සීනි මට්ටු කරන තෙබු

අගෝස්තු 19, 2022
 
තෙබුවල ඖෂධීය ගුණ
 
ගම්බදව වැවෙන ආහාරයට ගන්නා දේශීය ශාක වර්ග බොහොමයක් තිබේ. එවැනි වූ ශාක විශේෂයක් ලෙස ‘තෙබු’ හැඳීන්විය හැකිය. ‘තෙබු’ ගැමියන් අතර මෙන්ම නාගරිකයන් අතර ද ඉතාම ජනප්‍රිය ශාකයකි. 
මෙම ශාකය ජනතාව අතර ජනප්‍රිය වීමට හේතුවී තිබෙන්නේ ඒවා ආහාරයට ගැනීම මඟින් රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් පහළ වැටීමට සමත්වේය යන මතයයි. එසේම තෙබු කොළ වල රුධිරයේ කොලොස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධීය ගුණයක් තිබෙන බවටත් විශ්වාසයක් පවතී. මෙය ඇතැම් රටවල ආක්‍රමණශීලී පැළෑටියක් ලෙස ද හඳුන්වනු ලබයි. අග්නිදිග ආසියාව මෙම ශාකයේ නිජ භූමිය වන අතර ඉන්දුනීසියාවේ සුන්ඩා දූපතේ මේවායේ බහුල ව්‍යාප්තියක් දක්නට ලැබේ. කුක්, ෆිජි සහ හවායි වැනි පැසිෆික් දූපත්වලද මෙම ශාකය දක්නට ලැබෙන අතර ඒවායේ මෙය හඳුන්වා ඇත්තේ ආක්‍රමණශීලී ශාකයක් ලෙසිනි. මෙය ඉන්දියාවේ බහුලව වගා කෙරෙන අතර, අනෙකුත් රටවල විසිතුරු පැළෑටියක් ලෙස ද වගා කෙරේ.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම ශාකය විවිධ වූ ඖෂධීය ගුණාංගයන්ගෙන් යුක්තය. ලාදුරු, උණ, ඇදුම, බ්‍රොන්කයිටිස් හෙවත් ශ්වාසනාළ ප්‍රදාහය හා බඩවැල්වල පණුවන් නැසීම සඳහාද මෙය යොදාගනු ලබයි. මෑතකදී කළ පර්යේෂණවලට අනුව හෙළි වී ඇත්තේ දියවැඩියාවට ද මෙය ප්‍රත්‍යක්ෂ ඔසුවක් බවය. දැනට සිදුකොට ඇති පර්යේෂණවලට අනුව තෙබු පත්‍රයක ප්‍රෝටීන් 19 ක්ද, කාබෝහයිඩේ්‍රට් 44ක්ද, ලිපිඩ 4 ක්ද තිබේ. තන්තු සංයුතිය 12කි. එමෙන්ම කැල්සියම්, මැග්නීසියම් හා සෝඩියම් 2 බැගින්ද, ‍පොටෑසියම් 1ක්ද, බොහෝ විටමින් වර්ග ද ඇති බැව් හෙළි වී තිබේ. තෙබු පත්‍ර යොදා විවිධ ආහාර වර්ග පිසීම ආසියානු රටවල සුලබව දක්නට ලැබේ.
මෙම ශාකය බැක්ටීරියා හා දිලීරවලට ඔරොත්තු දීමේ ගුණයෙන් යුක්ත බැව් සොයාගෙන තිබේ.
ඈත අතීතයේ සිටම අපේ ගැමියන් තෙබු කොළ විවිධ ආකාරවලට තම ආහාර වේලට එක්කරගෙන තිබේ.
කලවම් පලාවේ අංගයක් ලෙස. එසේම සලාදයක් ලෙස. තෙබු වලින් කුසගින්න ඇති කරනවා වගේම ආහාර රුචියද වැඩිකරනවා. ඒ වගේම සෙම, පිත, උණ, කැස්ස, ආදිය පාලනයට තෙබු ආහාරයට ගැනීමෙන් සිදුවෙනවා. ඉරුවාරදය නසන්න තෙබු ඉතා හොඳයි. ශරීරය උෂ්ණ අයගේ සිරුර සිසිල් කරන්නත් තෙබු ආහාරයට ගැනීම හොඳයි. හමේ රෝග නසන්නත් තෙබු උදව් වෙනවා. ඇදුම රෝගයට, මල බද්ධයට, පණු රෝගවලට, තෙබු ඉතා ගුණයි. සමහර අයට ඇති වෙන මානසික ආතතිය පාලනය කරන්නත් තෙබු ඉතා ප්‍රයෝජනවත් වෙනවා.
ඒ වගේම තෙබු වැඩිපුරම උදව් වෙන්නේ දියවැඩියාව පාලනය කරන්න සහ කොලෙස්ටරෝල් පාලනය කරන්න. කලක් තිස්සේ අපේ ගැමි ජනතාව මේ ආකාරයෙන් ආහාරයට එකතු කර ගැනීමෙන් විශේෂිත ගුණයක් ඇති වු අතරම අගුණයක් නම් කිසි විටෙක ඇති වුයේ නැහැ. දිනපතාම තෙබු ආහාරයට ගැනීම සුදුසු නැහැ. නමුත් සතියට දින 2ක් හෝ 3ක් ආහාරයට ගැනීමෙන් සියලුම ලෙඩ රෝගවලින් සහනයක් ලබාගන්න හැකි වේවි.
ඒ වගේම තෙබු පැළය ඉතා අංලකාර සුදුපාට මල් පිපෙන පැළයක්. එනිසා අවට පරිසරය සුන්දර කරන්න මෙන්ම පලාවක් ලෙස ආහාරයට එක්කර ගන්න ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉතා පහසුවෙන් වගා කර ගන්න පුළුවන්. පැළෑටියක් විදියට තෙබු හඳුන්වන්න පුළුවන්.
තෙබු කොළ මැල්ලු‍ම, තෙබු කොළ සලාදය, තෙබු ගොබ ව්‍යංජනය, වගේ නොයෙක් විදියට සකස් කර ගන්න පුළුවන්. තෙබු දල්ල සහිත ළපටි ගොබය කිරට පිසූ කළ ඉතා රසවත් ව්‍යංජනයකි. තෙබුවලින් රසවත් ආහාර සකසා ගනිමු.
 
තෙබු කොළ මැල්ලුම
 
අවශ්‍ය ද්‍රව්‍ය
තෙබු කොළ දෙමිටක්
ගාගත් ‍පොල් ටිකක්
රතුලූනු ගෙඩි කීපයක්
අමුමිරිස් කරලක්
කරපිංචා කිනිත්තක්
කහකුඩු ස්වල්පයක්
ගම්මිරිස් ඇට කීපයක්
අබ ස්වල්පයක්
තෙල් ටිකක්
උම්බලකඩ කුඩු ටිකක්
දෙහි යුෂ ටිකක්
රස අනුව ලුණු
 
සාදන ආකාරය
තෙබු කොළ සෝදා දිය බේරා ගෙන ඉතා සිහින්ව ලියාගන්න. ‍පොල් වලට කහ, ගම්මිරිස්, උම්බලකඩ, රතුලූනු, අමුමිරිස්, ලුණු දමා හොඳීන් ග‍ලේ අඹරා ගන්න. නැතිනම් කොටා ගන්න. දැන් තෙබුකොළවලට අඹරාගත් ‍පොල් මිශ්‍රණය දමා හොඳීන් කලවම් කරගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට කරපිංචා දමන්න. අබ ඇට ටික දමා පුපුරවා ගන්න. දැන් කොළ මිශ්‍රණය දමා කොළ පැහැය වියැකී යා නොදී මලවා ගන්න. බිමට බා දෙහි යුෂ එකතු කරන්න.
 
තෙබු කොළ සලාදය
 
අවශ්‍ය ද්‍රව්‍ය
තෙබු කොළ දෙමිටක්
අමුමිරිස් කරල් 2 ක්
රතුලූනු ගෙඩි කීපයක්
ලුණු රසට අනුව
උම්බලකඩ කුඩු ටිකක්
ගම්මිරිස් කුඩු ඉතා ස්වල්පයක්
ගාගත් ‍පොල් ටිකක්
දෙහි යුෂ ටිකක්
සාදන ආකාරය
තෙබු කොළ සෝදා හොඳීන් දිය බේරා ගන්න. ඉතා සිහින්ව ලියා ගන්න. රතුලූනු, අමුමිරිස්, සිහින්ව ලියා ගන්න. දැන් භාජනයක් ගෙන එයට ‍පොල්, කපාගත් රතුලූනු, අමුමිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහියුෂ, උම්බලකඩ කුඩු දමා හොඳීන් මිශ්‍ර කරන්න. අන්තිමට කපාගත් තෙබු කොළ ටිකද මිශ්‍ර කරගන්න.
 
තෙබු ගොබ ව්‍යංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි තෙබු දළු සහිත ගොබ දෙක තුනක්
අමුමිරිස් කරල් 2 ක්
රතුලූනු අහුරක්
කහ ස්වල්පයක්
අමුතුනපහ ස්වල්පයක්
උම්බලකඩ කැබැලි ටිකක්
ලුණු
මිටිකිරි ටිකක්
උළුහාල් ඇට කීපයක්
සාදන ආකාරය
තෙබු ගොබ ටික සෝදා සිහින්ව කැබැලිවලට කපා ගන්න. රතුලූනු, අමුමිරිස් ද සිහින්ව කපන්න. දැන් මැටි හට්ටියක් ගෙන සියල්ල එකට දමා කොළ පැහැය නොනැසෙන සේ සිදුවා ගන්න.
 
එස්. එම් ජයසූරිය
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.