රෝගියකුගේ කැස්ස කිවිසුම් මඟින් බෝවන ක්ෂය රෝගය

පෙබරවාරි 4, 2022

ලොව ඉපැරණිම රෝගයක් ලෙස සැලකෙන ක්ෂය රෝගය රෝගියකුගෙන් තවත් නීරෝගී අයකුට වැලඳෙන මාරාන්තික ආසාදන රෝගයකි. පෙණහලුගත ක්ෂය රෝගය ඇති අයගෙන් පමණක් අන් අයට රෝගය බෝවේ. මෙම රෝගය මයිකෝබැක්ටීරියම් ටර්බකියුලෝසිස් (ර්රජධඡචජබඥපඪභථ ඊභඡඥපජභතධඵඪඵ) නම් බැක්ටීරියාව මඟින් අන් අයට බෝවන්නේ රෝගී අයකු කහින, කිවිසුම් අරින, සිනාසෙන, කථා කරන විට සෙම බිඳිති වාතයට මුසුවී ආශ්වාස කිරීමෙනි.

මෙම රෝගකාරක බැක්ටීරියාව නොමැරී බොහෝ කලක් සිරුර තුළ පවතී. සති දෙකකට වඩා පවතින කැස්ස ප්‍රධානතම රෝග ලක්ෂණයයි. කෑම අරුචිය, බර අඩු වීම, රාත්‍රි කාලයේදි තරමක උණ ගතිය , දහඩිය දැමීම, අධික තෙහෙට්ටු ගතිය. හතිය, පපුවේ වේදනාව සහ සෙම සමඟ ලේ පිටවීම ආදී රෝග ලක්ෂණද වේ. කුද්දටි ඉදිමීම, කොන්දේ ආබාධ , සමේ රෝග ආදී විවිධ රෝග ලක්ෂණ මෙන්ම පෙණහලුවලින් පිටත ක්ෂය රෝගයේ ලක්ෂණ මතු විය හැකිය. කෙතරම් මාරාන්තික වුවත් නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සඟවාගෙන නොසිටීමෙන් සම්පූර්ණයෙන්ම සුවකළ හැකි අතර ඒ සඳහා ගතවන කාලය ද මාස හයක් පමණ වන බවද ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකාවේ වසරකට ක්ෂය රෝගීන් අටදාහක් පමණ හඳුනා ගැනෙති. වසරකට මෙරට ක්ෂය රෝගීන් හාරසියයක් ,පන්සියයක් පමණ මිය යන බව සංඛ්‍යාලේඛන තොරතුරුවලින් හෙළිවේ. ලෝක ජනගහණයෙන් තුනෙන් එකක් පමණ ක්ෂය රෝග බැක්ටීරියාවට ගොදුරු වී ඇත. ලොව මරණයට හේතුවන රෝග අතර නවවන ස්ථානයට ක්ෂය රෝගය පත්ව ඇත. ක්ෂය රෝගයට වඩාත්ම ගොදුරු වන්නේ ප්‍රතිශක්තිය හීන අයටය. මන්දපෝෂණය එච්.අයි.වී. ආසාදිතයින් දියවැඩියාව, අධික මත්වතුර පානය, දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර පවතින ප්‍රතිශක්තිය ඌණ පුද්ගලයින්ට පහසුවෙන් රෝගය බෝවේ. පෙණහලුගත ක්ෂය රෝගීන් සියයට අසූවක් පමණ වන අතර සිරුරේ ඕනෑම ස්ථානයක ක්ෂය රෝගය ඇතිවේ. රෝගය වඩාත්ම පැතිර යන්නේ පෙණහලු ආශි‍්‍රත රෝගීන්ගෙනි. සෙම පටල පරීක්ෂාවෙන් රෝගය නිශ්චිතව හඳුනාගත හැකිය.

ක්ෂය රෝගයට ගොදුරුවන පුද්ගලයින්ට බොහෝවිට රැකියාවක නියැලීමට නොහැකිය. ඒ එම රෝගය පිළිබඳ පවතින දුර්මත එයට හේතු වේ. මේ නිසා ක්ෂය රෝගය ලොව පුරා පවතින දිළිදු බවට ද එක් හේතුවක් ලෙස සැලකේ. එමෙන්ම ලෝකයේ කාන්තා මරණ සිදු වන හතර වන හේතුවද ක්ෂය රෝගයයි.ක්ෂය රෝගය මර්දනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත ප්‍රතිකාර ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එය රටවල් බොහෝ ගණනක යොදා ගනු ලබන අතර එය සාර්ථකම පහසුම සහ ලාභදායි සෞඛ්‍ය වැඩසටහන ලෙසට ද සැලකේ. ක්ෂය රෝගයට මුලින්ම ප්‍රතිකාර ගන්නා විට දිගටම ප්‍රතිකාර ගත යුතුය. ප්‍රතිකාර ගැනීම අතරමඟ නවතා දැමීමෙන් ක්ෂය රෝග විෂබීජය ඖෂධවලට ඔරොත්තු නොදෙන තත්ත්වයට පත්වී රෝගය පෙර මෙන් නැවත ඉස්මතුවේ. එමෙන්ම අන් අයට පැතිරීමේ අවධානම ද වැඩිවේ. ක්ෂය රෝගය හඳුනාගත් විගස ඖෂධ ලබාගත යුතුය.

එසේ ඖෂධ ලබාගත් විට දින දෙකක් ගත වූ විට තවත් අයකුට රෝගය බෝකිරීමේ හැකියාව නැතිව යයි. එමෙන්ම අඛණ්ඩව මාස හයක් ප්‍රතිකාර ගැනීමෙන් රෝගය නිට්ටාවට සුවවේ. ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පෙන්වා දෙන අන්දමට දෙදහස් එකොළහ වසරේදි වාර්තා වූ නව ක්ෂය රෝගීන් ගණන නවදාස් පන්සිය අටක් වන අතර එය දෙදහස් දහයේදී නවදාස්තුන්සිය විසි අටක් වී ඇත. දෙදහස් දාහත වසරේ ක්ෂය රෝගයට ගොදුරු වූ ළමයින්ගේ ප්‍රතිශතය මුළු රෝගී සංඛ්‍යාවෙන් 2.9% ක් වී ඇත. හඳුනා නොගත් ළමා රෝගීන් 5-8 % පමණ වෙතැයි සැක කරන බවද වාර්තා කොට ඇත. ක්ෂය රෝගයට නිසි ප්‍රතිකාර ඇති බැවින් බිය විය යුතු නැත. නොනවත්වා බෙහෙත් ගැනීමෙන් ස්ථිර ලෙස සුවය ලැබ සුපුරුදු පරිදි සුවෙන් දිවි ගෙවන්නට හැකිවේ. දෙදහස් තිහ වන විට ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීම ක්ෂය රෝග මර්දන වැඩසටහන්වල ඉලක්කය බව වාර්තා වේ.

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්.පී. රාජපුර

සටහන

එස්. එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.