අර්ථ පූර්ණ නිදහසක් උදෙසා

ජනවාරි 29, 2021

නිදහසේ ස්වර්ණමය සැමරුම 73 වන වියට පා තබයි. මේ වාසනාවන්ත අවස්ථාව සියැසින් දුටු බොහෝ දෙනෙකු තවමත් අප අතර සිටිති. ඒ අභිමානය දැනෙන්නේ ඒ අයට පමණක් නොව අපටද දැනෙන්නේ නිදහසක අගය කොයි තරම් දැයි හොඳින් දන්නා නිසාය.

එදා අප රට පාලනයට යටත් කරගෙන සිටි විජාතිකයින්ගේ අණසකට යටවූ අපේ වැසියන්ට සිදුවූ අනේකවු අතවරයන් නිසාම සාමාන්‍ය ජනතාව හැරුණූු කොට ආගමික නායක නායිකාවන්ද සිය දිවිය කැප කළ අවස්ථා අපට අසන්නට ලැබේ. සිංහල – දෙමළ , මුස්ලිම් , බර්ගර් යන සියලු ජන කොටස් මෙන්ම බෞද්ධ කතෝලික, හින්දු මුස්ලිම් යන සියලු ආගමිකයන්ද පක්ෂ – පාට ජාති – ආගම් බේද නොසලකා එකම රටක එකම මවකගේ දූ දරුවන් ලෙස එකට එකතු වී කටයුතු කිරීමට එක ධජයක් වටා එක් රොක් වූහ. ඒ ඒකරාශි වීම නිසාම අදද අපට අපේ යැයි කිවහැකි දේ ලැබි තිබීම සතුටට කරුණකි. අපේ හෙළයේ කොඳු නාරටියවූ ආගමික ඇදහිලි නිසාම කිසිම සතුරෙකුට අපේකම සොරාගන්නට නොහැකි විය.

ඒසා විශාල කැපවීමක් කළ ජාතියක් විසූ ලංකාවේ එදා තිබූ ඒ එකමුතුකම අධිෂ්ඨානය හා කැපවීම නොවන්නට මේ ලද නිදහස බොහෝවිට පට සැක සහිත විය. 1948 පෙබරවාරි 04 දිනට පෙර විසූ අපේ මිනිසුන් තුළ ඒ එකමුතුකම අපේකම තිබුණත් මේ වන විට මුදලට බලයට – තනතුරට ලොල් වූ පිරිසක් තුළින් ඒ අභිමානණීය අරමුණු එකින් එක වැළලී ගොසිනි. එදා විජාතිකයා අපේ කොඳු නාරටිය බිඳ දැමීමට අපට හුරුකළ මත් පැන මේ වන විට විවිධ ආකාරයෙන් වැඩි දියුණුව ඉතා භයානක අයුරින් මුල් බැසගෙන තිබීම කණගාටුවට කරුණකි. රටේ සියලු ජනකොටස් සඳහා තදබල ව්‍යසනයක්වී ඇති මත් උවදුරු ලෙහෙසියෙන් මර්ධනය කිරීමට නොහැකි වන අන්දමට ව්‍යාප්ත වී ඇත. එදා එකිනෙකා අතර තිබූ සහයෝගිතාව බිඳී ගොසිනි. ඒ නිසාම තාප්ප – ගේට්ටු වලට මැදිව මන්දිර වලට කොටුව ජීවත් වන අප තුළ පෙර තිබු නිදහස කොහෙත්ම නැත. පාට, පක්ෂ වශයෙන් ජාති ආගම් වශයෙන් බෙදී සිටින ජනතාවක් වෙසෙන රටක් ලෙස අද අප නිදහස ලැබීමට හෝ තිබූ ජාතිකත්වයෙන් දුරස්වී සිටීම ජාතියේ කොඳු නාරටිය බිඳී යාමත් නොවන්නේද?

යටත් විජිත බවින් මිදුණූ බොහෝ රටවල් අද වන විට බොහෝ ඉහළ දියුණුවකට පත්ව ඇතත් ශ්‍රී ලාංකික ජනතාව ලද නිදහස අයුතු ලෙස බුක්ති විඳිමින් සිටින බව සෑම අංශය තුළින්ම විදහා දැක්වී තිබීම කෙතරම් නම් අවාසනාවක්ද එසේ නම් යටත් විජිත යුගය මීට වඩා අපට යමක් ඉතිරිකර දුන් යුගයක් යයි සිතෙන තරමට අප අසරණයෝ වී සිටිති. එහෙත් ඒ සියල්ලටම හේතුව පෙරට යන්නාගේ කකුලෙන් අදින පිළිවෙතේ ප්‍රතිඵල නොවන්නේද එසේ නොවී අපි පෙරට යන්නන්ට තව තවත් අත හිත දිය යුතුය. අගය කළ යුතුයි. එකට එකතු විය යුතුයි. ඒ සඳහා වර්තමානය හොඳ පසුබිමක් සැකසි ඇත. ඒ වටා සැම රොක් වෙමු රට පෙරට ගෙන යමු . එවිට ඉදිරි නිදහස් සැමරුම් ඉතා සතුටුදායක අර්ථපූර්ණ සැමරුම් බවට පත්වේවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.