හෙළ වෙදකමේ ප්‍රධානම පරීක්ෂණ ක්‍රමය නාඩි ශාස්ත්‍රය

ජුනි 11, 2021

වර්තමානයේ දේශීය වෛද්‍යවරුන් නාඩි මඟින් රෝග සෙවීමට මෙන්ම හඳුනා ගැනීමට උනන්දු නොවන්නේ ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමට මාර්ගයක් එනම් ගුරුවරුන් නොමැති නිසාත්, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් සමහර රෝග හඳුනා ගැනීමට වෛද්‍යවරුන් හුරු වීම නිසාත් ය.

 

නවීන තාක්ෂණය මඟින් සමහර රෝග හඳුනා ගත හැකි නමුදු සමහර රෝග හඳුනා ගත නොහැකි ය. එහෙත් නාඩි ශාස්ත්‍රය, නාඩි දැනුම ප්‍රගුණ කළ වෛද්‍යවරයා රෝගය පමණක් නොව රෝග නිදානය ද නාඩි මඟින් හෙළිදරව් කරනු ඇත. රෝග නිදානයන් සෙවීම නවීන තාක්ෂණය මඟින් කළ නොහැක්කේ ය.

නාඩි පරීක්ෂා කිරීමට ප්‍රථම ඒ පිළිබඳව උගත් මූලික සිද්ධාන්ත අනුගමනය කරමින් රෝග පරීක්ෂාව උගත් වෛද්‍යවරයා විසින් සිදු කරයි. නාඩි මඟින් රෝග හඳුනා ගැනීමට වෛද්‍යවරයා දීර්ඝ කාලයක් ප්‍රගුණ කළ ශික්ෂණයෙන් යුක්ත අයෙකු විය යුතු ය. සන්සුන් වූ මනසකින් කටයුතු කළ හැකි විය යුතු අතර සමාධිගත විය යුතු ය.

 

ස්ථිර ච්ත්තේන නිරෝගශ්ච -

සුඛාසීනං ප්‍රසන්නධිඞ

නාඩි ඥාණ සමත්ථඞ සහදින්‍යාහු පරමර්ෂයඞ

 

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී වශයෙන් වූ කරුණු පිළිබඳව සිත නොඇලෙන පරිදි නොසෙල්වෙන සිත් ඇත්තේ ද, නිරෝගී වූයේ ද, ප්‍රඥා සම්පන්න වූයේ ද, එම වෛද්‍යවරයා සුව පහසු අසුනක හිඳගෙන නාඩි පරීක්ෂා කරයි. හෙතෙම නාඩි ඥාණයෙහි දක්ෂයෙක් වන්නේ ය.

 

නාඩි පරීක්ෂාවට නුසුදුසු වෛද්‍යවරයාගේ ලක්ෂණ

සිහි විකල් වූද, ස්ථිර සිත් නැත්තා වූ ද, මල - මුත්‍ර ආදී වේග සහිත වූ ද, වස්තු ලෝභ ඇත්තාවු ද කාමයෙන් පීඩිත වූ ද, පාපයට බිය නැත්තා වුද වෛද්‍යවරයා නාඩි පරීක්ෂාවට නුසුදුස්සෙක් වන්නේම ය.

 

නාඩි පරීක්ෂා කිරීමට නුසුදුසු අවස්ථා

ස්නානය කළ විගස, ආහාර අනුභව කළ විගස, හිසට තෙල් ආලේප කළ විගස, බඩගිනි හා පිපාසිත වූ කල, නිදිගත් අය.

නාඩි පරීක්ෂාවේ දී ස්ත්‍රීන්ගේ වම් අතෙහි ද පුරුෂයින්ගේ දකුණු අතෙහි ද නාඩි පරීක්ෂාව කළ යුතු වේ. පිරිමින්ගේ දකුණු අත වෛද්‍යවරයාගේ වමතින් අල්ලාගෙන දකුණතින් නාඩි බැලීමද, ස්ත්‍රීන්ගේ වම් අත වමතින් ගෙන දකුණු අතින් නාඩි බැලීමද සිදු කරයි. පිරිමින්ගේ දකුණු අතේ ද, ස්ත්‍රීන්ගෙග් වම් අතේ ද මාපටැඟිලි මුල මැණික් කටු සන්ධියේ නාඩි පැහැදිලිව පෙන්නුම් කරයි.

 

දකුණත පිරිමි අරගෙන ඇඟිලි හිරි ඇර

වම් අත රැගෙන ගැහැනුන්ගේ ද එම යුර

අර ගත යුතු මහපටැගිල්ලේ මුල් කර

සඳ ගත නාඩි මැනගෙන දෙයගුල් විර

 

නාඩි පරීක්ෂාවට පෙර නාඩි ස්පන්දනය දැනෙන තැනට අතැඟිලි තබා මොහොතින් ඉවතට ගත යුතු ය. මෙසේ තෙවරක් ඇඟිලි තබා අත හැර පසුව නාඩිය පරීක්ෂා කරනු ලැබේ. එමෙන්ම නාඩි පරීක්ෂා කරන විට රෝගියාගේ අත දිග හැර ඇඟිලි මදක් නවා ගෙන සිටිය යුතු ය. මිට මොලවා ගත් අතක හෝ සම්පූර්ණයෙන් අතෙහි ඇඟිලි දිග හැර නාඩි පරීක්ෂා කරනු නොලැබේ. නාඩි පරීක්ෂා කරන මොහොතේ දී රෝගියා නිශ්ශබ්දව එනම් කතා නොකර සිටිය යුතු ය.

 

නාඩි රිද්මය හඳුනා ගැනීම

තිසරුන් කුකුළු කටුසන් මොනර ගමනි න

යනු වෙයි නාඩි අස වියතුනි වාතයෙන

රකුසන් ජල මසුන් ඉබි ගෝනුසු පිති න

මැඩියන් නාගයින් ගමනේ සෙමින් ව න

 

සමහර අවස්ථාවලදී විවිධ හේතූන් නිසා නාඩි වැටෙන ආකාරය නිසි පරිදි ඇඟිලි තුඩුවලට දැනීම සිදු නොවන බව දැනෙන්නේ නම් රෝගියාගේ අත වැලමිට ළඟින් කිහිපවරක් දිග හැරීම හා හැකිලීමට සැලැස්වීමෙන් පසුව එම තත්ත්වය මඟ හරවා ගත හැකි ය.

නාඩි විධි චිකිත්සා

 

පිරිමින් දකුණ අල්ලා ඇඟිලි හිරි හැ ර

ගැහැනුන් වම් අත ද ගෙන එම ලෙසට ක ර

සැකවින් ඒ හස්තය වූ නාඩි කිවිය ර

පවසමි ලකුණු සයකට පැමිණි තොරතු ර

 

මා පට ඇඟිලි මුල සද නවතා තැන ට

හරිමමිමින් දෑගුලලක් අල්ලා ඉන් මෙ පිට

එක්වෙති දෙවෙනි තුන්වෙනි වෙද ඇඟිල්ල ට

ක්‍රමයෙන් ගැසෙනු වෙයි දනු වා පිත් සෙම ට

 

ශරීරයේ සෑම සන්ධියක් පාසාම නාඩි පිහිටා ඇත.

නාසා පුට මුක දෙපසේ කම්මුලෙ හී

දෙවුර දෙදණ දෙඋකුල වැලමිට දෙකෙ හී

විලුඹ දෙකද යන සැම ගත සඳ පලෙ හී

ඇත නාඩි දනු වියතුනි අත මුලෙ හී

 

වෛද්‍යවරයාගේ ඇඟිලිවලට නාඩි දැනේ

 

වාත නාඩි සුළඟිලි ගාවා ඇඟිලී

පිත් නාඩිය දැන ගන්නේ මැද ඇඟිලී

සෙම් නාඩිය පවසන්නේ දබරැ ගිලී

හද නාඩිය පිත් සමගයි රුධිර වෙලී

පිත් නාඩිය වැඩි නම් වාත කෝපයයි. පිත් නාඩිය අඩු නම් රත් පිත් දෝෂයයි. වාත නාඩිය නැඟීමෙන් සෙම් කෝපයද, සෙම් නාඩි නැගීම උදර හෙවත් ජ්වර රෝග නිදාන මුල වේ.

පිත් නාඩිය වැඩි කලෙ වාතයෙ දොස ට

එම නාඩිය අඩුවේ රත් පිත් වල ට

වා නාඩිය ඇති වූයේ සෙම් දෝෂය ට

සෙම් නාඩිය ඇත්තේ උදරෙහි රොව ට

 

මැද ඇඟිල්ලට පමණක් නාඩි දැනේ නම් නීරෝගි බවයි

 

ගහ ගුණ පවතින්නේ නම් මිනිසා ට

එම ගුණ පවසන්නේ මැද ඇඟිල්ල ට

සම ගුණ ලෙස පවතී නොවඩා පිත ට

ගුණ පණ රැකෙය කී නාඩියෙ පමණ ට

 

නාඩි ශාස්ත්‍රය පුළුල් විෂයකි. එය පළපුරුද්දෙන්ම ලබා ගත හැකි සියුම් ඥාණයකි. මෙහි ඇති වටිනාකම මිල කළ නොහැකි ය. අෂ්ටවිධ පරීක්ෂා අතුරින් නාඩි ක්‍රමයට මුල් තැන හිමි වේ. අතීත හෙළ වෛද්‍යවරයා නාඩි ශාස්ත්‍රය තුළින් රෝග නිදානය හැඳිනගෙන, චිකිත්සාව තුළින් රෝගීන් දහස් ගණන් සුවපත් කළේ ය. අද මෙන් තාක්ෂණික මෙවලම් නොතිබූ යුගයක ඔහුගේ ඥාණය පිළිබඳ විස්තර කිරීමට අටුවාටීකා අවශ්‍ය නැති බව කිව යුතුමය.

 

 

 

ආයුර්වේද වෛද්‍ය

කාන්ති මදුරප්පෙරුම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.