හරියටම හරියන කෙම් ක්‍රම

සැප්තැම්බර් 30, 2022

අජීර්ණයට

හොඳින් නටන උණුවතුර භාජනයකට අළු ස්වල්පයක් දමා සුළු වෙලාවක් වසා තබා ඉන්පසුව පෙරා එම ජලය පානය කිරීම.

වමනයට

කතා නොකොට ඇඳ සිටින වස්ත්‍රයේ පටියක් ඉරා මූත්‍රාවලින් තෙමා වට තුනක් බෙල්ලේ එතීම. කථා නොකොට වමනය ස්වල්පයක් ගෙන ගොස් ගලන වතුරකට දැමීම

මල මූත්‍ර නොයාමට

කතා නොකොට පිරිසුදු අලුත් මුට්ටියකට ඇල්වතුර කෝප්ප අටක් දමා එකට සිඳ බීම ( මෙම වතුර හත්වරක් පෙරා ගත් ඒවා විය යුතුය)

පාචනයට

කතා නොකොට උදේ පාන්දර එරඬු ගසක් ළඟට ගොස් ගස වටා තෙවරක් යමින් නව වාරයක් වැඳ ගසේ බටහිර පැත්තෙන් පහළ සිට ඉහළට පොතු ස්වල්පයක් ගලවාගෙන රෝගීයාගේ පෙකනිය වටා බැඳීම.

බඩ රිදුමට

බකමූණා නාද කරන ගස නිශ්චිතව දැන ගස ළඟට ගොස් බකමූණා පියාඹා යාමට පෙර ගසෙන් පොත්තක් උඩ සිට පහළට ගලවා ගෙන එය හැඳි වස්ත්‍රයට හිරවන සේ බඩරිදිල්ල පවතින පෙදෙසේ තබා බැදීම.

බඩේ වේදනාවට

කතා නොකොට සස්සඳ මුලක් ගලවාගෙන දෙහි ඇඹුලෙන් අඹරා එම යුෂ බීම

ඉරුවාරදයට

කතා නොකොට උදෑසන හිරු පායන්නට පෙර මුරුංගා ගසක් ළඟට ගොස් ගසට වැඳ පොත්තක් ගසා ගෙන දෙහි ඇඹුලෙන් උරච්චි කර දිනපතා උදය තුනක් නළලේ ගෑම .

ඇදුමට

උදය අවදිව කතා නැතිව වැල්කැප්පෙටියා කොළ ස්වල්පයක් කඩා ගෙනවුත් කොටා ගත් යුෂ රත්කොට කොප්ප භාගයක් රෝගියාට බීමට දීම.

උණට

අලුයම කථා නොකොට නැගිට ගොස් කුඹුරු කොළ කඩාගෙන සූදුරු ස්වල්පයක් හා සුදු ලූනු බික් කිහිපයක් සමඟ කොටා මිරිකා ගත් යුෂ කෝප්ප භාගයක් පමණ වංගෙඩියක් මුණින් අතට පෙරළා පය බිම නොගෑවෙන සේ රෝගියා හිඳුවා බීමට දීම.

බරවා රෝගයට

උදෑසන නැගිට කතා නොකොට කුඹුරු වැලක් ළඟට ගොස් වටේ තුන්වරක් යමින් නව වාරයක් වැලට වැද, කුඹුරු කොළ ස්වල්පයක් කඩාගෙන සුදු ලූනු බික් හතරක් සමඟ කොටා ගත් යුෂ කෝපප භාගයක් පමණ වංගෙඩියක් මුණින් අතට පෙරළා පය බිම නොගෑවෙන සේ රෝගියා හිඳුවා බීමට දීම

අණ්ඩවාතයට

ඉර රතු පැහැති ඉරමුසු වැලක් ගෙන රෑ නිදාගන්නා වේලෙහි කකුල හොඳින් සෝදා වැලි කුණු පිස, ඉදිමී ඇත්තේ වම්පස කෝෂය නම් දකුණු අතේද, දකුණු පය කෝෂයනම් වම් අතේද බැඳ පසුවන උදෑසන අවදි වූ පසු පාදය බිම ස්පර්ශ නොකොට වැල ලිහා හිසට උඩින් වීසි කිරීම.

දරු ප්‍රසූතිය අපහසු වූ විට

උදේ පාන්දර කතා නොකොට නියඟලා වැලක් උදුරා ඉන් වළල්ලක් කොට ගර්භණී කාන්තාවගේ බෙල්ලට මාලයක් සේ දමා මාලයේ පහළ දෙපයින් පාගාලීම

නිවසේ පෙට්ටි ආදිය යතුරු නොදමා පියන් ඇර තැබීම

නගනවලට

ඇසේ එන නගන සඳහා බත නටන විට එන බත් පෙණ ගාන්න. එසේම නගනයට තුත්තිරි ගසේ ඉස්මද කථා නොකර ගාන්න. තවද උදෑසන නැඟිට කථා නොකර ගෙය පිටුපසට ගොස් තමාගේම මුත්‍රා නඟනය මත ආලේප කළ යුතුය.

උලුක්කුවට

ගොරකා පොතු, හීන්නාරං, දෙහි, බත්, එක තරමට ගෙන කොටා පොල්කිරි දමා මිරිකා කතා නොකර උලුක්කුවූ ස්ථානයේ ගාන්න.

තුන් කුලුඳුල් අයකු ලවා උලුක්කු වූ ස්ථානය හොඳීන් අත ගෑමෙන් උලුක්කුව සුවවේ

දරුවන්ගේ ආහාර අරුචියට

කුඩා දරුවන් ආහාර ගැනීමට මැළිකමක් දක්වන විට දරුවාගේ ආහාර සහිත කෑම පිඟාන දරුවාගේ හිස වටා හත් වරක් කරකවා දරුවාගේ කෙළ මිශ්‍රකර කථා නොකර ළිපට දැමීම.

දත් කැක්කුමට

දත් කකියන විට කථා නොකර බෝධියක් ළඟට ගොස් බටහිර පැත්තට ගිය අත්තකින් දලුවක් කඩාගෙන දත්කැක්කුම ඇති පැත්ත 108 වරක් ඉහළ සිට පහළට පිස දමන්න.

කක්කල් කැස්සට

හිඟමනේ ගොස් ගෙවල් 7කින් සිඟාගෙන ආ කැකුලු සහල් කුණු ගොඩක තබා උයා කුඩා ගුලි 7ක් ගසා කථා නොකර රෝගියාට කන්න දීම

හිසරදයට

හිසරදය ඇති වුවහොත් දෙඇස වසාගෙන කථා නොකර අතට අසුවුනු ගසක කොළයක් කඩා හොඳීන් පොඩිකර නළල දෙපස ගානු ලැබේ.

කිරි දරුවන් නින්දෙන් හැඬීමට

කුඩා අත දරුවන් නින්දේදී හැඬීම වැළැක්වීමට දකුණු අත වෙදඟිල්ලෙන් දරුවාගේ නළලේ කළු තිලකයක් තැබීම කළ යුතුවේ.

ඇස්වහ කටවහ

“තූඞ විතරක් මේකගෙ කට” කියමින් කාරා කෙළ ගැසීමෙන් කටවහ දුරුකර ගත හැක. එසේ නොමැති නම් පොඩි දරුවන්ට ඇසවහ කටවහ වැදී ඇතැයි අදහස් කරන විට කපුටන් නාන තැනකින් වතුර කලයක් ගෙනැවිත් දරුවා නෑවීම කළ හැක. තවත් කෙම් ක්‍රමයක් වන්නේ දුම්රිය එන්ජිමෙන් බේරෙන වතුර ගෙනැවිත් දරුවා නෑවීමයි. තවද අලුයම කපුටන් හැඬලීමට පෙර කතා නොකොට අලුත් කළයකින් ළිඳෙන් වතුර ගෙන නෑවීම ද සිදු කරයි.

වගාවට කෙම් ක්‍රම

සිවු පා සතුන්ගෙන් සිදුවන හානියට

මා නැකත පවතින දිනෙක මී ගසේ මුලක් ගලවා ගෙන එම නැකත පවතින අතරතුර කුඹුරේ මැද මී මුල මරුට පිටු පා සිටු වන්න. සිවු පා සතුන්ගෙන් වගාවට හානි සිදු නොවේ.

ගස්වල ගෙඩි කුණු වන විට / පැළෙන විට

කොස්, අඹ, කෙසෙල්,තැඹිලි, දෙල්, පේර වැනි ශාකයක පලතුරු පුපුරා, තැලී, කුණු වී යා නම් එම ගසේ ගෙඩි කඩා දෙකට, තුනට, හතරට පලා සැමට දර්ශනය වනසේ කථා නොකර ගස මුල විසුරුවා හරින්න. මෙය පලතුරු බෝග සඳහා අත්දුටු ප්‍රත්‍යක්ෂ කෙමකි.

ගස්වල පුහුගෙඩි හට ගනී නම්

පොල්ගස්වල පුහු ගෙඩි හට ගැනීම මෙන්ම පොල්ගස්වල ගෙඩි නූපූදී නම් කථා නොකර උදෑසන පොල්ගසේ කඳ වටා පොල්ලෙලි මාලයක් සේ සකසා බඳීනු ලැබේ.

අලින්ගෙන් හානි නොවන්නට

අලි ඇතුන්ගෙන් වගාවලට මෙන්ම නිවෙස්වලටද මනුෂ්‍යයන්ටද වන හානි වළකා ගැනීමට අති දුර්ලභ මදාරා ගසේ කෝටුවක් හෝ ලීයක් ගෙන කථා නොකර ආරක්ෂා සහිත ස්ථානයක, දුරක සිට අලි ඇතුන්ට දර්ශනය කරන්න. අලි ඇතුන් මදාරා ලීයට බිය බැවින් ආපසු හැරී පලා යයි.

කැලෑවකදී ආරක්ෂාව පිණිස කැලෑවට ඇතුල්වීමට පෙර කථා නොකර අත්තක් කඩා ගසක එල්ලයි.

කැලෑවකදී මං මුලා වැල් හෙවත් බැදි වැල් පයට පෑගුණ විට කැලෑව තුළ වල්මත් වී අතරමංව පාර සොයාගත නොහැකි වේ. එවැනි අවස්ථාවක කථා නොකර මදු වැලක් සොයා පෑගූ විට පහසුවෙන් ආපසු යෑමට පාර සොයාගත හැකිය.

ඇඳීරියේ ආරක්ෂාව පිණිස

ඝන කළුවරේ ගමනක් යෑමට පිටත්වීමට ප්‍රථම ‘ඉතිපිසෝ’ ගාථාව කියා බුදු ගුණ සිහිකර කථා නොකර අතේ දබර ඇඟිල්ලෙන් ඉරි 3ක් සමාන්තරව පො‍ළවේ ඇඳීම

යන්ත්‍රවලට කිලි අසුවීම වැළකීමට මාවී ඇටයක් සුරය තුළට කථා නොකර දමයි. මෙය පුර පක්ෂයේ උදය වරුවක ශුභ මුහුර්ථයකින් සිදු කිරීම වඩාත් ප්‍රතිඵල දායකය.

මැස්සන් පළවා හැරීමට

කථා නොකර පැඟිරි තෙල් ඉසීමෙන් මැස්සන් පලවා හැරිය හැක.

ඇසට කෘමීන් ගිය විට

එතනම නැවතී එතැන් සිට පියවර 7ක් නොහැරී කථා නොකර පසු පසට ගමන් කිරීම තුළ කෘමියා ඉවතට පැමිණේ. ‍වේදනාව දැවිල්ල සමනය වේ.

කුහුඹුවන් පලවා හැරීමට

විනාකිරි 1:3 අනුපාතයට ජලය සමඟ මිශ්‍රකර හිමිදිරි පාන්දර කුහුඹුවන් සිටින දෙසට කථා නොකර ඉසීම කළ යුතුවේ.

කුඹුරේ මීයන් මර්දනයට

මීයන් තලා දැමූ ගොයම නියර මත දමා මල්වර වූ අවිවාහක තරුණියක ලවා පාගවන්න. මෙය පාවහන් රහිතව කථා නොකර කළ යුතුය.

කිළි නැති වීමට

කථා නොකර දෙහි කොළ පොඩිකර හිසෙහි ගා ගැනීමත් කථා නොකර අමු ගොම ගොඩක් පාවහන් රහිතව පෑගීමත් කථා නොකර ළි‍ඳෙන් වතුර ඇද මුහුණ කට සේදීමත් කිරීම.

කලාභූෂණ ශාසනදීපන සාහිත්‍යකීර්ති ආචාර්ය සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.