ඔබත් හිසරදයෙන් පෙළෙනවාද? මෙන්න විසඳුම්

අගෝස්තු 26, 2022

කෙදිනක හෝ ඔබට හිසරදයක් සැදුණා යැයි මතකයක් තිබෙනවාද? එසේ හටගත් හිසේ වේදනාවෙන් ඔබ සැලුනේද? එසේ නැත්නම් වේදනාව ඉවසීමෙන් මැඩ පවත්වා ගත්තේද? එපමණකින් නොසැලී සුදුසු ප්‍රතිකාරයක් වහාම ගත්තේවීද? මෙසේ හිසරදය අධික වශයෙන් ගත් කල්හි එය උමතු රෝග සෑදෙන්නට ඉවහල් වන බව එක්තරා සාධකයක් වනු ඇත.

හිසරදය වැලදුණ විට උසුලා ගත නොහැකි සමහරු පවසන්නේ “ අනේ මට හිසරදය නොමැතිව වෙන ඕනෑම රෝගයක් හැදුනාට කමක් නැති බවයැ. නොකඩවා හිසරදය ඇති විටෙක ජීවිතය නැති කර ගැනීමට තරම් හිතෙන බව එය වැලඳී ඇති අය පවසති. යමෙකුට යම් හිරිහැරයක් හෝ කරදරයක් පැමිණි විට ඒක මට හරිම හිසරදයක් යැයි පවසනු ඇත. මෙයින් අවබෝධ වෙන්නේ හිසරදය ජීවිතයට කරදරකාරී වූවක් බවයැ.

මෙසේ හටගන්නා හිසරදය නොයෙක් හේතූන් උඩ වැලඳෙන රෝගයකි. ආයුර්වේදානුකූලව හිස රුදාව එකොළොස් ආකාරයට දක්වා ඇත. එනම් වාතජ, පිත්තජ, කඵජ, ත්‍රිදෝෂජ, රක්තජ,ධාතුක්ෂයජ, ක්‍රිමිජ සහ සූර්යාවර්ත, ඉරුවාරදය, අනන්තවාත, අර්ධාවභෙදක, ශංඛ යනුවෙනි.

මෙසේ සඳහන් ආබාධ වලදී ඇතිවන හිස රුදාවට මූලිකව පවතින නිදානයට අනුව ප්‍රතිකාර යෙදීමෙන් සුවපත් භාවය ළඟා කර ගත හැක. හිසරදය යයි කී පමණින් වෛද්‍යවරුන් ළඟට පැමිණෙන රෝගීන් උදෙසා පිළියම් යෙදීමට පෙළඹුණ ද එහි රෝග නිදානය නොසොයා නොබලා ප්‍රතිකාර කිරීම උචිත නොවනු ඇත. එසේ ප්‍රතිකාර කිරීමට පෙර රෝග නිදානය ගැඹුරු ලෙසට විහිද යා නම් ඒ ඔස්සේ ප්‍රතිකාර කිරීම ඇරඹීම සුදුසු වේ.

හිසරදය වැලඳීමට හේතුවන කරුණු අතර පීනස් රෝග සාධකයක් තිබුණද ප්‍රධාන වශයෙන්ම පීනස යැයි සලකා ප්‍රතිකාර කිරීම නුවණට හුරු නොවේ. මන්ද සියලුම හිස රුජා පීනසට ම පෙන්වන බව තීරණය කළ යුතු නොවන නිසායැ.

වාතයෙන් උපන් හිසරදය අවස්ථාවේදී - මෙය රාත්‍රී කාලයේදී වඩාත් තීව්‍ර වන ලෙසක් දැකිය හැකිය. මෙහිදී සුදුසු තෙලක් හිසට යොදා පිරිමැදීම වැදගත් වේ.

පින්නෙන් උපන් හිසරදයේදී - හිසෙන් දුම් පිටවෙන්නාක් බඳුවේ. රාත්‍රි කාලයේදී වේදනාව අඩු බවක් පෙන්වයි. මේ සඳහා ශීතල ගුණ දෙන ඖෂධ සංයෝග ආලේප කිරීම ප්‍රතිඵලදායක වේ.

සෙමෙන් උපන් හිසරදය ඇති විටෙකදී හිසේ බර බවක් ඇති කරනු ඇත.

රක්තජව උපන් හිසරදයෙහිදි අධික හිසරදයක් ඇති වෙනු ඇත. මෙවැනි අවස්ථාවක් තමන්ට පාලනය කර ගැනීමට තරම්ම අපහසුවක් දැනේ.

හිසරදය ඇති වීමට තවත් හේතුවක් නම් සිතට ඇතිවන අවිවේකී බව සිතුවිලි පාලනය කර ගත නොහැකි වීම, සිතැවුල් ඇතිවීම ආදියයි. අධික වශයෙන් සිතට ගැටලු සහගත සිතුම් පැමිණි විටදී සමහරු හිසට අතින් තට්ටු කරමින් ගැටලු ලිහාගන්නට උත්සාහ ගන්නා විලාසයක් ඔබටද දකින්නට ඇත.

ඕනෑම කෙනෙකුගේ සිතුවිලි අවදි වන්නේ මනස සහ හදවත ප්‍රමුඛව බව නොරහසකි. “ දූරු ගමං ඒක චරං අසරීරං ගුහාසයං” මනස එලෙස දුර ගමන් කරන බවද හැඩයක් නොමැති බවද ගුහාවක් වැනි වූ ස්ථානයක සැඟවී සිටින බවද ප්‍රසිද්ධ න්‍යයාත්මක මතයක් වෙයි. එලෙස මනස සහ හිස අතර බොහෝ සමීප සම්බන්ධයක් පවතින බව අපට සිතාගත හැකිය. එබැවින්ම යමකු දිවාකල්හි දුටු දර්ශනක් මනසේ තැන්පත් වී රාත්‍රී සිහිනයෙන් එම දසුන සිහිනයක් ලෙසට විසිතුරුව අපට දර්ශනය විය හැකිය.

යමකුගේ සිතට දරාගත නොහැකි අදහස් සහ දැනුම් සම්භාරයක් තැන්පත් වූ විට අධික හිසරදයක් ඇති වූ විටදී පවසන්නේ “ මගේ හිස ගලක ගසා ගැනීමට තරම් අධික හිසරදයක් පවතින බවය.” එවැනි චිත්ත පීඩාවන් හට ගත් පසු හිසේ අධික වේදනාවක් හටගත හැකිය. එවිට හිසකුඩිච්චි නම් හිසට ඖෂධ වර්ග යොදා පැය භාගයක් පමණ වේලා හිඳ ස්නානයෙන් පසු ශීර්ෂාබාධය සුවපත් වනු ඇත.

සමහර පාරිසරික අපිරිසිදු ස්ථානවලින් හමන දුර්ගන්ධය ද ආඝ්‍රාණය වීම හේතුවෙන් සෑදෙන හිසරුජාව එම දුඟද පහවෙන ස්ථානයකට පැමිණෙන තෙක්ම පවතින බව මෙහිදී සඳහන් කළ යුතු කාරණයක් වේ. උෂ්ණාධික ආහාරපාන නිතර ගැනීම හේතුවෙන්ද විරුද්ධ ආහාර ( මස් වර්ග සමඟ දී කිරි ගැනීම) ආදිය ද නිසාවෙන් ද නිතර නිතර සුරාපානය, පමණ ඉක්මවා ගැනීමෙන්ද, අධික වශයෙන් මොළය වෙහෙස කරන ක්‍රියාවන්වල යෙදීම ද මළබද්ධය ද මළ මුත්‍ර වේග දැරීමද කාන්තාවන්ගේ ඍතු ( ඔසප්) ලෙස නතර කිරීම ද, නිදිවැරීම, පිණි බෑම, සෙම්ප්‍රතිශ්‍යාව සෑදී ගෙන එනවිට උණ හෝ මැලේරියා හිසරදය ඇති වීමට මූලික වන ප්‍රධාන හේතූන් වේ.

විෂ වාත රක්ත රෝගවල උපද්‍රවයක් ලෙසද අර්ධ කපාල වාත ( රක්තය) නිසාද හිසෙහි නහර පුපුරා යාමට තරම් හිසවේදනා ඇති වේ. හිරු එළියෙහි බොහෝ වේලාවක් හිදීම හේතුවෙන්ද හිසරදය ඇතිවන අතර සමහර උදවියට මාස් ශුද්ධි අර්බුද නිසාද මෙම රෝගී තත්ත්වය ඇති වේ. පිළුණු ආහාර ගැනීම ද එක්තරා කරුණක් වන අතර හිසට තදින් පහරක් වැදීම, සන්ධ්‍යා කාලයෙහි ස්නානය, කෘත්‍රිම රසකාරක වර්ණ යෙදූ ආහාරපාන ගැනීම, අධික ලෙසට කල්පනාවෙහි යෙදීම, අධික ලෙස බර ඉසිලීම, දූවිලි සහ දුම් ආග්‍රහණය කිරීම, අධික ශබ්ද ශ්‍රවණයට ඇතුළු වීම මෙන්ම මානසික ගැටලු සහ වියවුල් වලදී හිසරදය ඇතිවනු ලබයි. සමහර ඇස් රෝගවලදී ද හිසරදය හටගනු ලබයි.

ඔබට අධික රුධිර පීඩනය තිබෙනවාද? එසේ නම් සමහරවිට ඔබට හිසරදය ඇති වීමට පුළුවන. එපමණක් නොව මෙවැනි අවස්ථාවක කරකැවිල්ල, වමනයද ඇතිවිය හැකිය. මොළය ඇතුළේ රුධිර වහනයෙන්ද හිසරදය ඇති වේ. හිරුඑළියේ බලපෑම නිසා ඇතිවන මිග්‍රෙන් නම් අවස්ථාව ඉරුවාරදය ලෙසින් හැඳින්වෙන අතර මොළයේ රුධිරනාල බිත්තිවල පේශී හැකිවීම නිසා විශේෂයෙන් උදය කාලයෙහි ඔක්කාරය, කරකැවිල්ල හිසරදය ඇති වේ. මෙම තත්ත්වය කාන්තාවන් කෙරෙහි වඩාත් බලපානු ලැබේ.

එමෙන්ම සමහර ආහාර වර්ගද හිසරදය ඇති කරවන හේතු වෙන බව පැවසිය හැක. මෙකී ආහාරයන් නිසා රුධිර රසායනික මට්ටම ඉහළ යන බව පෙනී යන කරුණකි. දෙහි, දොඩම් ආදී පලතුරු චොක්ලට්, යෝගට්, ටොෆි, මස් වර්ග (ඌරු මස්) විශේෂයෙන් ගත හැක. කෝපි පානයද එක් සාධකයකි.

සමහර උදවියට තේ පානයෙන් ද හිසරදය ඇති විය හැක. එය ඉරුවාරදය සමඟ ඇති වනු ලබන තත්ත්වයකි.

වයස අවුරුදු 18 -40 වියැති කාන්තාවන් හට ඔසප් කාලසීමාවේදී ඊස්ට්‍රජන් සහ ප්‍රජෙස්ට්‍රරෝන් යන හෝර්මෝනවල ක්‍රියාකාරීත්වයේදී හිසරදය ඇතිවිය හැකිය. යම්කිසි කරුණක් පිළිබඳව ගැටලු සහගත බවක් ඇති වීම නිසා ඒ පිළිබඳව දිගින් දිගටම කල්පනා කිරීමේදී මානසිකව පීඩාවට පත්ව හිසරදය ඇති වීමට පුළුවන. එවිට අනෙකෙකු නුරුස්සන බව, කේන්ති යාම ආදිය ඇති විය හැකිය. සමහර අවස්ථාවලදී මළබද්ධය ඇති විටෙක ඇතිවන හිසරදය මැඩපැවැත්වීම සඳහා තිපල් කෂාය යෙදීම ද සුදුසුය.

හිසරදයට ප්‍රතිකාර

උණ රෝගීන් හට වැළඳුන හිසරදය සඳහා - විනාකිරෙන් පොඟවන ලද රෙදි කැබැල්ලක් නළලෙහි ටික වේලාවක් එළා තිබීමෙන් හිසරදය සුවපත් වේ. එමෙන්ම සුදුහඳුන් ඇල් දියෙන් ගලගා රෙදි කැබැල්ලක ආලේප කර නළලෙහි එළා තැබීම.

හිසරදයට දුමක් - අබ, වද කහ, එන්සහල්,දෙව්දුරු, කහ, සුවඳ කොට්ටං, කුරුඳු පොතු, කොටා සුණු කර රෙදිකඩක අතුරා ගිතෙලින් තෙමා දල්වා නිවා දුම් දෙන්න. ( නාසයට දෙනෙතට)

එඬරු ඇට මද, එම කොළ, කිතුල් හකුරු, නික කොළ සමව ගෙන ඊට තල ඇට, සුදුලූණු ද මිශ්‍ර කොටගෙන කොටා පොට්ටනිය සාදා වණ්ඩුවේ තම්බා නළලේ තෙල් ගා තවන්න.

හාතවාරිය අල, බැබිල, වැල් පෙනෙල, මුකුණුවැන්න, දෙහි ගැට සමව ගෙන කොටා තැඹිලි දියෙන් තම්බා අඹරා හිසගල්වා නාන්න.

කුප්පමේණිය පස් පංගුව කොටා පොට්ටණිය සාදා වණ්ඩුවේ තම්බා ගිතෙල් ගා නළල මත තබන්න.

ඕඩික්ලෝන්, විනාකිරි, ඇල් දිය , තන කිරි, පොල් තෙල් කපුරු මේ සියල්ල මිශ්‍ර කර යෙදීමෙන් හිසරදය පහ වේ.

ප්‍රලේප වශයෙන් ගත් කල්හි සුවඳ කොට්ටම්, ඉරමුසු වැල්මී විනාකිරෙන් අඹරා ගිතෙල් තලතෙල් මිශ්‍ර කර ගන්න.

මානෙල් අල සුවඳ කොට්ටං වැල්මී, ඉරමුසු, සියඹලා බොරෙන් අඹරා නළලත ආලේප කරන්න. සුවඳ කොට්ටං, තිපල්, සැවැන්දරා, කලාදුරු, කහ, තැඹිලි දියෙන් අඹරා ගාන්න.

ඔලිඳ කොළ යුෂ දෙහි ඇඹුලෙන් කකාරා ආලේප කරන්න.

වියළි ඉඟුරු කුඩු, තල තෙලෙන් අනා ආලේප කරන්න. දෙහි ගැට, පෙනෙල කොළ එළකිරෙන් අඹරා නළලේ ගාන්න. දුම් ඉරීම සඳහා පාවට්ටා කොළ වියළවා ගෙන දුම් අල්ලන්න, උරන්න. කහ කුඩු, තල තෙලින් අනා රෙදි කැබැල්ලක ඔතා දල්වා ඉන් නැගෙන දුම් උරන්න.

මෙහිදී අප කළ යුතු වන්නේ හිසරදය ඇති කරවන මං පෙත් අවුරාලී බව සඳහන් කිරීම. පරිසරයකින්, හිසරදය ඇතිවන අවස්ථාවක් ඇති වේ නම් එම පරිසරයෙන් ඈත් වීමද ආහාරපාන තුළින් එවැනි ආබාධිත තත්ත්වයක් ඇති වේ නම් ඒවා නොගෙන සිටීමද, ඖෂධ වලින් හෝ රසායනික වර්ගවලින් ඇතිවන හිසරදය ඒවායින් කලක් මැඩලීම කළ යුතු උපක්‍රම වනවා නිසැකය.

 

පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය

සුසිලා නාලිනී ගොඩලියද්ද

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.