අපට නැතිවම බැරි කුළුබඩු

ජූලි 23, 2021

අගනා බෙහෙතක් වශයෙන් ද ආහාර රස කරගැනීමට සහ විෂබීජහරණය පිණිස ද ඉඟුරු බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මෙය මහෞෂධය නමින් වෙද පොත්වල සඳහන් වේ.

 

තරුණං සිංගිවෛරන්තු විපාකෙ කළුජිහිතං

පාචනං දීපනං කාස සොස සොච්ජිචාපරං

ස්නේහං දීපනං වස්සං සීත වාත කථා පහං

විසූචිකායං ශුලෙච පීනසෙ නාගරං හිතං

 

දලු, ඉඟුරු පැසවීම කර කථය දිනයි. පථ්‍යයි. කාසය ඉදිමීම ජයගනී. මේරූ ඉඟුරු සිනිඳු බවද දීපන ද කෙරෙයි. වෘෂ්‍යය ශීතය වාතය කථය දුරු කරයි. පීනස් විශූචිකා ආමශූල යන මේවායේ හිතකරය. සෙම් වාත දෙක ද ආම හා මලබද්ධය ද බඩ කැක්කුම් හා බඩ පිපීම ද පහ කරන්නේ ය.

අමු ඉඟුරු බරය, තියුණුය. උෂ්ණය. අග්නි දීප්තියද මල බිඳීම ද කරයි. පැසීමේ මධුර බව ද කුළු රස ද වා සෙම් නසන බව ද ඇත. වේලිච්ච ඉඟුරුවල ඇති සියලු ගුණම අමු ඉඟුරුවල ද තිබේ. ආහාර ගත් පසුව ලුණු සමඟ අමු ඉඟුරු කෑම හැම කලම පථ්‍යයි. රුචිය අග්නි වැඩීම ද දිව උගුරු ශුද්ධ කිරීම ද කුෂ්ට පාණ්ඩු මුත්‍රකෘච්ඡා රත් පිත් උණ වණ ආදියෙහි හිත බව දක තිබේ. දාහයෙහි සහ ගී‍්‍රෂ්ම සරත් දෙකල ද වර්ණනා නොකරනු ලැබේ. කුළු රස සහ තික්ත රසයෙන් යුත් පැසවන හා අග්නි දීපනය කරන ගති ඇති සෙම් පිත් අතීසාර, ආම විෂ, කැස්ස, වමන, පණු යන රෝග දුරු කරන ඔසුවකි. සිද්ධිගුරු සෙම වාතය නසයි. තෙල් සහිතය. මඳක් අග්නි වඩයි. පැසීමෙහි මිහිරිය. ධාතු පෝෂණය ද විරේචන කරද උෂ්ණ කුළු රස ද වෙයි.

දුරු - රුචි කරයි. ශබ්ද වැඩෙයි. සෙම වාතය ජයගනී. පැසවීමේදී තියුණු ද උණුසුම් ද වෙයි. පිත හා ගිනි වැඩීම ද බොහෝ සුවඳ ද වෙයි. දුරු තික්ත රස හා කුළු රස ඇති උෂ්ණ වීර්යය ඇති කෘමි දෝෂ හා සෙම නසන ඔසුවකි.

මිරිස් - බතට ව්‍යාංජන මස්, මාළු පිස ගැනීමට මිරිස් අත්‍යවශ්‍ය වේ. අමු මිරිස් මධුරව ඉදෙයි. ඉතා සෙම වැගිරීම ද බර ද වෙයි. වියළි මිරිස් අග්නි වැඩීම ද රුචි කිරීම ද කුළු රස හා උෂ්ණ ද සැහැල්ලු ද වෙයි.

කහ - විශේෂයෙන් මාළු පිනිවලට පියකරු වර්ණයක් දීමට සමත් වේ. එමෙන්ම ඖෂධීය ගුණ ද තිබේ. ගුණ වශයෙන් රත්පිත් සෙම් ඉදිමුම් ගඩු වණ පහ කරයි.

කුරුඳු, කරඳ මුංගු, කරාබු නැටි, වසාවාසි, කෝපි, ගම්මිරිස් අප රට කෝටි ගණනින් විදේශ විනිමය ගෙන එන අගනා වගාවන් බව පළමුකොට කිව යුතුය. මේවා දිගු ඉතිහාසයකට නෑකම් කියයි. 13 වැනි සියවස වන විට ලංකාවේ මුහුදුබඩ කුඩා බිම් තීරුවක් හැර සෙසු පෙදෙස් ඝන කැලෑවෙන් වැසී තිබුණේය. එම කැළෑවල විශාල ගස් අතර කුරුඳු ගස විශේෂ තැනක් ගත්තේ ය. වෙළඳාම පිළිබඳ උපන් හැකියාවක් ඇති මුස්ලිම් වෙළෙන්දෝ කුරුඳුවලින් ලබා ගත හැකි වෙළඳ වාසි දැක සිංහල මිනිසුන් ඒ කැලෑවලට යවා කුරුඳු පොතු එකතු කිරීමට පටන් ගත්හ. ඉන් පසු ඒවා මැද පෙරදිග අරාබි රටවලට ගෙන ගියහ. මැදපෙරදිග හා යුරෝපීය වෙළඳුන් මේ අලුත් කුළුබඩු ද්‍රව්‍ය පිළිබඳ වැඩි උනන්දුවක් විශේෂ ඇල්මක් දක්වන බව දුටු මුස්ලිම් වෙළෙන්දෝ විදේශීය මත්පැන් වර්ග හා රෙදිපිලි ආදිය ලාංකිකයන්ට සැපයූහ. ඒවා දී කුරුඳු විශාල තොග රැස්කර ගොඩබිමින් මැද පෙරදිග වෙළඳපොල ට ගෙන ගොස් විශාල මුදල් සම්භාරයක් රැස් කර ගත්හ. මේ ආකාරයට ලංකාවෙන් ගෙන ගිය කුරුඳු යුරෝපීය රටවල ගැනුම්කරුවන් සඳහා විකුණන වෙළෙඳ මධ්‍යස්ථානය වී තිබුණේ තුර්කියේ ඉස්තාන්බුල් (බයිසන්ටියන්) අගනුවර ය.

දාහතර වැනි සිය වසේ මුල් භාගයේ මුස්ලිම්, ක්‍රිස්තියානි යුද්ධයක් හදිසියේ ඇති විය. මැද පෙරදිග වෙළෙඳපොළ සඳහා එතෙක් වැටී තිබුණ ගොඩබිම මාර්ගය මේ යුද්ධය නිසා වැසී ගියේ ය. පෘතුගීසි වැනි යුරෝපා ජාතීන්ට ලංකාවේ කුරුඳු ලබා ගත නොහැකි විය. එසේ ද වුවත් කුරුඳුවලින් ලැබිය හැකි අති විශාල වෙළඳ වාසි පිළිබඳ හොඳ දැනීමක් තිබුණ පෘතුගීසීහු පෙරදිග රටවලට යාම සඳහා මුහුදු මාර්ගයක් සෙවූහ. 14 වන සියවස අවසන් භාගයේ පෘතුගීසි වස්කෝ ද ගාමා සොයා ගත් ගමන් මාර්ගය අනුව 15 වන සියවසේ මුල දී මහා වෙළඳාමේ පරමාර්ථය අනුව ක්‍රි.ව. 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසීහු ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගත්හ. ඔවුහු සිංහල රජුට නොයෙක් තෑගි බෝග තාන්න මාන්න දී රජු පහදවාගෙන මුස්ලිම් වෙළඳුන් සතුව තිබුණ වෙළඳ අධිකාරිය තමන් යටතට පවරා ගත්හ. එහෙත් ඉතා ප්‍රයෝජනවත් වූ කුරුඳු ගස වටා වැඩි දියුණු කිරීමට ඔවුන් කිසි උනන්දුවක් නොදැක් වූ අතර, තැන් තැන්වල වැවී තිබුණ කුරුඳු ගස් පෘතුගීසීන්ට අයත් දේපොළ වශයෙන් හඳුන්වා සියලු ආදායම ලබා ගත්හ. වැඩිකල් නොගොස් පෘතුගීසීන් නිසා සිංහල රජුට මුහුණ දෙන්නට වූ ප්‍රශ්න කරදර විසඳා ගැනීමට ලන්දේසීන්ගේ පිහිට උපකාර සෙවීය. දාසය වැනි සියවසේ මැද භාගය වන විට ලංකාවේ වෙළඳ අධිපති භාවය පෘතුගීසීන්ගෙන් උදුරා ගැනීමට ලන්දේසීන්ට හැකි විය. ඔවුන් කුරුඳු වැවීම ද ආරම්භ කළ අතර, පුත්තලමේ සිට ජා ඇල, මීගමුව දක්වා ද ගාල්ල, මාතර දක්වා ද මේ වැවිල්ල ව්‍යාප්ත කිරීමට සමත් විය. මෙම කුරුඳු රැකබලා ගැනීමට මහ බද්දේ මුදලි යන පදවි නාමවලින් ඒ ඒ ප්‍රදේශ භාරකරුවන් පත් කළහ. කුරුඳු කපා තලා වේලා සකස් කිරීමට වෙනම පවුල් ද පදිංචි කොරවූහ.

ඉන් පසු ලංකාව අල්ලා ගත් ඉංගී‍්‍රසිහු ද කුරුඳු වෙළඳාම ගැන අවධානය යොමු කළ නමුත් කුරුඳු ව්‍යාප්ත කිරීමට අපොහොසත් වූහ. මේ අනුව බලන විට විදේශීයන් ලංකාවට පැමිණීමට ප්‍රධාන හේතුව කුරුඳු බව කිව හැකි ය.

මස්, මාළු ආදී ආහාර පිසීමේදී කුරුඳු ගම්මිරිස් අවශ්‍යම වන බව අප කවුරුත් දන්නා කරුණකි. කුරුඳු පොත්තෙන් හා කුරුඳු කොළවලින් තෙල් වර්ග දෙකක් සකස් කර ගනු ලැබේ. විදේශීය වෙළඳපොළේ කුරුඳු කූරුවලට ඇති ඉල්ලුමට සමාන ඉල්ලුමක් කුරුඳු තෙල්වලට ද තිබේ. විෂ බීජ නාශක බෙහෙත් හා රෝග නිවාරණ ක්‍රම සඳහා කුරුඳු තෙල් යොදා ගනිති. බටහිර වෛද්‍ය විද්‍යාවට ද මේවා යොදා ගන්නා බව කිව හැකි ය. අධික ශීතල වළක්වා ගැනීම, දත් කැක්කුම ආදියට කුරුඳු තෙල් ප්‍රයෝජනවත් වේ. කුරුඳු කුඩුවලට ද හොඳ තැනක් ඇති අතර, කුඩා කෑලිවලට කපා කුඩා පෙට්ටිවල අහුරා පිටරට යැවීම ද කෙරේ. කුරුඳු ගසේ කෝටු දර සඳහා ගන්නා අතර, මේ ගස පොල්ගස තරම් වටිනා එකක් බව කිව යුතු ය.

අබ - මෙය ආහාර රසවත් කිරීමට ගනු ලැබේ. අබවලින් සෙම් වාත නැසේ. උෂ්ණද තියුණු ද වෙයි. කෘමි රෝග නසයි. රත්පිත් වඩයි. සුදු අබවල ද මෙම ගුණ ඇත. මුහුදු ලුණු උෂ්ණය දාහය ද ඇති මනබඳින මධුර සිනිඳු යන ගති ඇතිවුණු කැක්කුම් සහ පිත් නොවඩන පැසීමේ කුළු රස ඇති දෙයකි.

ලුණු - දෛනික ජීවිතයට නැතිවම බැරි දෙයකි. ආහාර සකස් කර ගැනීමට අප සැමට අවශ්‍යම වේ. ලුණු වර්ග කීපයකි. උද්භිද ලුණු සම්භරි නමින් ද හැඳින් වේ. මෙම ලුණු තියුණු ද ලුණු රස කුළු රස හා තිත්ත ද වේ. බඩ පිරීදැමීම බඩ කැක්කුම, මුත්‍රබද්ධ ආදිය දුරු කරන්නේ ය. සවිඳ ලුණු ආයුර්වේද ප්‍රතිකාරවලට අවශ්‍ය වේ. මේවා තුන් දොස් ජය ගනී. ඇසට හිත ද රුචිකර ද මදුර ද සැහැල්ලු ද වේ. ධාතු පෝෂ්‍ය කරයි. ගිනි දීපන කරයි. පිත නොවඩයි. දාහ අධික නැත්තේ ය. සුවස ලුණු උෂ්ණ වීර්යය ද පිරිසුදු ද රුචිකර ද කුළු රස ද සැහැල්ලු ද වේ. ගුල්ම ශූල මලබද්ධ නසයි. මඳක් පිත් වඩන සුළු. ඇඹුල් රස ආහාර රුචිය ඇති කරයි. පිනවයි. ගිනි වඩා මනහර වේ. වාතය නසයි. දිවට රුචි නොවේ. සිනිඳු බවද උෂ්ණ ද ලේහා මාංස ද දෙයි. හෘදයට පි‍්‍රයයි. සිනිඳුය. රුචිය හා පාකය දෙයි. සිහිල් වූ පහස් ඇත. බෙල සුල්ය. පිනවයි. ලඝුය. සෙම් පිත් ලේ ද කෙරේ මූඪ වූ වාතය අනුලෝම කෙරේ. ඇඹුල් වේ. අතිශයින් ඇඹුලය, මල බද්ධ ද සෙම් වාත දෙක ද නසයි. ඇඹුල් රස පිත් දෙයි ලේ දෙයි. එන්සාල් මුත්‍ර බද්ධය ද පිපාසය ද වමන ද සෙම් වාත දෙක ද නසන්නේ ය.

සාදික්කා - පිපාස වමන නසා සෙම් වාත ජය ගනී.

වසාවාසි - පිපාස සෙම දුගඳ යන මේවා නසයි. සැහැල්ලු වෙව්. හිඟුරු පියළි තියුණු උෂ්ණ වීර්යය ඇත. නුවණ වඩයි. පණු හා විෂ නසයි. එනසාල් පිපාසය ද මුත්‍ර බද්ධය ද වමන ද සෙම් වාත දෙක ද මේ ඔසුවෙන් නැසේ. සිහින් එන්සාල්, අර්ශස, මුත්‍රා කෘච්ඡාව කාස සෙම් යන මේවා නසයි.

කරාබු - ආනාහය මල බද්ධය කැක්කුම් යන මේවා දුරු කරන්නේ ය. සැහැල්ලු ද ගිනි දීප්තිකර ද වෙයි.

කළු දුරු - තික්ත රස කුළු රස ඇති උෂ්ණ වීර්යය ඇති දෙයකි. කෘමි දෝෂ හා සෙම ද දුරු කරන කකුළු බඩුවකි.

සියඹලා - ළපටි සියඹලා ඵල වාත නසයි. සෙම් පිනවයි. ඉදුනු කරල් ගිනි දීපන කරයි. රුචිය ද මල බිඳීම ද උෂ්ණ ද සෙම් වාත දිනීම ද යන ගුණ ඇත්තේ ය. විරේකය ද රුචිය ද කෙරේ.පථ්‍යයි. පරණ වූ ඉදුනා වූ සියඹලා තුන් දොසට සතුරු වේ.

මුහුදු ලුණු - උෂ්ණය, දාහය ද ඇති මල බඳින මධුර සිනිඳු යන ගති ඇති ලුණු රුජා නසන අතිශයින් පිත් නොවඩන පැසීමේ කුළු රස ඇති ආහාර සඳහා අත්‍යවශ්‍ය දෙයක් වේ.

යවකාර ලුණු - වාත සෙම් රෝග අර්ශස් ගුල්ම පාණ්ඩු පිලා පපුවේ රෝග සුව කරයි. මුත්‍ර බද්ධ කණ්ඨ රෝග යන මේව නසයි. සුවස ලුණු යවකාර ලුණුවලට වඩා මඳක් ගුණයෙන් අඩු ය.

මෙහිදී මට ලුණු ඇඹුල් ගැන කියූ පැරණි විරිඳු මතක් වේ.

හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙන ගනින් දුවේ

මැද්දට පැන වැඩිහිටියන් සමඟ විහිළු කැතයි දුවේ

 

මේ දෙවර්ගයටම කොච්චර හොඳ වුණත් ඒවා හොදි, මාළුපිනිවලට වැඩි වුණත් අඩු වුණත් කන්නට බැරිය. ඒ සඳහා එක්තරා පදමක් ප්‍රමාණයක් තිබේ. අපේ ගෘහණියෝ මෙය හොඳින් දනිති.

මතු සම්බන්ධයි.

කලාභූෂණ ශාස්ත්‍රශූරි ඡ්‍යොතිෂ ඉඳුවර

කිවිපති

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.