ආහාර පිළියෙළ කිරීමේ ආයුර්වේද රහස්

මාර්තු 6, 2020

ආහාර යනු සියලුම ජීවි සමූහයාගේ මූලික අවශ්‍යතාවයකි. කායික හා මානසික ශක්තිය සඳහා ආහාර ඉවහල් වන බැවින් ජීවයේ පැවැත්මට එමඟින් දක්වන දායකත්වය අතිමහත්ය.

මනුෂ්‍ය ජීවිතයේ උතුම්ම ලාභය වන නිරෝගිබව ලබාගැනීමට සේම ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාව, සතුට, පුෂ්ටිමත් බව යනාදිය ලැබෙනුයේද ආහාර මගිනි. ශරීරයේ දෝෂ හා ධාතු සමතුලිතතාවයට බාධා නොවන පරිදි නියමිත කාලයේදී ගන්නා ආහාරය. සිරුරේ සෞඛ්‍ය සම්පන්න බව පවත්වාගැනීමට ඉවහල් වන බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන්ද දක්වා ඇත. අතීතයේ දී නිරෝගී සෞඛ්‍ය සම්පන්න සමාජයක් පැවැතීමට බලපාන ලද ප්‍රධානතම සාධකයක් වූයේ එකල පැවති ආහාර පිළිවෙත් වේ. පුරාණයේ ආහාර තාක්ෂණය පිළිබඳ දැනුම ඉතා ගැඹුරු විය. එකල ආහාරපාන ඛාද්‍ය, බෝජ්‍ය , ලෙය්‍ය හා පෙය්‍ය යන ආකාර සතරෙන් සමන්විත විය. “ඛාද්‍ය” යනු සපා, කෑමට ගත යුතු ආහාර වර්ග වන අතර “බෝජ්‍ය” යනු වැළඳිය යුතු ඝන හා මොලොක් ආහාර වර්ග වේ. “ලෙය්‍ය” යනු ලෙව කෑ යුතු ආහාර වන අතර “ප්‍යෙය” යනු පානය කළ යුතු ආහාර වර්ග වේ.

එකල ආහාර රටාව ගත් කල හීලය, දියපසය, සුළුපසය, මහපසය, අතුරුපසය, ඉඳුල්පසය ලෙස වේල් සයකින් සමන්විත විය. තුන්වේල යනු ප්‍රධාන ආහාර වේල්ය. ඒවා හීලය, මහපසය හා සුළු පසය යන වේල් තුනෙන් යුක්තය. උදේම හිස්බඩට ගන්නා ආහාරය දියපසයයි. එය කැඳ හෝ කිරි කෝප්පයකි. දවසේ පළමු ආහාරවේල හීලයයි. දියබත් හෝ හීල්බත්, මාළු ,කිරි හා අල වර්ග මහපලසය විය. මහවේල බත්, කොස්, කුරක්කන් , පිට්ටු , මස්, මාළු සහිත බර ආහාරයක් විය. මහපස අතරතුර අතුරපස ආහාරයට ගැනුණි. ඉඳුල්පසය යනු දීකිරී, මෝරු, දිවුල් කිරි, තල් කිරී, පැණි හා සීනි කැකිරි යනාදියයි. මෙය අවසන් වන්නේ බුලත්විටකිනි.

පුරාණයේ ආහාර පිළියෙළ කිරීමේදී රස පහක් ඔස්සේ ආහාර සැකසීමට ගෘහණියන් කටයුතු කර ඇත. ඒ ලුණුූ, ඇඹුල්, තිත්ත, කහට හා පැණි රස වශයෙනි. එහිදී ධාන්‍ය වර්ග ප්‍රමුඛ වූ අතර එළවළු පලා වර්ග, අල වර්ග, මස් වර්ග, පලතුරු, රසකැවිලි හා පාන වර්ග සෙසු වැදගත්කමින් යුක්ත විය. ඒ අනුව විවිධ විටමින්, ඛනිජ ලවණ හා අනෙකුත් ප්‍රධාන පෝෂණ ගුණයන් යහමින් සැපයිණි. ඔවුහු තැම්බීමෙන්, පිසීමෙන්, බැදීමෙන් ,තෙම්පරාදු කිරීමෙන් හා අමුවෙන් ප්‍රනීත ආහාර වේලක් සකසා ගත්හ. මෙසේ පෝෂණ ගුණය නොනැසෙන ලෙස ආහාර පිසගැනීම සේම රුචිය වඩන ලෙස පිළිගැන්වීමද එකල ලාංකිකයන් වැදගත් කොට සැලකූහ. ශාරිරික මෙන්ම මානසික පෝෂණයටද මේ සියලු දේ එකසේ වැදගත් කොට ඔවුන් සැලකූ බව මේ අනුව පැහැදිලි වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.