යන්න පමණි. එතුමාට අවශ්‍ය වූයේ අප හොඳින් උසස් පෙළ සමත් වනු දැකීමය. පසු කලෙක මමත් සහෝදරියත් විශ්ව විද්‍යාලයට සමත්ව උපාධි ලබාගනිමින් ජීවිතයේ ඉදිරියට එන විට එතුමාගේ මුහුණෙහි රැඳී තිබූ නිහතමානී සුන්දර සිනහ රැල්ල තවමත් මා සිත රැඳී ඇත. ලක්ෂ සංඛ්‍යාත දරු දැරියන් තමන්ගේම දරුවන් සේ සලකා නැණ පහණ දැල්වූ බොහෝමයක් ගුරුවරු අතරේ සරත් අල්මේදා නම් වූ ඒ ගුරු පියාණන් අද ගුරු දිවියෙන් විශ්‍රාම ගත්ත ද ඔහු කළ සේවය ස්මරණය කරන්නේ සැබැවින්ම උපහාරයක් ලෙසිනි.
 
මෙවැනිම තවත් ගුරු උතුමකු මට හමුවූයේ ගුරුකුල විදුපියසේදීය. එවකට මෙම ගුරුවරයා ද ගුරු වෘත්තියට පිවිසි ආධුනිකයෙකි. එතුමාගේ විෂයය වූයේ නාට්‍ය හා රංග කලාවයි. ඉතාම උනන්දුවෙන් ඉගැන්වීම් කටයුතු කළ මේ ගුරුතුමාට ද උසස් ප්‍රතිඵල පෙන්වීමේ අවශ්‍යතාවක් තිබුණි.
 
“මම ඔයාලට පාසලේ උගන්වනවාට අමතරව උගන්වන්න කැමැතියි. සල්ලි එපා. හැමෝම ඒ එකක් අරගෙන විභාගේ සමත් වෙන්න”
 
අප හැදී වැඩුණේ මෙවැනි ගුරුවරු යටතේ ය. විෂයය නිර්දේශයට අමතරව ජීවිතය ගැන ද ලැබෙන විවේකයේ දී කියා දුන්නේ ය. ජීවිතය ජය ගත හැක්කේ... රටට වැඩදායී පුරවැසියකු විය හැක්කේ..... ඉගෙන ගන්න කාලයේ හොඳින්ම පොත පතට නැඹුරු වුවහොත් පමණක්ම බව නිරන්තරයෙන්ම අපගේ හිතට කාවද්දවන්නට ද එම ගුරුතුමා උත්සාහ කළේය. ඔහු ඔහුට ලැබෙන හැම විවේක මොහොතක්ම අපට ඉගැන්වීමට වෙන් කළේ කිසිදු ලෝභකමකින් තොරවය. ඔහු අපේක්ෂා කළ පරිදිම ඉගෙනගත් දරුවෝ කිහිප දෙනාම උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට පිවිසෙන්නට වරම් ලැබීය.
 
අප උසස් ලෙස සමත් වූ බව දැන ගත් මොහොතේ ඇදුරුතුමන්ගේ දෙනෙතෙහි වූ දීප්තිමත් බැල්ම මට මෙන්ම මාගේ අනෙකුත් මිතුරු මිතුරියන්ටත් තවමත් මතකය.
 
පසුකලෙක මා අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් කළ සිත්මිණ පුවත්පතට දේශප්‍රිය බණ්ඩාරතිලක නමින් නාට්‍ය හා රංග කලාව විෂයය ඉගැන්වූයේ එතුමාය.
 
දශක දෙක තුනකට ඉහතදී මෙවැනි ගුරුවරු අප සමාජයේ සුලබව දක්නට ලැබිණ. දරුවන්ගේ යහපත අරඹයා තෑගි බෝග හෝ පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවීම ඉගැන්වීම් කටයුතු කළේ එය තමාගේ වගකීමක් සේ සලකාය. ඉඳහිට දරුවකුට දඬුවම් කළේ නම් ඒ දරුවාගේ අනාගත සුබ සිද්ධිය උදෙසා මිස දරුවා අංගවිකල හෝ ආබාධිත තත්ත්වයට පත් කරලීමේ කුරිරු චේතනාවකින් නොවේ. අව්වේ විනාඩි කීපයක් දණ බිම තබා සිටීම, වේවැලෙන් අත්ලට හෝ පාදයට පහරක් දෙකක් වැරෙන් ගැසීම, ටොක්කක් ඇනීම වැනි දේට වඩා දෙයක් ඒ කාලේ වැඩිහිටියන්ට අසන්නට ලැබුණේ නැත. වරදක් කළ විට ඒ වරද නිවැරැදි කිරීම සඳහා යහමඟට ගැනීමට දඬුවම් දීම වරදක් නැත. එවැනි දඬුවම් සඳහා මවුපියන් ද මානව හිමිකම් ආයතනයට පැමිණිලි කරන්නට ගියේ නැත.
 
“ආ... ඔය ගුරුතුමා දඬුවම් කළේ මගේ දරුවා හදාගන්න නේ. ඒකේ වරදක් නැහැ”
 
මවුපියන් දරුවන්ට ගුරුවරු ලබාදෙන දඩුවම් සම්බන්ධයෙන් දැරුවේ එවැනි මතයකි. දරුවන්ගේ කන්අඩි පලමින්....ආබාධිත බව උරුම කරමින් ජීවිත කාලයටම විඳවන්නට වන දඬුවම් ගැන එදා අසන්නට දකින්නට ලැබුණේ නැත. එවැනි දඬුවමක් ගැන ඉඳහිට හෝ අසන්නට ලැබුණේ නම් ඒ විශ්වවිද්‍යාලවල නවක වදය සිදුවීමකි. පාසල් තුළ එවැනි අමානුෂික හිංසනයන්ට බඳුන් වූ සිද්ධි ඉතාම විරල විය.
 
එහෙත් පසුගිය දිනෙක කාර්යාලයට පැමිණි මිතුරියක් කියූ සිද්ධියක් මා හද සසල කළේය. ඇගේ ජංගම දුරකථනයේ වූ ඡායාරූප කිහිපයක් දැකීමෙන් මා දැඩි සංවේගයට පත්වීමි.
 
“ඊයේ මේ දරුවාට ඉස්කෝලේ සර් කෙනෙක් කොස්සක් කැඩෙනකම්ම ගහලා”
 
පාසල් දරුවකුට කොස්සක් කැඩෙනකම් ගහලා... කොහේ තියෙන නීතියක් ද මේ ?
 
අප දන්නා පරිදි නම් ගුරුවරු දරුවන්ට දඬුවම් කරනුයේ වේවැලෙනි නැතිනම් අතින් පහරක් එල්ල කරමිනි.
 
ඇය පෙන්වූ ඡායාරූප දකින විට මට පැහැදිලි වූයේ එය ඉතාම දරුණු පහරදීමක් ලෙසයි. ශරීරය පුරාම දැඩි තැලීමකට භාජනය වූ ස්වරූපයක් දක්නට ඇත. මෙය දඬුවමක් ද පළිගැනීමක් ද? හිතෙන තරමට තුවාලවල තත්ත්වය බරපතළය.
 
විස්තර දැනගත් පරිදි මේ දරුවා ඉගෙනුම ලබන්නේ රත්නපුර ප්‍රදේශයේ පාසලක. මේ දරුවාගේ මව මිය ගොසිනි. පියා අතහැර ගිය මේ දරුවා ජීවත් වන්නේ මිත්තණිය සමඟය. ඔහු මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන්නෙකි. දැඩි ආර්ථික ප්‍රශ්න සමඟ ජීවත්වන මේ දරුවාගේ එකම ඉලක්කය වූයේ මෙවර විභාගයෙන් උසස් ලෙස සමත්වීමයි. දිවා රෑ නොබලා ඔහු වෙහෙසුණේ තම අරමුණ ජයගැනීමටය. කොණ්ඩය, රැවුල ගැන හිතන්නට වෙලාවක් නොවුණු ඔහු පාසලට ගියේ අවසන් දින කිහිපය බැවිනි. යන්තමට මුහුණේ තිබුණු රැවුල දුටු ගුරුවරයා ඒ බව මේ දරුවාගෙන් විමසා ඇත.
 
“රේසර් එකක් ගන්න සල්ලි තිබ්බෙ නැහැ සර්. තාත්තාගෙන් සල්ලි ඉල්ලාගෙන සෙනසුරාදා කපා ගන්නම්”
 
ඒ ඇසුණු ගුරුවරයාට කේන්ති ආවේය. අතට හසු වූයේ කොසු මිටකි. කොසු මිට කැඩෙන තුරු දරුවාට එහාට මෙහාට දමමින් පහර දී ඇත. තමාගේ නැතිබැරිකම කී විට ගුරුවරයා හැසිරී ඇත්තේ වියරු වැටුණු අයකු මෙනි. දරුවකුගේ නැතිබැරිකම ඉදිරියේ ගුරුවරු හැසිරිය යුත්තේ මෙලෙස ද? විශේෂයෙන් නව යොවුන් වියේ පසුවන දරුවකුට හරි වැරැද්ද පෙන්වා දිය යුත්තේ මෙලෙස ද? ගුරුවරයකු දරුවකුට දඬුවමක් දියයුත්තේ යහමඟට ගැනීමට මිස නොමඟට යැවීමට නොවන බව දන්නා කරුණක් වුවත් ගුරුවරුන් මෙලෙස ම්ලේච්ඡ ලෙස හැසිරෙන විට ගුරුවරු සම්බන්ධයෙන් දරුවන්ගේ සිත්වල ගොඩනැඟෙන ආකල්පය කෙබඳු වේ ද? මේවාට වගකිව යුත්තේ කවුරුන් ද?
 
විශේෂයෙන්ම බිඳුණු පවුල් පසුබිමක හැදෙන වැඩෙන දරුවන් ගැන පාසල මෙන්ම සමාජය ද මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය. නැතහොත් විනාශ වී යන්නේ රටේ අනාගතයේම කොටසකි.
 
රටක අනර්ඝතම සම්පත දරුවෝය. දරුවෝ රැක බලා ගැනීම සමස්ත රට වැසියන්ගේම වගකීමකි. “මගේ දරුවා” පමණක් ලෙස නොසිතා “අපේ දරුවන්” ලෙස සිතා කටයුතු කරමු. අතීතයේ මෙන් දරුවෝ පෝලිමක් පවුල්වලට නොමැති බැවින් ඉන්න එකා දෙන්නා පවුලට රත්තරන් ය. ඔවුන්ගේ අනාගතය ගොඩනැඟෙන්නේ පාසලෙනි.
 
නිවෙසේ මැණික මෙන් පරිස්සමෙන් රැකගන්නා දරු පැටවුන්ගේ ආරක්ෂාව පාසලේ දී තහවුරු විය යුතුය. සමස්ත ගුරු ප්‍රජාවම එයට දායකවීම ඔවුන්ගේද යුතුකමකි. වගකීමකි.