සන්ධි ආශි‍්‍රත වේදනාවන්ගෙන් පීඩාවට පත් කෙරෙන හන්දිපත් රුදාව

නොවැම්බර් 11, 2022

 

වැඩිහිටි මෙන්ම මහලු අය අතර වැඩි වශයෙන් පවතින හන්දිපත් රුදාව හෙවත් හන්දිපත් වේදනාව වර්තමාන සමාජයේ බෙහෙවින් පවතින රෝගයකි. එදිනෙදා කටයුතුවලට බාධා සිදුවන හන්දිපත් වේදනාව නිසා වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන්ය. උෂ්ණ දේශගුණයක් පවතින රටවල සන්ධි ආශි‍්‍රත රෝග බෙහෙවින් පවතී. හන්දිපත් රුදාව නැතහොත් ආතරයිටිස් රෝගයේදී හටගන්නා වේදනාව රාත්‍රි කාලයේදී වැඩි වන බැවින් නින්දට ද බාධා ඇති වේ.

 

උදේ කාලයේදී හන්දිවල තද ගතියක් පවතී. අපගේ සිරුර වා, පිත්, සෙම් යන දෝෂත්‍රයට සංකීර්ණව පවතියි. අද වැඩි වෙමින් පවතින හන්දිපත් වාත අමාරුවලට හේතු රැසක්ම පවතී. විශේෂයෙන් ආහාර ගැන අවධානය යොමු කළ යුතුය. සකස් කරගත් ආහාර වර්ග ශීත කරණවල තබා නැවත රත්කර ප්‍රයෝජනයට ගැනීම නොකළ යුතුව ඇත. වර්තමාන සමාජයේ දක්නට ලැබෙන සන්ධි ආශි‍්‍රත රෝගී තත්ත්වයන් අතර උරහිස් සන්ධි හා බෙල්ල ආශි‍්‍රත වේදනා, කොන්ද වේදනා, විලුඹ හා දණහිස් සන්ධි ආශි‍්‍රත තද බල වේදනා තත්ත්වයන් ප්‍රධාන වේ.

මැණික් කටුව හා වළලුකර ආශි‍්‍රත පොකුරු සන්ධිවල ඇතිවන වේදනා අධික වන අතර මහත් අසීරු තත්ත්වයට පත්වේ. සන්ධි ආශි‍්‍රතව වැලඳෙන රෝගී තත්ත්වයන් බොහෝමයකට හේතුවී ඇත්තේ වැරැදි ඇවතුම් පැවතුම් හා ආහාර විහරණයන් ය. ආමවාත සන්ධි ශ්‍රෝතය ඇතිවීමට ප්‍රබල ලෙස බලපාන්නේ පුරුද්දක් වශයෙන් විරුද්ධ ආහාර ගැනීම අග්නි මාධ්‍ය හෙවත් බඩගින්න අඩුවීමයි. අග්නි මාධ්‍ය හේතුවෙන් නොදිරවූ ආමරසය, රක්තරස මාංස ආදී වූ සප්තධාතු ශරීරගත වීමෙන් වාත කෝප වේ. එම වාත කෝපය සන්ධි ආශි‍්‍රත කරගෙන රෝග ඇති කරවයි. ඉන් සිරුරේ බර ගතිය, පපුවේ බර ගතිය, උණ ඇති කරවයි. මෙහිදී රෝගියා පීඩාවට පත්වන ප්‍රධානතම සාධකය වන්නේ වේදනාවයි.

වරින්වර ඇතිවන වේදනාව එතරම් තදබල තත්ත්වයකට පත් නොවේ. උදෑසන නින්දෙන් අවදි වීමේදී සන්ධි ආශි‍්‍රතව දැඩි වේදනාවක් ඇතිවේ. එය පැයක් පමණ ගතවන තෙක් පවතිමින් සන්ධි ආශි‍්‍රතව දැඩි තද බවක් ද පෙන්නුම් කෙරේ. ඒ අතරම ශරීරය පුරා පවතින දැවිලි ගතියක්ද ඇතිවේ. සන්ධි ආශි‍්‍රතව ඇතිවන රෝග අතරින් බහුලව දක්නට ලැබෙන සන්ධි රෝගයක් ලෙසත් ආමවාත රෝගය හැඳින්වේ. එසේ වුවද සන්ධිවලට පමණක් සීමා නොවනා ආමවාත රෝගය මුළු ශරීරයටම බලපානු ලබයි. වර්තමානයේ ජීවත්වන බොහෝමයක් දෙනා කුමන හෝ සන්ධි ආශි‍්‍රත රෝගයකින් පෙළෙන බව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගෙන් පෙනී යයි. බොහෝ රෝගවලට හේතුවී ඇත්තේ තමන් විසින් තම සෞඛ්‍යය පිළිබඳ දක්වන නොදැනුවත්කමයි. විශේෂයෙන් පොඩි දරුවන් මෙන් ආහාරයට දක්වන ගිජු බවයි. ආයුර්වේදයේ සඳහන් පරිදි අම්ල ලවණ බහුල ආහාර (අඹ, අන්නාසි, අච්චාරු, විනාකිරි, ලුණු දෙහි, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, දෙල්, බල මාළු, ගවමස් ආදී තෙල් බහුල ආහාර චීස්, බටර්, තෙල් අධික ආහාර නිතර ආහාරයට ගැනීම නොකළ යුතුය. අවශ්‍ය තරම් ජලය පානය කළ යුතු අතර ආහාරයක් ගත් විගසින් නැවත ආහාර ගැනීම ද නොකළ යුතුය. එමෙන්ම දහවල් නින්දට යෑම රාත්‍රි නිදි වැරීමද ව්‍යායාම නොකිරීම මේ තත්වයට හේතු වේ.

කෙසේ වෙතත් මෙම හන්දිපත් වාත අමාරු හෙවත් හන්දිපත් කැක්කුම නිරෝගී ජීවිතයක් වුවද ඉතාමත් කෙටිකලකින් අබල දුබල තත්ත්වයට පත්කිරීමට සමත් වේ. හන්දි අමාරුවලදී මෙන්ම වාතරක්තයේදීත් පවතින කැක්කුම් වේදනාවන් බොහෝ ය. තරගකාරි අවිවේකී සමාජයේ යෞවන යෞවනියන් මෙන්ම වැඩිහිටියන් පුරුදුව සිටින්නේ සකස්කරගත් ආහාර ශීතකරණයේ තබා නැවත සකස් කරගෙන ආහාරයට ගැනීමටත් වෙළෙඳසැල්වලින් රැගෙන එන ආහාර අනුභව කිරීමටත්ය. ගුණාත්මක බවෙන් තොරව සකස් කරන එවැනි ආහාරපාන ගැනීමෙන් නිරෝගීතාවයට බාධා පැමිණේ. මේ නිසා ශීඝ්‍රයෙන් සමාජය පුරා පැතිරයන සන්ධිගත වාතාබාධවලට තවත් ප්‍රබල හේතුවකි. සන්ධියක් යනු අස්ථි දෙකකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වන ස්ථානයකි. චලනය වන සන්ධි මෙන්ම චලනය නොවන සන්ධිද තිබේ.

සිරුරේ ස්ථායීතාව, ශක්තිය හා ක්‍රියාකාරකම් පහසු කර ලීම සඳහා මෙම අස්ථි උපකාරී වේ. එමෙන්ම සිරුරේ බර දරා සිටීමේ කාර්යය ද සිදුකරනු ලබන්නේ අස්ථි මගිනි. මේ අතර චලනය වන අස්ථි ද නිසා ක්‍රියාකාරකම් හි යෙදේ. මේ අතර ආයුර්වේදයේ සන්ධි රෝග පහක් හඳුන්වාදී ඇත. ආමවාත සන්ධි රෝග ද ගම්භීර වාත රක්ත සන්ධි රෝග ද, මන්සස්ථාම්භය ඇතුළු සන්ධි රෝගයන්ය. ගාම්භීර රක්ත වාතය යනු ශරීරය අභ්‍යන්තරයෙහි වූ නහර ශිරා ආශ්‍රය කරගෙන සැදෙන්නාවූ රෝගී තත්වයයි. මේ කොටසට වැටෙන්නාවූ රෝගයක් ලෙස රුධිර පීඩනය ද අයත් වේ. වාත රක්ත රෝගයේ වේදනාව වෙනත් වාත රෝග මෙන් උඩ සිට පහළට නොව පහළ සිට ඉහළට විහිදී යන තත්ත්වයකි. දීර්ඝ කාලයක් මල බද්ධයෙන් පෙළීමද පසුකාලීනව සන්ධිගත රෝග සඳහා බලපාන්නකි. මල ශෝධනය දෛනිකව හොඳින් පවත්වා ගැනීම සඳහා කෙසෙල්, ගස් ලබු , බෙලි වැනි පලතුරු වර්ග දිනපතා ආහාරයට එක්කර ගත යුතුය.

දීර්ඝ කාලීන රෝගයක් වු හන්දිපත් වේදනාව නිට්ටාවටම සුවකරගත හැකි වන්නේ ආයුර්වේද ප්‍රතිකාරවලින් නිසා ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරයකුගෙන්ම ප්‍රතිකාර ලබාගත යුතුය. බොහෝ විට මෙහිදී හන්දි තෙල් හා රෝගී අවස්ථාව අනුව ගුලි,කල්ක බෙහෙත්ද ලබා දෙයි.

 

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

සටහන - මාධ්‍යවේදී

බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.