වසරක් සපුරන සමස්ත ලංකා වෘත්තීය ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමය

දෙසැම්බර් 16, 2022

 

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමයේ පළමු සංවත්සර මහා සභා රැස්වීම 2022.12.10 සෙනසුරාදා කොළඹ දී පැවැත්විණි. එසේම සංගමය මඟින් නොමිලේ පවත්වා ගෙන යනු ලබන ජ්‍යෝතිෂය අධ්‍යාපන දේශන මාලාවේ දේශකයින් වශයෙන් සම්බන්ධ වූ ජ්‍යෝතිෂවේදී මහත්ම, මහත්මීන්ට උපහාර පිදීමද එදින පෙරවරුවේ සිදුවිය.

මෙම සංගමය ආරම්භ කිරීම හා එහි අරමුණු වුයේ, කොවිඩ් වසංගත සමයේ නිවෙසට කොටුවී සිටීමට ජ්‍යෝතිෂවේදීන්ට සිදු විය. රැකියා ව්‍යාපාර කරගැනීම අපහසු විය. විශේෂයෙන් දෛනික ආදායම් ලබන අය බොහෝ දුෂ්කර තත්ත්වයට පත්විය. එහිදී රට පුරා සිටින ජ්‍යොතිෂවේදී මහත්ම මහත්මීන් කොටසක් බලවත් ලෙස අපහසුතාවට පත්වී ඇති බව පෙනුණු බැවින් මේ සංගමය ආරම්භ කිරීමට කටයුතු යෙදිණි. මුහුණු පොත භාවිතා කරන ජ්‍යොතිෂවේදීන් සමූහයක එකතුවකින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සංගමය පිහිටු වීමට මූලික අඩිතාලම වැටී ඇත.

2021.05.30 දින සංගමයේ ව්‍යවස්ථාව අනුමත කර පළමු සභාව ලෙස 2021.12.11 දින රැස්වීම කැදවා සංගමය පිහිට වූ අතර මුල් අවස්ථාවේදී දිස්ත්‍රික්කයකින් දෙදෙනකු පමණ ගෙන්වීමට සිදු වූයේ පැවති සෞඛ්‍යය නීති නිසාවෙනි. එතැන් පටන් සිවු මසකට වරක් මහ සභා රැස්වීම පැවැත්වේ. සංගමයේ මූලස්ථානය ලෙස කොළඹ 12 ඩයස් පෙදෙසෙ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානය භාවිතා කරන අතර එම විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය බණ්ඩාරවෙල ජෝතිරතන ස්වාමින් වහන්සේ හා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩි වත්තල දමිත ස්වාමින් වහන්සේ සංගමයේ ගෞරවනීය අනුශාසක මණ්ඩලය ලෙස කටයුතු කරයි.

විනය ගරුක ,අන් අයට ගරු කරන, සංවර,යහපත් ගති පැවතුම් හෙබි,චරිතවත් අය සංගමයේ සාමාජිකයන් ලෙස අපේක්ෂා කරයි.

ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා සෘජුවම බැඳුණු ජ්‍යෝතිෂය වාස්තු ශාන්තිකර්ම ගුප්ත විද්‍යාව වැනි සේවා සපයන මහත්ම මහත්මීන් මෙහි සාමාජිකයන් වීමට සුදුසු කම් ලබන අතර, ඔවුන් ගේ සුබසාධනය,දැනුම වර්ධනය කිරීම ,සමාජ සේවා කටයුතුවලට දායකත්වය ලබාදීම සංගමයේ අරමුණු වන අතර එතුළින් සංස්කෘතියේ දියුණුව සාමාජිකයන්ගේ දියුණුව යහපත් පුරවැසියන් පිරිසක් බිහිවීම දැකීම අරමුණ වේ.

මෙම සංගමය නිර්මාණය කල පී.ඩී.දිශාන්ත අජිත් මෙහි සභාපති ලෙස කටයුතු කරන අතර ගරු ලේකම් ලෙස තරංග කුමාර මහතාද ,ගරු භාණ්ඩාගාරික ලෙස බුද්ධික සූරියප්පෙරුම මහතාද කටයුතු කරයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.