ආයූර්වේද ශල්‍යකර්මයෙන් ගුද රෝග නිට්ටාවට සුව කළ හැකියි

පෙබරවාරි 25, 2022

ශල්‍යකර්ම ගැන ඔබ අසා ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාවේම පමණ ද? ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේත් ශල්‍යකර්ම සිදු කරතියි ඔබ මොහොතකට හෝ සිතුවා ද?. ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේත් ශල්‍යකර්ම සිදු කරන බව සත්‍යයක් වුවත්, එය බොහෝදෙනකුට රහසකි. ආයූර්වේද වෛද්‍ය විද්‍යාව තුළ සැත්කම් මඟින් රෝග සුව කරන ඉසිවර වෙදැදුරකු පිළිබඳ තොරතුරු ගෙන එන්නටයි මේ සූදානම.

 

වෙනත් වෛද්‍ය ක්‍රමයන්හි ශල්‍යකර්ම මඟින් සුව කළ නොහැකි රෝග, ආයූර්වේද ප්‍රතිකාර හා සැත්කම්වලින් ඉතා සාර්ථකව සුව කරන විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රසන්ත ගමගේ මහතා හමු වීමට මම ගාල්ල රජයේ දිස්ත්‍රික් ආයූර්වේද රෝහලට ගියෙමි. මා එහි යන විටත් ඔහු රෝගියකු ශල්‍යකර්මයට භාජනය කරමින් සිටින බව දැන ගන්නට ලැබුණේය. සැත්කම නිමාකළ ගමගේ මහතා මා හා පිළිසඳරෙහි යෙදීමට කාරුණික විය.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාව තුළ කාය චිකිස්සාවට ඉතා යෝග්‍ය ප්‍රතිකාර ඇති බව අප අසා තිබුණ ද, ශල්‍යකර්ම පිළිබඳ අප්‍රසිද්ධ වූයෙන් මා ඔහුගෙන් ඒ ගැන විමසුවෙමි.

“ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ ආරම්භය සියවස් ගණනාවක ඉතිහාසයට දිවයනවා. එයිනුත් ආයූර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව වසර 5000 කටත් වඩා පැරැණියි. එය වේද ක්‍රමයටත් පෙර සිදුවුණ දෙයක්. ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍යකර්ම බුද්ධෝත්පත්තියටත් පෙර සිදු වී තිබෙනවා. ආයූර්වේදය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ශල්‍ය සම්ප්‍රදාය සහ කාය චිකිස්සා සම්ප්‍රදාය. ඊට අමතර ආයූර්වේදයේ අංග 08ක් තිබෙනවා. ඒවා අශ්ඨාංග ආයුර්වේදය ලෙස හඳුන්වනවා. එය ශල්‍ය වෛද්‍ය විද්‍යාව මූලිකව ගොඩනැඟුණ එකක් යැයි ගමගේ මහතා පැවසුවේය.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාවට පෙර බිහිවූවක් බවට සනාථ වන්නේ කෙසේ දැයි මා ඔහුගෙන් ප්‍රශ්න කළේය.

“මා මුලින් කී ආකාරයට ආයූර්වේද වෛද්‍ය විද්‍යාවට, බටහිර / නූතන වෛද්‍ය විද්‍යාවට වඩා ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. බටහිර / නූතන වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විද්‍යා ග්‍රන්ථයක් වන ඕචඪතඥර චදඤ ඹ්ධමඥ’ඵ ග්‍රන්ථයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සුශ්‍රැත ආචාර්යවරයා හැඳීන්වෙනවා. ඒ වන විටත් සුශ්‍රැත ආචාර්යවරයා ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස කටයුතු කර තිබෙනවා. ආයූර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස විරුදාවලියට ලක්වන්නේත් සුශ්‍රැත ආචාර්යවරයා යි. බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ආයූර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව තුළින් ගොඩනැඟුණ දෙයක් බව එයින් පැහැදිලි වෙනවා. ඒ විතරක් නොවෙයි, බටහිර ශල්‍ය අංශය භාවිතා කරන උපකරණ එදා ආයූර්වේද ශල්‍ය අංශය භාවිතා කළ උපකරණ නවීකරණය වී ගොඩනැඟී තිබෙනවා. නමුත් එම උපකරණ වර්තමානයේදී නවීකරණය වී තිබෙනවා” යැයි හේ ප්‍රකාශ කළේය.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රසන්ත ගමගේ යනු කවරෙක්දැයි දැන ගැනීමට මට සිතුනි. ඒ නිසාම මම ඔහුගෙන් තොරතුරු විමසුවෙමි.

“මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මාතර වැලිගම ධර්මරාජ විද්‍යාලයෙන්. ඊට පසු මාතර, වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හැදෑරුවා. විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වුණ මම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයේ ආයූර්වේද වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස වසර 06ක් අධ්‍යාපනය ලැබුවා. එයින් වසරක කාලයක් සීමා වාසික වෛද්‍ය පුහුණුව අවසානයේ බී.ඒ.එම්.එස්.උපාධිය ලබා ආයූර්වේද වෛද්‍යවරයකු වශයෙන් ජනතා සේවයට බැඳුණා” යි ඔහු තම වතගොත හෙළි කළේය. 2007 වසරේ සිට ආයූර්වේද වෛද්‍යවරයකු ලෙස වසර 04ක් සේවය කළ ඔහු ශිෂ්‍යත්වයක් ලබා ආයූර්වේද පශ්චාත් උපාධිය ලබා ගැනීමට ඉන්දියාවට ගියේය. එහිදී ඔහු ආයූර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව හදාරා MS (Master of Surgery - Ayu) උපාධිය ලබා ගත්තේය.

පශ්චාත් උපාධිය කුමන අංශයකින් ප්‍රගුණ කළේ දැයි මම ඔහුගෙන් ඇසුවෙමි.

“ඉන්දියාවේ සර්වපාලි රාධා-ක්‍රිෂ්ණන් රාජස්ථාන් ආයූර්වේද විශ්වවිද්‍යාලයට Sarvepali radha krishnan Rajasthan Ayurveda University) Rp§tn‰o NIA (National Institate of Ayurveda) R£xlp»xp‰ Master of Surgery (Ayu) පශ්චාත් උපාධිය ලබා ගත්තා. මම එහිදී විශේෂයෙන් ගුද රෝග සම්බන්ධව ප්‍රගුණ කළා. එහිදී ගුද රෝග පිළිබඳ පර්යේෂණ රාශියක් කළා. ඊට අමතරව සියලුම සාමාන්‍ය ශල්‍යකර්ම පිළිබඳව ද හැදෑරුවා” යැයි හෙතෙම පැවසීය.

ගුද රෝග අංශය තෝරා ගත්තේ ඇයි දැයි මම ඔහුගෙන් විමසුවෙමි.

“මිනිසුන්ට වඩාත් වේදනා මෙන්ම අපහසුතා ගෙන දෙන රෝග අතර, ගුද රෝග බහුලයි. එහෙත් බොහෝ දෙනා ඒ ගැන අවබෝධයක් නැතිව දැඩි සේ වේදනා විඳීමින් සිටිනවා. ගුද රෝගවලට නිසි ප්‍රතිකාර නොමැතිව ඇතැමුන් සියදිවි හානිකර ගන්න පවා පෙලඹෙනවා. ගුද රෝග පවතින රෝගීන්ට විශේෂයෙන්ම Fistula in ano රෝගයෙන් පෙළෙන රෝගීන්ට වෙනත් කිසිදු වෛද්‍ය ක්‍රමයකින් නිට්ටාවට සුවයක් ලබා ගැනීමට නොහැකි නිසා ගුද රෝග සම්බන්ධයෙන් විශේෂයෙන් ඉගෙන ගැනීමට අපේක්ෂා කළා.

එවැනි වෙනත් ගුද රෝග මොනවා දැයි මම ඔහුගෙන් විචාලෙමි.

“ප්‍රධාන වශයෙන් ගුද රෝග කිහිපයක් තිබෙනවා. අර්ශස් (Piles / Haemorrhoids) ගුද ආශ්‍රිතව පවතින සුලබම රෝගයයි. මෙහි පළමු, දෙවන, තුන්වන හා හතර වශයෙන් අවස්ථා හතරක් තිබෙනවා. පළමු හා දෙවන අවස්ථා පහසුවෙන්ම ආයූර්වේද ඖෂධ මඟින් සුවකළ හැකි අතර, තුන්වන අවස්ථාවේ අර්ශස් ආයුර්වේදයේ තිබෙන විශේෂිත ප්‍රතිකාර මඟින් සුවකළ හැකියි. හතරවන අවස්ථාවේ පවතින අර්ශස් ශල්‍යකර්මයක් මඟින් සුව කරන්න පුළුවන්. ඊට අමතර පරිකර්තිකා, (Fissure inAno) තිව්‍ර පරිකර්තිකා (Acute Fissure in Ano) හා කල්ගත පරිකර්තිකා (Chronic Fissure inAno) වශයෙන් කොටස් දෙකකි. භගන්දරා, (Fistulaina Ano) ගුද භ්‍රංශ (Rectal Prolapse) ප්‍රධාන රෝග වෙනවා. ගුද මාර්ගය අවට ඇතිවන සැරව සහිත ගෙඩි, (Perianal Abscess) ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන කැසීම්, (Pruritus Ani) ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන තුවාල හා කෙස් වලින් පිරුණු කුහර, (Pylonidal sinus) ගුද අභ්‍යන්තර තුවාල, බාහිර ගෙඩි, ගුද අභ්‍යන්තර ගැටිති, බාහිර ගැටිති වැනි රෝගත් ඉතා පහසුවෙන් සුවකළ හැකියි. මෙවැනි රෝග සැත්කම් කර හෝ ඖෂධ දීමෙන් නිට්ටාවටම සුව කළ හැකියි” ගමගේ මහතා කියා සිටියේය.

බටහිර ශල්‍ය කර්මවලින් Fistula in Ano (භගන්දර) වැනි රෝග නිට්ටාවට සුව කළ නොහැකි ඇයි දැයි මට ගැටලුවක් විය. මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. මගේ පැනයට ඔහු මෙලෙස පිළිතුරු දුන්නේය.

“එවැනි ගුද රෝගවලට බොහෝදෙනකු වෙනත් විකල්ප වෛද්‍ය ක්‍රමවලින් ශල්‍යකර්ම සිදු කළ ද සමහර රෝගීන්ගේ ඒවා නැවත නැවතත් හටගෙන පීඩා විඳීනවා. එහෙත් ආයූර්වේද ශල්‍යකර්මයකින් එවැනි රෝග නිට්ටාවටම සුව කරනවා. අපි රෝගය හොඳීන් හඳුනාගෙන රෝග මූලයටයි ප්‍රතිකාර කරන්නෙ”.

පශ්චාත් උපාධිය ලබා වසර පහකට පසු ඔහුට නැවතත් ශිෂ්‍යත්වයක් ලැබුණේය. ඒ ඉන්දියාවේ ගුජරාටි ආයූර්වේද විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය (PHD) සඳහාය. දැන් ඔහු නැවතත් ගාල්ල දිස්ත්‍රික් ආයූර්වේද රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා ලෙස සේවය කරන්නේය. විදෙස් අධ්‍යාපනය ලබමින් සිටියදී ද ලද විවේකයෙන් ලංකාවට පැමිණි ඔහු, කිසිදු වරප්‍රසාදයකින් තොරව සැත්කම් කළේය. ඒ තරමට ඔහු අසරණ රෝගීන් වෙනුවෙන් කැප වූවේය. ඔහුගේ කැපවීම නිසාම ශල්‍ය වෛද්‍යවරයකු වශයෙන් සිදු කරන සේවය ගැන තෘප්තිමත් දැයි මම ඇසිමි.

“මම නිදහස් අධ්‍යාපනයේ ඵල නෙළා වෛද්‍යවරයකු වූ අයෙක්. අපි ඉගෙන ගත්තෙ අසරණ ජනතාවගේ බදු මුදලින්. ඉතිං අපි ජනතාවට සේවය කළ යුතුමයි. ඒ නිසා මම මගේ වගකීම හා යුතුකම හරියටම කරනවා. වේදනාවෙන් පෙළුණ රෝගීන් යළි සුවපත් වන විට මම ඔවුන්ටත් වඩා සතුටු වෙනවායි” ඔහු පැවැසුවේය.

එම ස්ථානයට ප්‍රතිකාර සඳහා පැමිණ සිටි රෝගීන් දුටු විට වෛද්‍ය ගමගේ මහතාගේ ප්‍රකාශය සත්‍යයක් බව තහවුරු විය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි රෝගීන් එක් එක් රෝගවලට ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටිති. මෙම රෝහලේ ශල්‍ය ඒකකයේ ගුද රෝගවලට පමණක් නොව, සියලු අස්ථි සංධි සම්බන්ධ වේදනා (Pain management of all types of musculo - skeletal diseases) ගල් තැලුම් හා ඉන්නන් ඉවත් කිරීම, පියයුරුවල හට ගන්නා ගෙඩි ශරීරයේ ඇති ගෙඩි ඉවත් කිරීම ආදී විවිධ ආබාධවලටත් සාර්ථක ශල්‍යකර්ම හෝ ප්‍රතිකාර සිදු කරති. ගුද රෝග හා ඒ ආශ්‍රිත හට ගන්නා රෝගවලට ප්‍රතිකාර ගැනීමට ඇතැමුන් මැළිකමක් දක්වන්නේ ලැජ්ජාවටය. එයින් සිදුවන්නේ ආරම්භක අවස්ථාවේදීම සුව කරගත හැකි රෝග ව්‍යාප්ත වී සංකීර්ණ තත්ත්වයට පත් වීමය. ගමගේ මහතාගේ ශල්‍ය ඒකකයට තවත් පලපුරුදු වෛද්‍යවරියක් වන මංගලා මහත්මිය ඇතුළු ශල්‍ය ඒකකයටම පමණක් සීමාවූ පලපුරුදු හෙද නිලධාරීන් ද වෙති. සතියකට ශල්‍යකර්ම සඳහා දින 3ක් ද අනෙකුත් දිනයන්හි සායන ද පවත්වති. හදිසි ශල්‍යකර්මයක් වෙතොත් ඒවා ද සිදු කිරීමට ගමගේ මහතා කාර්යක්ෂම වේ. සායන අවස්ථාවලදී මෙන්ම ශල්‍යකර්ම සිදු කරන විටදී ද පුහුණු වෛද්‍ය සිසුන්ට තම දැනුම බෙදා දීමට ගමගේ මහතා කිසි විටෙකත් නොපැකිළි වේ. තමා මෙන්ම දක්ෂ වෛද්‍යවරුන් අනාගතයට බිහිකිරීම ඔහුගේ අධිෂ්ඨානයයි. ඔවුන්ට ඉතා කාරුණිකව උනන්දුවෙන් ශාස්ත්‍රය ලබා දෙන අකාරය ප්‍රශංසනීයය.

වෛද්‍ය ගමගේ මහතා ඇතුළු ශල්‍ය ඒකකයේ කාර්ය මණ්ඩලය තුළ තිබෙන කාරුණික බව එහි පැමිණෙන රෝගීන්ට අමතර ඔසුවක් වැනිය. ඒ තරමටම ඔවුන් මානුෂිකය. කුඩා දරුවාගේ සිට වැඩිහිටි අය දක්වාම සැත්කම් සඳහා මෙම ඒකකයට පැමිණෙති. දිනකට සායනයට පනස් දෙනකුට එහා පිරිසක් පැමිණෙන අතර, කොතෙක් පිරිසක් පැමිණිය ද ඒ කිසිවකු ප්‍රතිකාරයකින් තොරව නැවත හරවා නොයවති. සායනය පැවැත්වෙන දිනවලදී ඔවුන්ට දිවා ආහාරය ගැනීමට පවා වෙලාවක් නැති තරම්ය. එවන් දිනයන්හි දී ඇල්වතුර ඔවුන්ගේ ආහාරය වේ. සැත්කමකින් පසු දෛනිකව රෝගියා හා දුරකතනයෙන් සුවදුක් විමසීමට ගමගේ මහතා අමතක නොකරන්නේ ය. ගත යුතු ආහාර හා ක්‍රියා කළ යුතු ආකාරය නිතර සිහිපත් කරන්නේය. ඒ සඳහා ඔහුගේ දුරකතනය නිතරම සූදානම්ය. ඒ තරමට ගමගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රතිකාර ගන්නා රෝගීන් ගැන විමසිලිමත්ය.

මෙම ස්ථානයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් කීප දෙනකු හා දොඩමළු වීමට සිතූ හෙයින් රජයේ විගණන අංශයේ ඉහළ තනතුරක් දරන සිල්වා මහතා සමඟ කතාබහ කළෙමි. “මට මුලින්ම රෝග ලක්ෂණ දැනිල වසර තුනක් පමණ වෙනවා. ඒ කාලය තුළ කොළඹ ජාතික රෝහලෙනුත්, ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් දෙකකිනුත් ශල්‍යකර්ම තුනක් කළා. ඒත් ඉන් එකකින්වත් සුව වුණේ නැහැ. රාජගිරිය ආයූර්වේද රෝහලට ගියා. එහිදී ප්‍රතිකාර ලබන අතරතුර හිතවතකු මාර්ගයෙන් මම ගාල්ල ආයූර්වේද රෝහලට පැමිණියා. ඒ එද්දි ප්‍රසන්ත ගමගේ මහතා විදේශගතවී සිටි නිසා වෛද්‍ය මංගලා මැඩම් තමයි මට ප්‍රතිකාර ආරම්භ කළේ. ගමගේ මහතා නැවත ලංකාවට ආවට පස්සෙ දෙන්න එක්කම මට ප්‍රතිකාර කළා. මගේ තට්ටමේ තමයි ගෙඩිය තිබිල තියෙන්නෙ. ඒකෙන් සැරව ඇවිත් පෙකණිය ළඟින් මතු වුණේ. අනික් රෝහල්වලින් ප්‍රතිකාර කළේ පෙකණිය ළඟ තිබුණ සැරව පිරුණ තුවාලයටයි. තට්ටමේ ඇතුළෙ තිබුණ ගෙඩිය හා කුහරය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඒ කාලෙ මට ජීවිතේම එපා වෙලා තිබුණෙ. ඒත් ගමගේ මහතා ඇතුළු කණ්ඩායම මට නැවත ජීවිතය දුන්නා. මට දැන් හොඳටම සුවයි. මේ අයට ස්තුති කරන්න මට වචන නැහැ” යැයි හේ පැවසුවේය.

ප්‍රතිකාර ලබා සුව වූ තරුණියක සමඟ කතාබහ කිරීමට ද මට අවස්ථාව ලැබුණි. ඇය නමින් දිල්හාරා වන අතර, වයස 25ක පාසල් ගුරුවරියකි. ඇය මෙලෙස තම අත්දැකීම් විස්තර කළේය. “මීට වසර තුනකට පෙර ගුද මාර්ගය ආසන්නයේ තිබූ සැරව ගෙඩියක් බටහිර ශල්‍යකර්මයකින් ඉවත් කළා. එහෙත් සැත්කම කර වසර එකහමාරකට පසු නැවතත් එම ගෙඩිය වර්ධනය වීම නිසා මම දැඩි වේදනාවකින් පසු වුණා. පාසල් ගොස් දරුවන්ට උගන්වන්නවත් බැරි තරමට පීඩාවක් දැනුණා. ඒ කාලයේ මට පුටුවකින්වත් වාඩි වෙන්න බැහැ. වේදනාව වගේම ඇඳුම්වල සැරව තැවරෙනවා. යළිත් බටහිර සැත්කමක් කරන්න ඉන්නකොට තමයි මගේ හිතවතියක් මම මෙම ස්ථානයට යොමු කළේ. මෙහිදී කළ සැත්කමින් පසු ගෙඩිය තිබූ තැන සිට ගුද මාර්ගය තෙක් සැරවවලින් පිරුන කුහරයක් සොයා ගත්තා. ආයූර්වේදයේම පමණක් භාවිත කරන විශේෂ ක්‍රමයකට

සැත්කම් කළා. ටික දිනක් යනවිට කියාගන්න බැරි සහනයක් මට දැනුණා. දැන් එම රෝගය නිට්ටාවටම සුව වී ඇති බව වෛද්‍යවරු පැවසූවිට මට කියාගන්න බැරි සතුටක් දැනුණා. මට තිබුණෙ භගන්දර රෝගය බව වෛද්‍යවරු පසුව පැවසුවා. මට මෙතන මඟ හැරුණා නම්, ජීවිතය පුරාවටම වේදනාවෙන් තමයි ඉන්න වෙන්නේ මම අද මෙතනට ආවෙ මිහිපිට දෙවියන් වගේ ඉන්න මේ උත්තමයන්ට පින් දීල, ස්තුති කරල යන්න”.

එහි සිටි බොහෝදෙනකු පවසා සිටියේ ඔවුන් මීට පෙර මෙම ස්ථානයේ මෙවැනි සැත්කම් සිදු කරන බව දැන නොසිටි බවත්, එහෙයින් වෙනත් තැන්වලින් ප්‍රතිකාර ගත් බවත්, එමඟින් සිදුවුණේ රෝගය තව තවත් සිරුර තුළ පැතිරීම පමණක් බවත්, කලින් දැන සිටියා නම් එතරම් කාලයක් වේදනා විඳීමින් නොසිටින බවත්ය. කෙසේ වෙතත් පමාවී හෝ මෙම ස්ථානයට පැමිණෙන්නට ලැබුණේ පෙර වාසනාවකට යැයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේය. විශේෂඥ වෛද්‍ය ප්‍රසන්ත ගමගේ මහතාගේත්, වෛද්‍ය මංගලා මහත්මියගේත්, ශල්‍ය අංශයේ සියලු නිලධාරීන්ගේ උනන්දුව හා කැපවීම එහි පැමිණෙන සියලු රෝගීන්ට ඉමහත් අස්වැසිල්ලක් බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටිති. සැබවින්ම මෙම රෝහලට පැමිණෙන රෝගීන්ට මෙහිදී සිදු කෙරෙන වෛද්‍ය ක්‍රමවේදය හා ශල්‍යකර්ම පිළිබඳ දැඩි විශ්වාසයක් තිබේ. මෙහි සිටින ශල්‍ය වෛද්‍යවරුන් දෙපල හා කාර්ය මණ්ඩලය පිළිබඳව ඇත්තේ ඊටත් වඩා විශ්වාසයකි. මොවුන්ගේ සැත්කම්වලින් සුවය ලැබූ දවයින පුරා සිටින රෝගීන් ගණන අති විශාලය.

පාසල් දරුවන්, ගුරුභවතුන්, ආරක්ෂක අංශයේ නිලධාරීන්, උසස් ආයතනවල නිලධාරීන් වගේම විවිධ වෘතීන්හි නියැළෙන සාමාන්‍ය වැසියන් බොහෝදෙනකු මෙම රෝහලේ ශල්‍ය අංශයේදී දැකගත හැකිය. ඒ අතර විදේශයන්හි සිට පැමිණි අයද බොහෝ වෙති. මෙයින් බොහොමයක් බටහිර වෛද්‍ය ක්‍රමයට කීපවතාවක් ශල්‍යකර්ම සිදු කළත්, සුවනොවූ අයය. එවැනි රෝගීන් සුව කිරීමේදී දැඩි වෙහෙසක් ගත යුතු බවත්, රෝගය හඳුනාගත් වහාම මෙම ස්ථානයට පැමිණිය හොත් ඉතා කෙටි කාලයකින් නිට්ටාවටම සුවය ලැබිය හැකි බවත් ගමගේ මහතාගේ අදහසය.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රසන්ත ගමගේ මහතා පශ්චාත් උපාධිය වෙනුවෙන් හා ආචාර්ය උපාධිය වෙනුවෙන් ගුද රෝග සම්බන්ධයෙන් ප්‍රධාන පර්යේෂණ දෙකක් සිදු කර ඇති අතර, ඊට අමතරව ගුද රෝග පිළිබඳ තවත් පර්යේෂණ 15ක් සිදුකර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා ඉදිරිපත් කර අන්තර්ජාතික සහතික ලැබූ අයෙකි. ආයූර්වේද වෛද්‍ය විද්‍යාවට හොඳ රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙතොත් මීටත් වඩා හොඳ සේවාවක් ලබා දිය හැකි බව ඔහුගේ අදහසය. වර්තමානයේ ආයූර්වේද ප්‍රතිකර්මවලට විදේශිකයන්ගේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන බවත්, අපේ රටේ ආයූර්වේද වෛද්‍ය විද්‍යාව දියණු කළ හොත් විදේශ විනිමය ලබා ගැනීමට කදිම තෝතැන්නක් වේ යැයි හෙතෙම පැසුවේය.

ලංකාවේ රජයේ ආයූර්වේද රෝහල් අතරින් මේ වන විට ශල්‍යාගාරයක ශල්‍යකර්ම සිදු කරන්නේ ගාල්ල දිස්ත්‍රික් ආයූර්වේද රෝහලේ පමණක් වන අතර, අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නම් තවත් රෝග රාශියකට සැත්කම් කිරීමේ හැකියාව තිබෙන බව ගමගේ මහතා පැවැසුවේය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.