මහලු වියේ කුදු ගැසෙන්නේ ඇයි?

ජුනි 25, 2021

මිනිස් සිරුරේ වෙන් වෙන් වශයෙන් පවතින ඇට යුගලයක් එක්කාසු වෙන තැන සන්ධියකි. මෙය සන්ධිය නමින් හැඳින් වේ. මෙවැනි සන්ධි එකක් නොව කීපයක්ම අපේ ශරීරයේ පිහිටා තිබේ. නිර්මාණය ක්‍රියා කාරීත්වය සහ ප්‍රයෝජනය අනුව ඒවා විශේෂ හා සාමාන්‍ය අනුව කොටස් දෙකකි. එකක් නොව සන්ධි තුනක් එකට බැඳී සෑදී ඇති කටී සන්ධිය ශරීරයේ විශේෂ සන්ධියකි.

 

තුනටිය නමින් හැඳින්වෙන මෙය ඇට කැබිලි කීපයක් එක්කාසු වීමෙන් සෑදුනකි. මෙය ත්‍රිකාස්ථිය නමින් ද ශෝණි ගුහාව නමින්ද, හැඳින්වෙන මෙය තුනටිය නමින් ගැමි වහරේ ප්‍රසිද්ධය. මෙම සන්ධිය ඉතාමත් ශක්තිමත් ය. බර ඉසිලීම, දිවීම, පැනීම, හිඳ ගැනීම යනාදි එදිනෙදා යෙදෙන ක්‍රියාවලට බලපායි. හැම දෙයකටම මෙම සන්ධියේ ක්‍රියාකාරීත්වය බලපායි. උසකින් වැටීම්, තැලීම් පහර වැදීම් වැනි කාරණාවලදී මෙම සන්ධියට අනතුරක් සිදු වුවහොත් ප්‍රතිකාර ගත්තද පසු කලෙක විශාල වේදනාවක් බවට පත්වීමට ද බොහෝ සේ ඉඩ ඇතැයි ප්‍රකාශ කරමි.

ගර්භණී කාලයේ දී කාන්තාවකගේ උදරය පුළුල් වීමට අවශ්‍ය නිසා මෙම සන්ධිය තදින් නොබැඳී පවතී. යම්කිසි ඇට සැකිල්ලක් ගැහැනියකේද පිරිමියෙකුගේ ද යන්න වටහා ගැනීමට ඉවහල් වන සාධක මෙයින් හඳුනා ගැනේ.

වැඩපළ ක්‍රියාව වැඩිවූ තරමට මොනයම් ද්‍රව්‍යයක් හෝ යන්ත්‍රයක් අබල දුබල වීමට පිළිවන. ශරීර අයවයද එසේමය. එය ස්වාභාවික සිද්ධියකි. කටී සන්ධියද එසේම ය. ක්‍රියාව අනුව ගෙවීයාම, දුර්වල වීම, ස්වභාවයකි.

ශරීර ශක්තිය ඉක්මවා වෙහෙසීම, උසකින් වැටීම, දුර පැනීමෙන් කටී සන්ධිය ආශි‍්‍රත පිපිරීම ආදිය සිදුවීම නිසා කල්යාමේ දී ක්‍රියාකාරීත්වය අඩ පණ වේ.

හැම සන්ධියක්ම නිර්මාණය වීම සඳහා ඇට කැබලිවලට අමතරව මෘදු ඇට හෙවත් තරුණාස්ථි, කෙඳි, සමාන ස්නායු පටක (තන්තු) මාංශ පේශී, ලේ නහර මේ සියල්ලම එක්කාසු වීම සිදුවේ. මින් එකක හෝ විසමතාවයක් වූ කල්හි ඒ ළගින්ම ඇති සන්ධිය දුබල වේ. එසේම රෝගවලට වේදනාවට පත්වේ. බිම නිදා ගැනීම මෙම සන්ධි වේදනාවට පහසු වන්නා සේම, ඇඳක පුටුවක දිගා වීමෙන් මෙම සන්ධිය දරා ගත නොහැකි වේදනාවකට පත්වෙනවා. ශරීරයේ උඩ කොටසේ සම්පූර්ණ බර උසුලන මෙම තුනටිය නැත්නම් ත්‍රිකාස්ථිය වෙහෙසකාරී බවක් දරනවා. ලේ නහර තෙරපීමක් සුව පහසු අසුනක හිඳ ගැනීමෙන් ශරීරයේ උඩ කොටසේ බර උසුලා ගැනීමට නොහැකිව දරා ගන්න බැරි වේදනාවක් සිරුරට දරන්නට සිදුවීම අනිවාර්ය වේ.

මුත්‍ර ගබඩාව සහ මළාශය හෙවත් මුත්‍ර බොක්ක මහ බඩවැලක් පිහිටා ඇත්තේ මේ ශෝණ ගුහාව තුළ ය. ඒ නිසා නිසි ලෙස මළමුත්‍ර පිට නොවීමත් තුනටියේ වේදනාවට විශේෂ හේතුවකි. මෙවැනි රෝගීන් ඉදිරියට නැමීම හොඳ නැත.

කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යාම, පුරුෂයින්ගේ ස්වප්න දෝෂ, තදබල රක්ත ප්‍රදාහය, ප්‍රමේහ රෝග බඩේ අමාරු වැනි රෝග වලින් පෙලෙන අයගේ ස්නායු දුර්වල වේ. මෙහි උපද්‍රවයක් ලෙස පසු කලෙකට අවුරුදු හැට හැත්තෑව යන වයස් සීමාවලදී කුදු වීමක් සිදුවේ. එසේම තුනටියේ ඇම්ම, ඇවිළිල්ල වේදනාව රස්නය පවතිනවා.

බයිසිකල් පදින, නිතර ඇවිදින, කිරි කපන, නැමී වැඩ කරන, හිටගෙන රැකියාවල යෙදෙන අයට මේ තත්ත්වය නිසා වේදනා විඳීමට සිදුවන වාර බොහෝ ය. ගර්භිණී කාන්තාවන්ගේ ගර්භාෂය වැඩීමත් සමඟ ලේ නහර තෙරපීම නිසා මෙන් මළ මුත්‍ර පහ නොවීම හේතුවෙන් මෙම තුනටියේ වේදනාව ඇති වෙනවා. ප්‍රසූතියෙන් පසුව මෙම වේදනාව පහවී යනවා. වැටීම්, තැලීම් වලින් නිදහස්ව සිටීමද කිරිදෙන කාලයේ දී සිරුර දුර්වල වීමද නොසලකා සිටීමෙන් මෙම තුනටියේ වේදනා දිගටම පැවතිය හැකි ය.

කටී ප්‍රදේශයේ හට ගන්නා ගෙඩි පිළිකා, පිත්තාශය, මුත්‍රාශය, වකුගඩු ආදියේ හට ගන්නා ගල්, අර්ශස්, ගුල්ම අන්ත්‍රාව රෝධය, හෙවත් බඩවැල් හිරවීම, ආදියද මෙම වේදනාවට හේතු වෙනවා.

මහලුවියේ දී රෝග පීඩා බහුල වෙනවා. වයස්ගතවීමේ දී අනිවාර්යයෙන්ම ඇතිවන මෙම උපද්‍රවය කලකදී ඔවුන් සදා කල්හිම වේදනාව විඳ කුදු වීමට බලපානවා. මහලු වියට එළඹෙනවාත් සමගම තරුණස්ථි සහ ස්නායු පද්ධතියේ වන වෙනස්කම් මුලික හේතු සාධක බවට පත්වීම ස්වභාවයකි. මළ මුත්‍ර ක්‍රමවත්ව පවත්වා ගැනීම, සරල ආහාර පාන වයසට ගැළපෙන අයුරින් විවේකව සිටීම, ශරීරය සෘජුව තබා ගැනීම, සහ යන කරුණු මත සුළු සුවයක් බලාපොරොත්තු විය හැක.

සියල්ලටම පළමුව කටී ප්‍රදේශය වාතයෙන් තදවී සෑදෙන තත්ත්වයක් ද පවතී. මෙය කටී වාතය ලෙස ගැමියෝ නම් කරති. තුනටිය ආශි‍්‍රතව පවතින සෑම රෝගයක් කටීවායුව ලෙස පිළිගත් මෙය වැරදි මතයක් බව කිව යුතු ය. තුනටියේ වේදනාවව රෝගයක් නොව රෝග ලක්ෂණයකි. ඒ නිසා කොන්ද රුදාව කොන්දේ වේදනාව කී පමණින් එය පැහැදිලිව අවබෝධ කර ගෙන ප්‍රතිකාර කිරීම වැදගත්. වාතය සහ වේදනාව නසන මළ මුත්‍ර මැනවින් පිට කෙරෙන ඖෂධ යෙදීමෙන් එය පහසුවෙන් සුව කර ගත හැකි ය. දක්ෂ වෙද කමේ දෝෂ, ධාතු, මළ යන ආයුර්වේද සංකල්ප ගැන මනා දැනුමකින් ක්‍රියා කළ යුතු ය. රෝගියකු පරීක්ෂා නොකර ඖෂධ යෙදීමත් එතරම් සුදුසු නොවූවද පත්‍රය කියවන සුබසෙත පුවත් පතේ පිහිට පතන අයෙක් වේ නම් හිත සුව පිණිස පහත සඳහන් ප්‍රතිකාර ක්‍රමය පළ කරන්නට අදහස් කළෙමි.

වැල්පෙනෙල මුල්, උළුහාල්, බැවිල මුල්, සුදුලූනු, කලං තුන බැගින් පත අට එකට සිඳ උදේට එඬරු තෙල් සවසට සහිඳ ලුනු, සවසට සීනි මී පැණි වඩි 3 - 4 පමණ,

වියළි ඉඟුරු, අරත්ත, කලං දෙක බැගින් ගෙන චූර්ණ කර පෙරුම්කායම් සහ සුදුලූනු කලං දෙක බැගින් ගෙන හොඳින් අඹරා අව්වේ වේලා නැවත තල තෙලෙන් අඹරා මදටිය පමණ ගුලිකර ගුලි දෙක බැගින් දවසට දෙවරක් සුදුලූනු තැම්බූ වතුර වීදුරුවක් බීම සහන දායකය. ගෑමට ශූලහර නාරායන මිශ්‍රකර පිරිමැදිය යුතු ය.

 

එන්.කේ.එස්. කුලසූරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.