ලොව කලඹන වඳුරු උණ

අගෝස්තු 5, 2022

කොරෝනා රෝගයට පසු වර්තමානයේ නව රෝගයක් පිළිබඳව කතිකාවක් ගොඩනැගී ඇත. එය ද මේ වනවිට ලොව පුරා පැතිරීමේ අවදානමට ලක්ව ඇති බව වාර්තාවන දත්ත අනුව පෙනේ. දැනටමත් ලොව පුරා හැත්තෑ දහසකට අධික රෝගීන් පිරිසක් මෙම රෝගයට ගොදුරු වී ඇති අතර එය රටවල් බොහෝ ගණනක දැනට පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෛරස තත්ත්වය බොහෝ අවස්ථාවලදී විදෙස් රටවල වාර්තා වී ඇත. 2018 වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් රාජධානියෙන් ද 2019 මැයි මාසයේදී සිංගප්පූරුවටත් මෙම වෛරසය පැමිණ තිබේ. රෝගයේ නවතම තොරතුරු අනුව විශේෂයෙන් මෙම රෝගය අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇත. ප්‍රංශය, ඔස්ට්‍රියාව, ජර්මනිය ආදී රටවලටද වර්තමානයේ පැතිරී ඇත. මෙම වඳුරු උණ පිළිබඳව ශ්‍රී ලාංකිකයන් ලෙස අප ද අවධානයෙන් සිටිය යුතුමය. මක්නිසාදයත් ලාංකිකයන් ලෙස අප මේ ගතකරමින් සිටින අවධිය ඉතාම දුෂ්කර අවධියක් වන බැවිණි. කුමන කාරණයක් නිසා හෝ මෙම වෛරසය ලංකාවේ ව්‍යාප්ත වීම ආරම්භ වුවහොත් එය අප කබලෙන් ලිපට වැටෙන තත්වයකට පත්වේ. ආර්ථික අපහසුතා හා දිනපතා පවතින පෝලිම් ක්‍රම නිසා මානසිකව අප සිටින තත්ත්වයන් මෙවැනි රෝග තත්ත්වයකදී ඉතාම හානිකර ලෙස අපගේ ජන ජීවිතයට බලපාන බැවිණි.

රෝග ලක්ෂ

මෙම රෝගයේ දී අධික උණ පවතී. ශරීරයේ පවතින මස්පිඬුවල අධික වේදනාවක් හටගනී. සමේ ගෙඩි ඇතිවීම දක්නට ලැබේ. දද හා කුෂ්ඨ ලක්ෂණ සම තුළ දක්නට ලැබේ. මෙහිදී සෙම්ප්‍රතික්ෂාව ද පෙන්වයි. එමෙන්ම වසා ගැටිතිවල ඉදිමීම ද දක්නට ලැබේ. මෙය වෛරස් රෝගයකි. රෝගය ආසාදනය වීම දින 06 සිට දින 13 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ පෙන්වීම සිදු කරයි. එසේම මෙම රෝගය දින පහේ සිට දින 21 දක්වා කාලයක් රෝග ලක්ෂණ ඇති වීමේ හැකියාවක් ඇත. මුල් දින පහේ දී බොහෝ විට දැඩි උණ ගතිය හා දැඩි හිසරදය, වසා ග්‍රන්ථි ඉදිමීම,මාංශපේශීවල වේදනාව හා ශරීරයේ ශක්තිය නැති කම දැනෙන්නට පටන් ගනී. මෙය මුල් දින පහේ දී සිදුවේ. ඉන්පසු උණ සමඟ ශරීරය කැසීම ආරම්භ වී බිබිළි ඇතිවීම සිදුවේ. මේවා විශාල බිබිළි ලෙස දක්නට ලැබේ. එම බිබිළි තුළ තරල ස්පථ දක්නට ලැබේ. ඒවා පැහැදිළි දියර ස්වභාවයක් හා කහ පැහැති තරලමය සභාවක් දක්නට ලැබේ. තුවාල දෙක තුන හට ගෙන ශරීරය පුරා පැතිරෙයි.

ප්‍රතිකාර

දේශීය මෙන්ම විදේශියව ද මේ සඳහා බොහෝ ප්‍රතිකාර පද්ධතියක් අපට සොයාගත හැකි වනු ඇත. මෙය වර්තමානයේ පවතින නවතම රෝග තත්ත්වයකි. බටහිර මෙම රෝගී තත්ත්වය එන්නත්කරණය මඟින් සුව කළ හැකි බව පැවසේ. එය වසූරිය එන්නත ගත් පුද්ගලයන්ට නොසෑදෙන බව කියැවේ. එසේම නව එන්නත් ද ඇති බව වර්තමානයේ පැවසේ. ආයුර්වේදයට අනුව මෙය ත්‍රිදෝෂ තත්වයන් හා ප්‍රකෘති තත්ත්වයන් අනුව සලකා බලා ප්‍රතිකාර කරීමට තීරණ ගැනීම වෛද්‍යවරුන් සතු වේ. බොහෝ විට මේ සඳහා ද කොරෝනා ප්‍රතිකාරයේ දී මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වෛරසයට එරෙහිව පවතින ඖෂධ වර්ග උපයෝගී කරගැනීම සිදු කළ හැකිය. ශ්‍රී ලංකාවේ මෙම වෛරසය ව්‍යාප්තියට පෙර අපි ඒ සඳහා අවධානය යොමු කළ යුතු වෙමු. රෝගය ඉතා භයානක නොවන බව දැක්වුව ද එයින් ඇතිවන සංකූලතා හානිකර බව පෙනේ. මේ සඳහා ආහාර රටාව විහරණ රටාව හා දේශීය ඖෂධ යොදා රෝගය මර්දනයට උත්සාහ ගත යුතුය. විශේෂයෙන්ම සීතාරාම ගුලිය, රාමනිණ, ත්‍රිභූනක කිර්ති රස, මෘත්‍යුංජය ආදි බොහෝ පලි වර්ග දක්නට ලැබේ. එසේම බුද්ධ රාජ කල්කය, නවරත්න කල්කය ලියාදී චූර්ණය සීතෝපලදී චූර්ණ කෂාය ලෙස දේවදාර පස්පංගුව නේපතී කෂාය කච්චායනා ගරාදි කෂාය වැනි කෂාය වර්ග මෙහිදී යොදා ගත හැකිය. එසේම ප්‍රතිශක්තිය වර්ධනය යෝග බොහෝ ප්‍රමාණයක් අපට දේශීයව හමුවේ. මේ සියල්ල ද අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිදෝෂ කෝප වීම සලකා බලා අවස්ථානුකූලව යෙදීම කළ හැකිය. විශේෂයෙන් මෙහිදී සඳහන් කළයුතු වන්නේ ඒකීය ඖෂධයක් මත විශ්වාසය නොතබා ඖෂධ පද්ධති මඟින් රෝගය සුව කිරීමට උත්සහ කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාමාර්ගය බවයි. එසේම සඳහන් කළ යුතු වන්නේ පංචභුත මඟින් ජනිත ශරීරය තුළ දෝෂ තත්ත්ව අනුව විවිධාකාර රෝග එනම් නානාවිධ රෝග ඇති වන බවයි. එය වාත පිත්ත අනුව කථදී දෝෂ අනුව විග්‍රහ කර රෝගය තුරන් කිරීම සඳහා අවශ්‍ය ඖෂධ යොදා ඖෂධ යෝග යෙදීම කළ යුතුය.

රෝගයෙන් වැළකීමට

කොරෝනා රෝගයේ දී මෙන්ම මෙයද බෝවන රෝග තත්වයකි. කොරෝනා තරම් භයානක නොවුණද ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට මෙය හානිකර විය හැකිය. එබැවින් මෙම රෝගය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රම අනුගමනය කිරීම ඉතාම මැනවින් සිදු කළ යුතුය. මෙම වෛරසය ස්පර්ශය දහඩිය හා කෙළ බිඳීති හරහා පැතිරී යන බව පැවසේ. එබැවින් ඒවා ගෑවීම හා වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගත යුතුය. විශේෂයෙන්ම ආසාදිත පුද්ගලයෙකුගේ පෞද්ගලික භාණ්ඩ ඇඳ ඇතිරිලි පිඟන් කෝප්ප වැනිදේ භාවිතා නොකළ යුතුය. එසේම එවැනි දේ ගෑවුණ හොත් හැකි ඉක්මනින් සබන් වතුර යොදා සේදීම සිදු කරන්න. බාහිරින් පැමිණෙන පුද්ගලයින් සමඟ (පිටරටින් පැමිණෙන) ආසාදිත රෝගීන් සේ සැකකෙරෙන පුද්ගලයින් සමග සම්බන්ධතා අවම කරන්න. හොඳ ආහාර රටාවක් හා පුද්ගල පවිත්‍රතාවය සහිතව නිරෝගී මනසක් සමඟ කලය ගත කරන්න. ප්‍රතිශක්තිය ඉහළ දැමීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. රෝගය ශ්‍රී ලංකාවට පැමිණිය ද ආරක්ෂිතක්‍රම ක්‍රියාමාර්ග මඟින් රෝගය බෝවීම වළක්වා ගත හැකිය.

වෛද්‍ය නිලධාරී

අභයතිලක දේවගිරි

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.